Print this Article


ඒහි පස්සික 15:  බුදු දහමට අනුව ප්‍රායෝගික ජීවිතය

බුදු දහමට අනුව ප්‍රායෝගික ජීවිතය ගත කළ යුතුය

අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපේ ජීවිත සකස්කරගත යුතුව තිබෙනවා. එසේ අපේ ජීවිත සකස් කර නොගතහොත් මේ ජීවිතයේ දී සිදු කරන යම් යම් ක්‍රියාකාරකම් නිසා සසර ජීවිතයෙහි ඇතිවන දුක් කන්දරාවෙහි අඩුවක් නොවී වැඩිවන්නට ඉඩ කඩක් තිබෙන බව සඳහන් කළ යුතුයි.

මේ ජීවිතයේ දී යම් දෙයක් වරද්දාගතහොත් එය නැවත නිවැරැදි කර ගැනීම එතරම් පහසු නොවන බව කල්පනාවට ගත යුතු යි. මේ ජීවිතයේ දී වැරැදීම්, අතපසුවීම් නොමැතිව කටයුතු කිරීමට ලොකු අධිෂ්ඨානයක් තිබිය යුතු යි.

ජීවිතයේ දී ප්‍රායෝගික කටයුතුවලදී අප විසින් සිදුකරගනු ලබන වැරැදි දේ පිළිබඳ කල්පනා කර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු සිදුකළ යුතු වෙනවා.

ලෙඩ රෝග ආදිය ඇතිවීම අපේ ජීවිතයට අභියෝගයක්. ලෙඩ රෝග ආදියේදී අප නිවන් දකින්නට පිළිපන් අය ලෙස නිවැරැදි දෘෂ්ඨියෙන් යුතුව ද කටයුතු කරන්නෙ කියල විමසා බැලිය යුතුයි. එපමණක් නොව අනෙකුත් ව්‍යසනකාරී තත්ත්වයන්වලදී අප ක්‍රියාත්මක වන්නේ කොහොමද? හේතුව නිවන් දකින්න සූදානම් වන කෙනෙක් නම් එබඳු අය පැහැදිලිව ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ම කටයුතු කිරීමට හැම වෙලේම පෙළගැසී ඉන්නට ඕනෑ.

ඊට හේතුව තමයි ශ්‍රද්ධාව කියල සඳහන් කරන්නේ. නිවැරැදිව ශ්‍රද්ධාව මූලික කරගෙන කටයුතු කරන ඇත්තෝ ඒ ශ්‍රද්ධාව හේතුවෙන් හැම ගැටලුවකදී ම මට වැඩිය බුදුරජාණන් වහන්සේ දන්නවා කියල විශ්වාසය ඇති කරගත යුතුමයි.

මට වඩා දන්නා කෙනෙක් නැතැයි සමහර විට සමහර අය කටයුතු කරනවා. ‘මට මොනවද දැනෙන්නේ?’ එසේ තමන්ට දැනෙන ආකාරයට තමයි කටයුතු කිරීමට උත්සාහ කරන්නේ. තමන්ට හිතෙන ආකාරයටයි ජීවත්වන්නෙ. මම තමයි සියල්ල දන්නෙ කියල සමහරවිට සමහර කෙනෙක් කටයුතු කරන්නෙ.

අප අපගේ ජීවිතයේ ලොකුකම පැත්තක තියල බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන්නෙ කුමක්ද කියා හැමවෙලාවෙම සොයා බලන්න පෙළඹෙන්න ඕනෑ.

මේ ලෝකයේ කෝටි හත්සියයකට වැඩි පිරිසක් ජීවත් වෙනවා. තමන් කියන දේ අහන්නෙ කීයෙන් කී දෙනාද කියල කල්පනා කර බලන්න. තමා කියන දේ පවුලෙහි කීප දෙනෙක් නැතිනම් ගමක කීප දෙනෙක් පමණක් නම් අහන්නෙ තමා කියන දේ ගැන පිළිගැනීමක් නෑ කියන අදහස, අර්ථයයි එහි තිබෙන්නෙ. තමා කියන දේ අනෙක් සියලු දෙනා අහනවා යැයි, තමා තුළ විශ්වාසයක් ඇතත් එසේ තමා කියන දේ නො අසන්නේ සාධාරණ පිළිගැනීමක් නොමැති නිසයි. අත්හදා බලන්නට කුඩා උදාහරණයක් ගෙන බලමු. කතාබහ කරන, උපදෙස් දෙන හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කළ විධියට ම කෙනෙකු උපදෙස් දෙන්නට ඕනෑ යැයි සිතාගෙන උපදෙස් දීමට පටන්ගෙන බලන්න. ඒ සොයා ගත යුතු යි. ඊට කළ යුත්තේ ධර්මය ගවේෂණය කිරීමයි. යම් කෙනෙක් මේ තථාගත ධර්මය ගවේෂණය කර ඒ අයුරෙන් උපදෙස් දී බලන්න.

බුදුරජාණන් වහන්සේ මේ මේ ස්ථානයන්හිදී ජීවත් විය යුත්තේ මේ ආකාරයටයි යනුවෙන් අනුශාසනා කර තිබෙනවා. උපදෙස් දී තිබෙනවා. අන්න ඒ ආකාරයට අන් අයට අප උපදෙස් දීමෙන් වැඩි කලක් ගත වන්නට මත්තෙන් වැඩි දෙනෙක් තමන් කියන දේ අහන්න පටන් ගන්නවා. හේතුව ඇයි? පවුලේ අය තුළ, මේ අය තුළ රාවයක් ඇතිවෙනවා. අසවල් තැනැත්තා කියන දේ හරි කියල. ඇයි හරියටම හරියන්නෙ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තිබෙන ඇත්ත, සත්‍යය දේශනා කළ නිසයි. එසේ ඇත්ත දේශනා කරපු නිසා ඒ විධියට ජීවත්වන්නට උපදෙස් දිය යුතු යි.