Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 27: පොළොන්නරුවේනෙළුම් පොකුණ

පොළොන්නරුවේනෙළුම් පොකුණ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

“නෙළුම් පොකුණ” වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි. එය මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජතුමාගේ අනුග්‍රහයෙන් පොළොන්නරු යුගයේ සාදන ලද බව මහාවංසයේ දෙවැනි කොටසේ ද සඳහන් වන කරුණකි. නෙළුම් පොකුණ පොළොන්නරුවේ පිහිටි සුවිශේෂ සැලසුමකින් යුක්ත ශිලා පොකුණකි.

“කුඩා වුවත් මෙම නෙළුම් පොකුණෙහි සුන්දරත්වය වර්ණනා කරන එවක පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා ඔහුගේ 1909 පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන් කර තිබුණි. “මෙම අලංකාර ශිලා පොකුණෙහි කලාත්මක භාවය කාගේත් ප්‍රශංසාවට ලක්විය යුතු ය. මෙහි විෂ්කම්භය අඩි 24.9 ක් වූ කළුගලින් නිර්මිත පිපුණු නෙළුම් මලක් ලෙස සම කේන්ද්‍රීය පිට පෙති පහක් සහ හරස් අතින් අඩි 5.4 ප්‍රමාණයෙන් නටුව දක්වා ක්‍රමයෙන් කුඩා වී යන පෙති අටක් සහිත අතිවිශාල නෙළුම් මලක් පිළිබඳ සඳහන් කරමින් එවන් මහා පියුමක් ගැන චිත්ත රූපයක් මවා ගන්නා ලෙසද ඔහු අපගෙන් අයැද සිටී. ගැඹුරින් අඩි 4.6 ක වටකුරු කුහරයක් තුළට නැමී යන මල්පෙති වටය සහ කළුගලින් නිර්මිත නෙළුම් පොකුණ එහි සියලුම චමත්කාරයෙන් යුතුව අදත් නොනැසී පවතින අයුරු දැකගත හැකි ය. මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජු විසින් සාදවන ලද්දකි. ඒ අසල පිහිටි ජේතවනාරාම විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා උදෙසා සාදන ලද පොකුණකි. (පොළොන්නරුව – මධ්‍යකාලීන ලක්දිව අග නගරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 209-210 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි 1998)

මෙම වර්ගයේ පොකුණු කිහිපයක් ම පොළොන්නරුවේ තිබුණු බව හමු වී ඇති නටබුන්වලින් හෙළි වේ. නෙළුම් පොකුණ ලෙස මෙකල හඳුනාගෙන ඇති තිවංක පිළිම ගෙයට යන මාර්ගයේ වම් පසින් පිහිටා ඇති පොකුණ ය. පොකුණ තට්ටු පහකි. සෑම තට්ටුවක් ම නෙළුම් මලක පෙති ඇති ආකාරයට නිමවා ඇති පොකුණ පොළොන්නරුවේ දක්නට ඇති පොකුණු අතර විශේෂිත වූවකි. උත්තරාරාමය ආසන්නයේ තිබුණු ආරාම සංකීර්ණයෙහි වාසය කළ සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ පොකුණක් යැයි සිතිය හැකි මෙය ප්‍රමාණයෙන් හෝ හැඩයෙන් අනුරාධපුරයේ පොකුණු සමඟවත් සමාන නොවන පොළොන්නරුවට විශේෂ වූ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. මෙය කොටස් දෙකකින් යුක්ත ය. 1.පාදම 2.උපරි ව්‍යුහය වේ. පාදම නිර්මාණයේ දී ඉතා සුන්දර සැරසිලි අංග භාවිත කර ඇත. උපරි ව්‍යුහය ද එසේ ය. මෙය නිර්මාණය කිරීමේදී අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවලට වඩා විසිතුරු ලෙස මේ අංග භාවිත කර ඇත. අනුරාධපුර යුගයේ ගොඩනැගිලි අලංකරණය සඳහා භාවිත කළ සරල මෝස්තර පොළොන්නරු යුගයේ දී තරමක් සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබේ. නිදසුනක් ලෙස ථූපාරාමය (පොළොන්නරුවේ) හා ලංකාතිලක පිළිම ගෙවල්වල බිත්ති සැරසීමට යොදා ගත් ක්‍රමවේදයන් ඉතා සංකීර්ණ ස්වභාවයක් දක්වයි.

