Print this Article


සුවපත් සිත

සුවපත් සිත

වෙසක් අමාවක ජුනි 02 පෝදා පත්‍රයේ පළවූ ලිපිය හා සම්බන්ධයි

අනාථ පිණ්ඩික ගෘහපති, බුදුරදුන් තමන්ගේ නමින් ම ඇමතීම ගැන සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේගේ දෙපා නැමැඳ මෙසේ විමසී ය.

භාග්‍යවතුන් වහන්ස! සුවසේ සැතපුණු සේක් ද? ඒ අවස්ථාවේ දී පතළ මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“සබ්බදා චෙ සුඛං සේති බ්‍රාහ්මණො පරිනිබ්බුතො
යො න ලිම්පති කාමෙසු
සීතිභූතො නිරූපයී
සබ්බා ආසත්තියො ජෙත්වා
විනෙය්‍ය හදයෙ දරං
උපසන්තො සුඛං සේති
සන්තිං පප්පුය්‍ය චෙතසෝති”

“යමෙක් කාමයන්හි නොතැවරේ ද? කෙලෙස් ගිනි නැති බැවින් සිහිල් වූයේ ද? කෙලෙස් රහිතව පිරිනිවියා වූ ඒ පැවිදි උතුමෝ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ සැතපෙති”.

“සියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ, විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ සැතපෙති.”

යමෙක් කාමයන්ගෙන් සන්සිඳුනේ ද ඒ සිත සන්සුන් ය. සුවපත් ය. වස්තු කාම සහ ක්ලේශ කාමයෝ පෘථග්ජන සිත් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් අවුලවති. මේ නිසා එවැනි කාමයන්ගෙන් දැවෙන, තැවෙන සිත් ඇති යමෙකුට සුව නින්දක් නොව සුවපත් වූ සිතකින් මොහොතක් හෝ ගත කළ හැක්කේ දැයි සැක සහිත ය. වස්තු කාමයන්ට හසුවුණේ මහා සාගරයට ජලය ගලා එන්නාක් මෙන් ද? ගින්නට දර දවන්නාක් මෙන් ද සෑහීමක් නොවන්නේ ය. මහිච්ඡතා නම් වූ දුර්ගුණයෙන් යුක්ත වූයේ, කොපමණ ලැබුවත් සෑහීමකට පත් නොවන්නා සේ ම තිබෙන වස්තුව පවා නිසිලෙස පරිහරණය නොකොට වස්තුවකට අරක්ගත් රාක්ෂයෙක් සේ ද, තෘෂ්ණාවෙන් සහ ඒ නිසා හටගත් බියෙන්, සැකයෙන්, ඊර්ෂ්‍යාවෙන් යුතුව කල්ගෙවයි. පළඟැටියා පහන් දැල්ලට සමීප වී මිය යන්නාක් මෙන් වස්තුකාමයෙන් මුසපත් වූවෝ එයින් ම දුක්විඳ කයින් ද, මනසින් ද දුබල වී මිය යති. මරණින් මතු බොහෝ ලෙස දුක් දෙන නිරයක උපදිති. “තෝදෙය්‍ය” නම් බමුණාගේ කථා වස්තුව මෙයට නිදසුනකි.

වස්තු තණ්හාවෙන් මිය ගිය බමුණා තම නිවසෙහි ම සුනඛ ධේනුවකගේ කුසින් සුනඛ පෝතකයෙක් ව උපත ලැබීමයි.

ක්ලේශ කාමයන්හි කතාව මෙයටත් වඩා භයානක ය. ලෝභ, දෝස, මෝහ ලෙසිනුත් නැවතත් ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන, උද්දච්ච, අහිරික, අනොත්තප්ප ලෙස දස ආකාරයකින් පසුව එක් දහස් පන්සියයක් ලෙසිනුත් දක්වා තිබේ.

භාග්‍යවතුන් වහන්සේ කාමයන්හි ආදීනව “දුතිය යෝධාපීවුම සූත්‍රයෙහි” “අප්පස්සාදා ආවුසෝ කාමා වුත්තා භගවතා බමහු දුක්ඛා බහු පායාසා ආදීනවො එත්ථ භිය්‍යො. අට්ඨිකංඛලුපමා කාමා”.........

කාමයෝ අල්ප ආස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ උපායාස එනම් බලවත් සිත් තැවුල් ඇතියහ. බොහෝ දුක් සහිත ආදීනව ඇති යැයි භාග්‍යවතුන් වහනසේ දේශනා කළහ. කාමයෝ ඇටසැකිල්ලක් වැනි යැයි ද දෙසූ සේක.

මෙසේ බොහෝ දුක් දෙන, තවන, දවන කාමාදී කෙලෙසුන්ගෙන් සන්සිඳුණේ, එසේ සන්සිඳුණු රහතන් වහන්සේ උපශාන්තව අති පාරිශුද්ධියට පත් වූ හදවතින් යුතු වූයේ සුවසේ සැතපෙති. ඉතාමත් කෙටියෙන් විවරණය කළ සදහම් පෙළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ අපගේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධා ගුණය දියුණු කොටගෙන අනාථපිණ්ඩික ගෘහපතීන්ගේ භාග්‍යවතුන් වහන්සේ දැකීම ද සිතට නගාගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස විරිය දරමු.