Print this Article


පහන් සිතක කවි

වෙසක් අරුත

වටකුරු සුපුන් සඳ පෑයු මුත් අහසේ
රට තුළ වෙසඟ සිරි නොදිටිය පෙර විලසේ
සිට නිවසේ ම සිල් රැක්කත් පෝ දවසේ
හෙට දිනවත් පහව යේවා බිය මනසේ

බොදු කොඩියෙන් ගසා, නවතා, ඇද, කවන
හැදූ දන්සල් මෙවර නො මැතිය නිඟා දුන
පිදූ ජීවිත වලට ගෞරවයක් ලෙසින
රුදු ත්‍රස්තයන්ට ද මෙත පෑ වෙසඟ දින

ඔලු බක්කන් නොදිටි , නැටවූ සැකිලි නැත
කළු හැඳ බිය මැවූ හොල්මන් ගුහා නැත
එලු ගෝනියෙ ‘ගෝනි එළුවා’ කළේ නැත
හෙලූ කඳුළැලි මතත් වෙසඟේ අරුත ඇත

****

සිදුහත් බෝසතාණෝ

තුන් ලෝ සත සනහාලන උතුම් පැතුම් ඉටු වුණේය
සංසාරේ සංචාරය කුමරුන්ගේ නිම වුණේය
තුන් පින්කම් දන් සිල් භාවනා ලොවේ පළ වුණේය
ලුම්බිනි සල් උයනේ දී වෙසක් දිනේ ඉප දුණේය

කල්ප ගණන් සංසාරේ පෙරුම් පුරා බුදු වුණේය
දස මරසෙන් තණ්හා රති රගා එදා පැර දුණේය
වසවත් මරුවාට වුණත් ළං වෙන්නට බැරි වුණේය
සිදුහත් බෝසත් උතුමෝ වෙසක් දිනේ බුදු වුණේය

පන්සාළිස් පුරා වසර ගාණක් ලොව සෙත සාදා
දෙව් නර බඹ සියලු සතුන් වෙත මෙත් කුළුණැස වීදා
චතුරාර්ය සත්‍ය දහම තුන් ලෝ තලයට පාදා
වෙසක් පොහෝ දින සමරමු පරිනිර්වාණය වූදා

****

බුදුහිමි නමදිමු

තුන් ලොව දිනූ විශ්මිත වීරයාණෙනි
පන් සාළිස් වසක් දම් දෙසූ නියමුවාණෙනි
දන් පින් කරන්නට යොමු කළ බුදු රජාණෙනි
රන් අකුරෙන් ලියමි ඔබෙ ගුණ පියාණෙනි

****

අහුබුදු සැමරුම

දේශ පේ‍්‍රමයෙන් ඔද වැඩී ගී පබැදෙන්නට විය
ලංකා ලංකා පෙම්බර ලංකා ඒ අතර විය
සෙංකඩගල පුර දළදා බුදු රැස් විහිදෙන්නට විය
ඒ හැම ගීතයක් ම අරිසෙන් අහුබුදු ගේ විය

හෙළයේ දිනෙන් දින උපදින දරුවන් ද බොහෝ විය
ඒ සැම වෙතම අරිසෙන් අහුබුදුගෙන් හෙළ නමක් විය
කාලය දිනෙන් දින ගෙවී අනූ එක් වසරක් ම විය
ලක්මවට සමු දුන් අහුබුදුගේ සැමරුම අට වසක් විය

****

සුවපත් වූවා

සදහම් සිසිල දස අතටම පැතිරුවා
සසර දුකෙන් ලෝ සත හැම මිදලුවා
ගස් වැල්වල පවා වෙනසක් ඇති වූවා
වෙසඟේ සියලු සත්වයො සුවපත් වූවා

****

නිවී ගිය නැණ පහන

පන්සාළිස් වසක් බුදු කිස නිම කෙරුණේ
තුන් ලෝ ගුරු පියා උපවත්තන උයනේ
පුන් පොහො දිනයක ය වෙසඟේ පිරි නිවුණේ
තුන් ලොව අඳුර දුරු කළ නැණ පහනය නිවුණේ

****

බාධාව

අම්මේ හෙට යි නොවැ වෙසඟේ පුන් පොහොදා
හැම ගෙදරකම ඇත නෙක සැරසිලි සාදා
අපට හට එළිය කූඩුවක් නැත ය මෙදා
මුදලක් නො මැති හින්දද ඒකට බාධා