නෙළුම් පොකුණේ පාදම සැකසීමේදී අනුරාධපුර යුගයට සමානකම් දැක්වූවත් ඇතැම් අවස්ථාවලදී ඊට වැඩි සැරසිලි අංග එක් කළ අවස්ථා ද ඇත.මහායාන හා හින්දු බලපෑම නිසා මෙසේ මෝස්තරවල සුළු වෙනස්කම් සිදු වී ඇත. (පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි මෝස්තර මහාචාර්ය සරත් ඤාණසිරි මල්දෙනිය – පි. 88-89 2016)

බදාමයෙන් සහ ගඩොලින් නිම වූ ලංකාතිලක, ථූපාරාමය (පොළොන්නරුවේ) හා තිවංක පිළිමගෙය යන ගොඩනැගිලි සැරසිලි යොදා අලංකාර කිරීමේ දී නෙළීමට වඩා බදාමයෙන් ඇඹීමේ ක්‍රමවේදය භාවිත කර තිබේ. පොළොන්නරුවේ රාජ වෛශ්‍යා භුජංග මණ්ඩපය, නිශ්ශංක ලතා මණ්ඩපය ආදී ගොඩනැගිලිවල “නෙළීම” භාවිත කර ඇත.

ගඩොලින් බැඳි හෝ ගඩොලින් කළ ගොඩනැගිලිවල පාදම සැරසීම සඳහා වාමනරූප, සිංහ රූප හා ඇත් රූප ශෛලිගත අයුරින් නිමවා ඇති බව මහාචාර්ය සරත් ඤාණසිරි මල්දෙණිය මහතා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි වැඩිදුරටත් සඳහන් කරයි. නෙළුම් පොකුණ පිහිටි ගලෙහි නෙළන ලද ආකාරය සැබැවින් ම නෙළුම් මලේ පෙති නිර්මාණාත්මක ආකාරයෙන් නෙළා තිබීම එම මූර්ති ශිල්පියාගේ දක්ෂතාවය පෙන්නුම් කරන අවස්ථාවකි.

“පොළොන්නරු වාස්තු විද්‍යාවේ වැදගත් අංගයක් වන්නේ පොකුණු නිර්මාණයයි. නෙළුම් පොකුණ වූ කලී පොළොන්නරුවටම අනන්‍යවූ අගනා නිර්මාණයකි. පොළොන්නරුවේ කුමාර පොකුණ ද පොළොන්නරු වාස්තු විද්‍යාත්මක නිපුණත්වයේ සංකේතයකි. එසේම හින්දු කෝවිල් ද විවිධ සැරසිලි මෝස්තර භාවිත වූ ගොඩනැගිලි අතර වැදගත් වේ.

නෙළුම් මල, නෙළුම් පොහොට්ටුව පුරාණ බෞද්ධ මූර්ති ශිල්පීන්ගේ ඉතාමත් වැදගත් පූජනීය නිර්මාණයක් ලෙසින් ප්‍රකට ය. ඒ අනුව නෙළුම් මලක ස්වභාවයෙන් ශිලාමය ඵලකයක නෙළන ලද මෙම නිර්මාණය නූතන යුගයේ දී රඟමඬලක් ලෙසින් නිර්මාණය කිරීමට යොදා ගැනීම ද එදා ඒ ශිල්පියාගේ නෙළුම්පොකුණට කළ උපහාරයක් ලෙසින් සැලකිය යුතුව ඇත. මෙකල නෙළුම් පොකුණ රඟහල නමින් කොළඹ ඉදිකර ඇති රඟහල පොළොන්නරුවේ අපේ පුරාණ බෞද්ධ ශිල්පීන් නිර්මාණය කළ නෙළුම් පොකුණ නිර්මාණය අනුව නිමවන ලද බව සමහරවිට බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් විය හැකි ය. එය අපේ පුරාණ බෞද්ධ මූර්ති ශිල්පීන්ට කළ ගෞරවණීය අගැයීමකි.