[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සරු නිසරු බව දැන සුගතියට යන මග

සරු නිසරු බව දැන සුගතියට යන මග

"පුද්ගලයා තමා විසින් කරන ලද කර්මයෙහි ස්වභාවය අනුව මරණින් මතු ස්වකීය සාංසාරික ගමන් මග සකස් කර ගනු ලබන්නේ ය. ඒ අනුව යමෙක් අකුසලය දියුණු කරන්නේ වේ ද, අකුසලය වඩන්නේ වේ ද එම දියුණු කරන ලද හෝ, වඩන ලද හෝ අකුසලයේ ස්වභාවයට අනුව ඔහුට දුක් සහිත ගතියක් සකස් වන්නේ ය."

සම්මා සම්බුදුවරයෙකුගේ පහළ වීම ලෝකයට හා ලෝක සත්ත්වයාට සුව එළවන “සුඛෝ බුද්ධානං උප්පාදෝ” අසිරිමත් මංගල කරුණකි. මන්දයත්, ලෝක සත්ත්වයාට ලෞකික සැපයත්, ලෝකෝත්තර සැපයත් සාධනය කර ගැනීමට අවැසි මාර්ගය උන්වහන්සේ විසින් දේශනා කරනු ලබන නිසාවෙනි.

එකී බුදුවරුන් විසින් දේශනා කළ දේශනාවට අනුව මනුෂ්‍ය භවයක් ලැබීම සැබැවින් ම දුර්ලභ වූවකි. එසේ ම මරණින් පසු සුගති ලෝකයට ගමන් කිරීමේ මඟ විවර කර ගැනීම ද ඒ හා සමාන ම දුර්ලභ කරුණකි. එබැවින් තථාගතයන් වහන්සේ කිසියම් සත්ත්වයෙකු, මිනිසෙකු වශයෙන් හෝ දෙවියෙකු වශයෙන් හෝ උපත ලබන්නේ කුසල මූලයක, කුසල චිත්තයක ප්‍රතිඵලයක් වශයෙන් බැව් පෙන්වා වදාළහ. මෙසේ කුසල මූලයක ඵලයක් වශයෙන් ලැබෙන්නා වූ මනුෂ්‍ය ජීවිතය කර්මානුරූපව ගමන් කරනු ලැබෙන බව යථා කම්මං ගමිස්සන්ති යනුවෙන් දේශනා කරන ලදී. මේ අකුසල කර්මවලට අනුව තීරණය වන බව පෙන්වා දෙමින් දේශනා කරන ලද විසිතුරු දේශනාවක් සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයෙහි අඩංගු වේ. එය නමින් අසිබන්ධක ගාමිණී සුත්‍රය යි.

එකල්හි බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර සමීපයේ පාවාරික නම් අඹ වනයෙහි වැඩ සිටි සේක. එනුවර වැසි අසිබන්ධකපුත්ත නම් ගාමිණී උන්වහන්සේ හමුවට පැමිණ වැඳ නමස්කාර කොට එකත් පසව හිඳ ගත්තේ ය. එසේ හිඳ ගත් ඔහු බුදුරජාණන් වහන්සේට විශේෂ සිදුවීමක් ගැන පුවතක් සැල කර සිටියේ ය. එනම්, පච්ඡිම භූමියේ සෙවෙල මල් මාලාවලින් සැරසී අතින් කෙණ්ඩියක් ගෙන දියට බැස උදක පාරිශුද්ධිය ලබන හා ගිනි දෙවියන් පුදන බමුණන් පිරිසක් වාසය කරන බවත්, ඔවුන් විසින් තමන්ට මියගිය මිනිසුන් දිව්‍ය ලෝකයට යැවීමේ හැකියාවක් ඇති බව පවසන බවත් ය. මෙම පුවත දන්වා ගාමිණි බුදුරදුන්ගෙන් විමසා සිටින්නේ, අර්හත් වූ සම්මා සම්බුද්ධ වූ තමන් වහන්සේට එසේ සියලු ලෝ වැසියන් මරණින් මතු දිව්‍ය ලෝකයට යැවීමේ හැකියාවක් නැත්තේ ද යන බව යි. මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ සෘජු පිළිතුරක් ලබා නොදී ගාමිණීට ම ප්‍රශ්නයක් යොමු කළ සේක. එය බුදුරදුන්ගේ දේශනා විලාසයේ සුවිශේෂීතාවයකි. ඇතැම් අවස්ථාවල දී කිසිවෙකු විසින් විමසන ලද ප්‍රශ්නයට සෘජු පිළිතුරක් නො සපයා ප්‍රශ්නකරු වෙත නැවත ප්‍රති ප්‍රශ්නයක් නගා ඒ ඔස්සේ අදාළ පිළිතුරු ලබාදෙන අවස්ථා ත්‍රිපිටක සාහිත්‍යය තුළ දැකිය හැකි ය. එය ‘පටිපුච්ඡා’ ක්‍රමය නමින් හැඳින් වේ.

