Print this Article


බුහුමන් පුදන්නේකෙසේද?

බුහුමන් පුදන්නේ කෙසේද?


අජාන් බ්‍රහ්මවන්සෝ හිමි

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්නව සිටිය දී ජනී ජනයා උන්වහන්සේ මලින්, සුවඳ දුමෙන් පිදුවා. “බුදුන් පුදන නියම විදිහ එය නොවෙයි. බුදුන්ට ගරු බුහුමන් කරන නියම විදිහ එය නොවෙයි.” බුදුරජාණන් වහන්සේ පැවසුවා. “බුදුන් පුදනවා නම් පිදිය යුත්තේ බුදුරදුන් පැවසු දේ ක්‍රියාවට නැඟීමයි.” උන්වහන්සේ දේශනා කළා.

උන්වහන්සේ වදාළ ධර්මය ඔබ අනුගමනය කරනවා නම් උන්වහන්සේට පුදමන් කළ යුතු හොඳම ක්‍රමය එයයි. බුදුරදුන්ට විතරක් නොවෙයි. ඕනෑම ගුරුවරයෙකුට බුහුමන් පිරිනමන්නේ නම් කළ යුත්තේ එයයි. ඔබේ මව්පියන්ට බුහුමන් පිරිනමනවා නම් ඔබ කළ යුත්තේ එයයි. සමහරවිට අපි අපේ මව්පියන්ට වැඳ නමස්කාර කරනවා. බුහුමන් කරනවා. දෙමව්පියන්ට බුහුමන් කරන්නේ ඔවුන්ට මල් පොකුරක් දීමෙන්, එසේ නැත්නම් උපන්දින සුබ පැතුම් පතක් පිරිනැමීමෙන් ද? නත්තල් කාඩ් එකක් යැවීමෙන් ද? මවුවරුන්ගේ දිනයේ හෝ පියවරුන්ගේ දිනය සුබ පැතුම් පතක් යැවීමෙන් ද?

මවක හෝ පියකු වශයෙන් ඔබ ඔබේ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඔබ වඩාත් සතුටුවන්නේ කුමකින්ද? ඔබ සතුටු වන්නේ, ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ දරුවන් සාමකාමීව, සතුටින් ජීවත්වනවා දැකීමෙනුයි. ඔබ ඔබේ මව්පියන්ට නමස්කාර කරන්නේ අන්න ඒ විදිහටයි. ගුරුවරුන්ට ගෞරව කරන්නේ ඔවුන් කියා දුන් යහමඟ යෑමෙනුයි. ඔවුන් ආදර්ශයට ගැනීමෙනුයි. නැතිනම් ඔවුන් කළාටත් වැඩිය හොඳ දේ කිරීමෙනුයි. එවිට ඔවුන් අප ගැන ආඩම්බර වේවි. සතුටු වේවි.

මම කලක් ගුරුවරයෙක්ව සිටියා. මම බොහෝ විට ගුරු වෘත්තියේ නියැළී සිටි කාලයේ මගේ ගෝල බාලයන්ට මට ‘ස්තුතියි’ කියා කිව හැක්කේ කෙසේද? එය කළ හැක්කේ මගේ ගෝලබාලයන් සාමකාමී , සතුටෙන් සිටින සද්ගුණවත් පුද්ගලයන්ව සිටින්නේ නම් පමණයි. ඇත්ත වශයෙන් මම ගුරුවරයෙකු වශයෙන් ඉතා සතුටට පත් වී සිටිනවා. බෝධියානා ආරාමයේ දී මගෙන් ඉගෙන ගත් පොඩි හාමුදුරුවන්ට මට ‘ස්තුතියි’ කියා කිව හැක්කේ ඔවුන් ගුණයහපත්. සිල්වත් සතුටෙන් සිටින හාමුදුරුවන් වී ඇත්නම් පමණයි.

මා ඉගැන්වූ, මා විසින් පුහුණු කළ පුංචි හාමුදුරුවරුන් වැඩි වියට පැමිණ මුල්ම ධර්ම දේශනාව පවත්වන දවසට මා ගුරුවරයෙකු වශයෙන් අප්‍රමණ සතුටට පත් වෙනවා. ඔවුන්ගේ ධර්ම දේශනාවලට සවන් දෙන විට ශ්‍රේෂ්ඨ භික්ෂුවක් විදිහට කිසිදා නොලබන සතුටක් මා ලබනවා. ඔවුන්ට මට ගරු කළ හැකි විදිහ එයයි.

මා සහභාගි වූ අමතක නොවන අවමංගල උත්සවයක් තිබෙනවා. මීට පෙර, මිය ගිය තැනැත්තාගේ භාර්යාවගේ අවමංගල උත්සවයට ද මා සහභාගි වී තිබුණා. මේ කියන්න යන්නේ ස්වාමිපුරුෂයාගේ අවමංගල උත්සවය ගැන යි. මේ තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් අතර කාලයක් තිස්සේ මතභේද තිබුණා. මියගිය තැනැත්තාගේ දූවරු දෙදෙනා අවුරුදු ගණනාවක් තිස්සේ කිසිම සම්බන්ධයකින් තොරව සිටියා. කතාබහ කළේ නැහැ. ලියුම් හුවමාරු කළේ නැහැ. තාත්තාගේ අවමංගල උත්සවයට මේ සහෝදරියන් දෙදෙනා ඇවිත් තිබුණා. අවමංගල උත්සවයේ ආගමික සේවාව පවත්වන විට මේ දෙදෙනාම සහභාගි වුණා. තම පියාගේ මරණය නිසා මේ දෙදෙනාගේ දරදඬු ගති සෝබාව, මොළොක් වී තිබුණා.

මේ දෙදෙනාගේ දරදඬුබව මඟහැරී තිබුණ නිසා අවමංගල සේවාව පැවැත්වීමෙන් අනතුරුව මා තවත් බෞද්ධ ආගමික මෙහෙවරක් පැවැත්වූවා. එය නම් සමාවදීමේ පූජාවයි. “ඔබ සිතෙන් හෝ කයෙන් හෝ දැන හෝ නොදැන කිසියම් වරදක් කර ඇත්තේ නම් ඔබේ පියාගේ නාමයෙන් එකිනෙකාට සමාව දෙන්න” මා කීවා. ඔවුන් එසේ කළා.

“මෙසේ කිරිම ගැන ඔබ වහන්සේට ස්තුතියි. අප දැන් සාමදානයෙන් සිටිනවා” ඔවුන් මට කිව්වා.

“ඔබේ තාත්තාටත් ස්තුතිවන්ත වෙන්න. මක්නිසාදයත් ඔබ දෙදෙනා මෙය කළේ ඔබේ මියගිය තාත්තාට ගරු කිරීමක්” ලෙසයි. මා කිව්වා.

එක් කුසේ උපන් දරුවන් දෙදෙනාගෙන් කිසියම් හේතුවක් නිසා, එකිනෙකා අමනාප වී, එකිනෙකා වෙන්වී සිට එකිනෙකාට සමාව දී නැවත එකතුවීම හරිම කදිම දෙයක්.