Print this Article


අඳුරෙන් ආලෝකයට...

අඳුරෙන් ආලෝකයට...

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීත වනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථ පිණ්ඩික ගෘහපති කිසියම් වූ කටයුත්තක් පිණිස රජගහනුවරට පැමිණියේ ය. අනාථ පිණ්ඩික සිටුවරයාට මහාකාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වූ සේකැයි අසන්නට ලැබිණි. එසේ අසන්නට ලැබුණු මොහොතේ දී ම අනාථ පිණ්ඩික සිටුවරයාට භාග්‍යවතුන් වහන්සේ දැකීමට බලවත් වූ සිතක් පහළ විය.

එනමුත් ඒ මොහොතේ දී ම අනාථ පිණ්ඩික ගෘහපතීන්ට මෙවැනි වූ අදහසක් ද පහළ විය. “භාග්‍යවතුන් වහන්සේ දකින්නට අදම යෑම සුදුසු නොවේ. හෙට දිනයේ භාග්‍යවතුන් වහන්සේ දකින්නට යන්නෙමි” ඒ අදහස ඇතිව භාග්‍යවතුන් වහන්සේ සිහිකරගෙන ම නින්දට සැරසුණේ ය. නින්දේ දී අලුයම යැයි සිතා තුන්වරක් ම නින්දෙන් නැඟී සිටියේ ය. ඉන්පසු අනාථ පිණ්ඩික ගෘහපතීන් සොහොන් දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවෘත කළහ.

අනාථ පිණ්ඩික ගෘහපති නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. ගෘහපතීන්ගේ සිතට බිය සහ තැති ගැනීමක් ද ඇතිවිය. මේ නිසා ආපසු හැරී යන්නට ද ගෘහපතීන්ට සිත්විය. එම අවස්ථාවේ දී සීවක නම් යක්ෂයා නොපෙනී සිටිමින්

“සතං හත්ථි සහං අස්සා සතං අස්සතරී රථ ඒකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සෝළ සිං” යන ගාථාව ගෘහපතීන්ට ඇසෙන්නට සැලැස්විය.

“ඇතුන් සිහදහසක් ද, අශ්වයින් සියදහසක් ද, වෙළඹ සියදහසක් ද, රිය සිය දහසක් ද, මැණික් කුණ්ඩලාභරණයන්ගෙන් සරසන ලද කන්‍යාවන් සිය දහසක් ද යමෙකුට ලැබුණේ ද? භාග්‍යවතුන් වහන්සේ දක්නට යන්නහුගේ එක්පියවරක සොළොස්වතී කලාවෙන් කලාවට නො අගනේ ය” යනුවෙන් ගෘහපතීන්ව උනන්දු කළේ ය. දහම් අවබෝධය පිණිසත්, කෙලෙසුන් නැසීම පිණිසත්, සතිය උපදවා ගැනීම පිණිසත් සංයුක්ත නිකායේ යක්ඛ සංයුත්තයේ අඩංගු සුදත්ත සුත්‍රයෙහි අඩංගු මෙම ධර්ම කොටසින් විවරණය කරගනිමු.

“අභික්කම ගහපති, අභික්ඛම ගහපති, අභික්කමංනං තෙ සෙය්‍යො න පටික්කමන්ති” ගෘහපතියෙනි ඉදිරියට යන්න. ඉදිරියට ම යන්න. නුඹගේ ඉදිරියට ම යෑම සුදුසුයි. ආපසු යෑම නො මැනවි” ඒ අවස්ථාවේ දී ම අඳුර අතුරුදහන් වී ආලෝකය පහළ විය. යම් වූ ද බියක්, තැති ගැනීමක්, ඇති වී තිබුණේ නම් එය මේ නිසා සන්සිඳිනි. දෙවැනි, තෙවැනි වරට ද නැවතත් එළිය අතුරුදහන් වී අඳුර පහළ වන විට ගෘහපතීන්ට බිය, තැති ගැනීම් ඇති වී පෙරළා යෑමට සිත් ඇති වූයේ් ය. සීවක යක්ෂයා ඉහත ගාථාව නැවතත් ඇසෙන්නට සලස්වා ඉදිරියට ම යන්න. ඉරියට ම යන්න. ඉදිරියට ම යෑම මැනවි. ආපසු හැරී යෑම නොමැනවි යනුවෙස් පැවසී ය. අඳුර පහ වී ආලෝකය පැතිරිණි. යම් වූ ද බියක් තැති ගැනීමක් ඇති වී -තිබුණේ ද එය ද සන්සිඳිනි. ඉක්බිති අනාථ පිණ්ඩික ගෘහපති ශීත වනයට ගියේ ය.

මෙම අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට එළිමහනේ සක්මන් කරමින් වැඩ සිටි සේක. තමන් වහන්සේ දෙසට පැමිණෙන්නා වූ අනාථ පිණ්ඩික ගෘහපති දුරදීම දුටුසේක. භාග්‍යවතුන් වහන්සේ සක්මනින් බැහැරව පනවන ලද ආසනයෙහි වැඩ සිටිමින් අනාථ පිණ්ඩික ගෘහපතීන්ට “සුදත්ත” මෙහි පැමිණෙන්න යැයි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් මාගේ නමින් ම මට අමතන්නේ යැයි සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේගේ දෙපා නැමැද ගෞරව කළේය.

අනාථපිණ්ඩික සිටුතුමා බුදුරදුන්ගෙන් විමසූ පැන පොසොන් පුර අටවක පුවත්පතෙන්