බුදුරජාණන් වහන්සේ ගාමිණීගෙන් ඉතා විසිතුරු ප්‍රශ්නයක් විමසයි. එනම්, ගාමිණී, එක්තරා මිනිසෙකු විසින් විශාල ගලක් ගෙන ගොස් ජලය පිරි විලක් තුළට දමනු ලබයි. එවිට එම ගල විල පතුලට ගමන් කොට පතුලෙහි තැන්පත් වෙයි. මිනිසුන් කණ්ඩායමක් එම විල සමීපයට එක් රැස් ව එම්බා මහා ගල උඩට මතුවේවා, එම්බා මහා ගල ජලය මත පා වේවා, එම්බා මහා ගල ජලයෙන් උඩට මතු වේවා යැයි යාඥා කර ඇඳලි බැඳ වැඳගෙන විල වටේට පැදකුණු කරයි. කිමද ගාමිණී, එම මිනිසුන් කණ්ඩායමේ යාඥාව නිසා හෝ ඇඳලි බැඳගෙන විල පැදකුණු කිරීම නිසා හෝ පතුලේ තැන්පත් වූ ඒ මහා ගල ජලය මතු පිටට පැමිණේ ද? යනුවෙනි. ඉතා සාවධානව ප්‍රශ්නයට ඇහුම්කන්දුන් ගාමිණි එකෙනෙහි ම ස්වාමීනි, එය එසේ නොවන්නේ ම ය. යනුවෙන් පිළිවදන් සැපයූවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ ගාමිණීගේ එම පිළිතුර උපයෝගී කොට ගෙන ඉතා මනරම් දේශනාවක් සිදු කළහ.

යම් සේ ජලය පතුලට ගමන් කළ මහා ගල කිසිවෙකුගේ යාඥා කිරීමක් නිසා හෝ ඇඳලි බැඳ කරනු ලබන වැඳ වැටීමක් නිසා හෝ ජලය මතුපිටට නො පැමිණෙන්නා සේ, යම්කිසි පුද්ගලයෙකු විසින් පරපණ නැසීම, නුදුන් දේ සොරා ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, මුසා බස් පැවසීම, කේලාම් බස් පැවසීම, පරුෂ වචන පැවසීම, හිස් වචන පැවසීම, දැඩි ලෝභයෙන් කටයුතු කිරීම, කිපුණු සිතක් ඇතිව වාසය කිරීම හා මිථ්‍යා දෘෂ්ටිය ගැනීම යන දස අකුසලයන් දියුණු කරන්නේ ද, මරණාසන්න ඔහු සමීපයට පිරිසක් ගොස් මොහු මරණින් පසු දිව්‍ය ලෝකයේ යත්වායි කො තරම් යාඥා කළත්, ඇඳළි බැඳ ගෙන ඔහුගේ වටේ ගමන් කළත්, දස අකුසලය දියුණු කළ එම පුද්ගලයා දිව්‍ය ලෝකය වෙත යොමු නො කළ හැකි බවත්, ඔහුගේ කර්මයේ ස්වභාවයට ගැළපෙන නිරය වැනි දරුණු ගතියකට යෑමට සිදු වන බවත්, උන්වහන්සේ පෙන්වා දුන් සේක.

නැවතත් බුදුරදුන් විසින් ගාමිණීගෙන් මෙසේ විමසා සිටින ලදී. ගාමිණී, එක්තරා මිනිසෙකු ගිතෙල් හෝ තල තෙල් පිර වූ මැටි කළයක් ගැඹුරු දිය ඇති විලක ගිල්වා බිඳ දැමූ විට, බිඳුණු කළයේ කොටස් දිය යටට ගමන් කරන අතර, කළයෙහි තිබූ ගිතෙල් හෝ තල තෙල් ජලය මතු පිටට පැමිණේ. එවිට පෙර පරිදි ම මිනිසුන් කණ්ඩායමක් එහි රැස් ව එම්බා ගිතෙල, කිමිදේවා, එම්බා ගිතෙල ගිලේවා එම්බා, ගිතෙල යට යාවා යැයි යාඥා කරති. ඇඳලි බැඳ වැඳගෙන එම ගිතෙල් හෝ තල තෙල් වටා පැදකුණු කරති. ඔවුහු එසේ යාඥා කිරීමෙන් හෝ ඇඳලි බැඳ වැඳීමෙන් ජලය මත පාවෙන ගිතෙල හෝ තලතෙල ජලය යටට කිමිද විය හැකි යැයි ඔබ සිතන්නේ ද? එවිට ගාමිණී, ‘ස්වාමීනි එය එසේ නො වන්නේ ම ය.’ යනුවෙන් පිළිතුරු ලබා දුණි. එහි දී බුදුරජාණන් වහන්සේ, යම් සේ ජලය මත ඇති ගිතෙල් හෝ තලතෙල් කිසිවෙකුගේ හෝ, කිසියම් පිරිසකගේ යාඥාවන් නිසා හෝ වන්දනා කිරීමක් නිසා හෝ ජලය තුළට ගිල්ලවාලිය නොහැකි වන්නා සේ ම, මෙලොව යම් පුද්ගලයෙකු පරපණ නැසීමෙන් වැළකුණේ, නො දුන් දේ ගැනීමෙන් වැළකුණේ, කාමය වරදවා හැසිරීමෙන් වැළකුණේ, මුසා බසින් වැළකුණේ, දැඩි ලෝභකමින් වැළකුණේ, නො කිපුණ සිතක් ඇත්තේ හා සම්මා දිට්ඨි ගතවූයේ මරණින් පසු සුගති ලෝකය කරා ගමන් කරන්නේ ය. එසේ සුගති ගතියක් සකස් කර ගත් ඔහු නිරය වෙත යොමු කිරීමට කිසිවෙකුටත් නොහැකි වන්නේ ම යැයි පෙන්වා දුන් සේක. ඒ අනුව සුගති ලෝකය කරා ගමන් කිරීමට හේතු වන ස්වභාවයේ කුසල කර්ම රැස් කර ගන්නා ලද පුද්ගලයා දුක් සහිත නිරයට යැවීමට කිසිවෙකුටත් කිසිවක් කළ නොහැකි බවත්, තම තමන් දියුණු කරන ලද, වඩන ලද සිතට හා රැස් කරන ලද කර්මයන්හි ස්වභාවයට අනුව ඉදිරි භවයේ ස්වභාවය තීරණය වන බව බෞද්ධ ඉගැන්වීම තුළ පැහැදිලි කරනු ලැබේ.

මෙම දේශනාව ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ අප හැම දෙනාට ම පහදා දෙනු ලබන සුවිශේෂී ඉගැන්වීමකි. එනම්, සෑම සත්ත්වයෙකුගේ ම සංසාරික ගමනේ ස්වභාවය තම තමන් මතම තීරණය වන බව යි. මෙලොව කිසිවෙකුටත් තවත් කෙනෙකු සුගතියට හෝ දුගතියට පමුණුවාලීමේ හැකියාව නොමැත. විලට දැමූ ගලෙහි ස්වභාවය අනුව එය විලෙහි පතුල කරා ගමන් කර විල්පතුලෙහිම තැන්පත් වීම යි. එසේම දියෙහි ගිල් වූ කළයෙහි තිබූ ගිතෙල් හෝ තල තෙල් එහි ස්වභාවයට අනුව ද ජලය මතට පැමිණෙන්නේ ය. එසේ ම පුද්ගලයා තමා විසින් කරන ලද කර්මයෙහි ස්වභාවය අනුව මරණින් මතු ස්වකීය සාංසාරික ගමන් මග සකස් කර ගනු ලබන්නේ ය. ඒ අනුව යමෙක් අකුසලය දියුණු කරන්නේ වේ ද, අකුසලය වඩන්නේ වේ ද එම දියුණු කරන ලද හෝ, වඩන ලද හෝ අකුසලයේ ස්වභාවයට අනුව ඔහුට දුක් සහිත ගතියක් සකස් වන්නේ ය. යමෙක් කුසලය දියුණු කරන්නේ වේ ද, වඩන්නේ වේ ද එම දියුණු කරන ලද හෝ වඩන ලද හෝ කුසලයට අනුරූප ව සැප සහිත ගතියක් සකස්වන්නේ ය. එය ලොව්තුරා බුදු පදවියට පත් තමන්වහන්සේට පවා වෙනස් කළ නොහැකි ධර්මතාවයක් බැව් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. තවදුරටත් පුද්ගලයාගේ පිරිසුදු බව හා අපිරිසුදු බව ස්වකීය ක්‍රියාකාරකම් මත තීරණය වන බවත්, කිසිවෙකුටත් කිසිවෙකු පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැකි බවත් “සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤෙඤා විසෝධයෙ” යනුවෙන් දේශනා කර තිබේ. සැබෑ බුද්ධ ශ්‍රාවකයා යනු, මෙම දේශනාව තුළ ප්‍රායෝගික ව යෙදෙන්නා ය. එනම්, බුදු රදුන් පෙන්වා දුන් පරිදි භව ගමනෙහි සැබෑ ස්වභාවය ධර්මය තුළින් දැක දැන අවබෝධ කොට ගෙන එකී බිහිසුණු සසරින් එතෙරවීම සඳහා දස අකුසලයෙන් වැළකී දස කුසලය දියුණු කරමින්, වඩමින් ස්වකීය චිත්ත පාරිශුද්ධිය ඒ තුළින් ගොඩනඟා ගැනීමට වීර්ය වැඩීම යි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ලැබ සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් වශයෙන් ස්වකීය ජීවිතය ධර්මානුකූල ව සකස් කර ගැනීමට උත්සාහ ගත යුතු ය. ඒ සඳහා මෙම දේශනාව හරහා බුදුන් වහන්සේ වදාළ ඉගැන්වීම ඉතා වැදගත් වේ. දස අකුසලයෙන් වැළකී, දස කුසලය දියුණු කරමින් කටයුතු කිරීමට උත්සාහ ගන්නේ නම්, එය මෙලෝ පරලොව යන උභයාර්ථ අභිවෘද්ධිය සාධනය කර ගැනීමටත්, දුක් සහිත සසර ගමනින් එතෙර වී ලබන උතුම් නිර්වාණ සම්පත් සාධනය කර ගැනීමටත්, හේතුවන උතුම් හැසිරීමක් වන්නේ ම ය.

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනිමස 10 වන දා සඳුදා පූර්ව භාග 00.36 ට ලබයි. එම දා අපරභාග 10.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 10 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි මස 16 වනදා ඉරිදාය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]