Print this Article


පූජාච පූජනියනං

මාවෙල සිරිසුමන නා හිමි

රත්නපුර දිසා පාලක මාවෙල සිරිසුමන නාහිමියන්ගේ 65 වන ජන්ම දිනය ජූනි 04 දිනට යෙදී ඇත.

බළංගොඩ මාවෙල ගම් පියසේ කොරටුවවත්ත විතානගේ දම්පතීන්ට 1954 ජුනි 04 දින පුණ්‍යවන්ත පුත් රුවනක් ලැබිණි.එම පුත් රුවන හැදී වැඩී මූලික අධ්‍යාපන කටයුතු මාවෙල සිංහල බෞද්ධ විද්‍යාලයෙන් ලැබූ අතර 1965 බළංගොඩ කිරිමැටිතැන්න ශ්‍රී කල්‍යාණාරාමයේ දී නෑහින්නේ සරණතිස්ස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මාවෙල සිරි සුමන නමින් පැවිදි ජීවිතයට ඇතුළත් විය. බළංගොඩ ශ්‍රී දේවානන්ද පිරිවෙන ඇතුළු පිරිවෙන් කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ අතර වැඩි දුර අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා රත්නපුර ශ්‍රී සුමන පිරිවෙනට ඇතුලත්වීමට අවස්ථාව සැලසුණි. එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝ නායකව වැඩසිටි හේන්පිටගෙදර ඤාණසීහ, හේන්පිටගෙදර ඤාණාවාස මාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා ලැබීමටද හැකිවිය. පිරිවෙන් අධ්‍යාපනය ලබන වකවානුව තුළ රත්නපුර බෝධිරාජාරාමයේ එවකට ලෑලි මඩුවක ඉදිකර තිබූ කුඩා කුටියක දුෂ්කරතා මධ්‍යයේ නේවාසිකව වැඩ විසීමට සිදුවිය. 1974 දී නෑහින්නේ සරණතිස්ස, බටුගෙදර සුදම්ම මාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් හා ඉඳුරුවේ උත්තරානන්ද මහානායක මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කළුතර කළුගග උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාවට පත් විය.

රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනේ දී ප්‍රාචීන ඇතුලුව මූලික විභාගවලින් මනාලෙස සමත් වී 1978 දී කැලණි විශ්වවිද්‍යාලය මගින් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකරගත් අතර 1984 දී ලලිත් ඇතුලත්මුදලි ත්‍යාගයද සහිතව ත්‍රිපිටකාචාර්ය උපාධිය හිමිකරගත් අතර 1986 දී බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සමත් විය. 1989 දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් අධ්‍යාපන ඩිප්ලෝමා පශ්චාත් උපාධිය ලබාගැනීමටද සමත් විය.

1985 දී නිවිතිගල වටාපත මහ විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් රජයෙන් ගුරු සේවයට එක් වී දක්ෂතා හා මනා පරිණතභාවය මත 2005 දී සබරගමු පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ආගමික) හා පිරිවෙන් සම්බන්ධීකරණ නිලධාරි ධූරය දක්වා ක්‍රමයෙන් උසස්වීම් ලබාගැනීමට නාහිමියන්ට හැකි විය. නා හිමියන්ගේ ඵල සපිරි පිරිවෙන සංකල්පය මත සබරගමු පළාතේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමටද හැකි විය.

රත්නපුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී වශයෙන් පත්වූ නා හිමියෝ දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීම ට ද ඉතා උනන්දුවෙන් කටයුතු කළේ ය. ශ්‍රී බෝධිරාජාරාමයේ පැවැත්වෙන සිංහල, ඉංගී‍්‍රසි මාධ්‍ය තුළින් සිසු සිසුවියන් විශාල පිරිසක් දහම් පාසල් අධ්‍යාපනය හදාරන දහම් පාසල ද රත්නපුර දිස්ත්‍රික්කයටම ආදර්ශයකි. 1997 දී බටුගෙදර සුදම්ම නාහිමියන් අපවත්වීමෙන් පසු ශ්‍රී බෝධිරාජාරාමාධිපති ධූරයට පත්වන නාහිමියන් තම දායක පිරිසගේ හා පරිත්‍යාගශීලීන්ගේ මනා සහයෝගය මත තම විහාරස්ථානය රත්නපුර නගරයේ අංග සම්පූර්ණ දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කිරීමට ඉමහත් වගකීමක් භාරගෙන කටයුතු කළේ ය. මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වැනි රටවලද වස් කාලය තුළ වස් වැසීමට නාහිමියන්ට අවස්ථාවක් සැලසුණු අතර එම කාලය තුළදී එම රටවල ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයින් අතර ද බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමට හැකි විය. ගෞරව නාම රාශියකින් පිදුම් ලබා ඇති නා හිමියෝ 2006 දී සබරගමු පළාතේ හොඳම ගුරුවරයාට හිමි විද්‍යා ප්‍රසාදිනී ශ්‍රී ජනාධිපති සම්මානයට ද පාත්‍ර විය. අනාගත සමාජයට ආගමික හා සමාජයීය වශයෙන් ඉමහත් සේවාවක් ඉටුකළ හැකි දක්ෂ පැවිදි ශිෂ්‍ය පිරිසක් ද ශාසනයට දායාද කර ඇත. රත්නපුර ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරී වශයෙන් පත්වීමෙන් පසු තම නිකායේ උන්නතිය වෙනුවෙන් කළ සේවාව පිළිබඳ පැහැදුන මහා නා හිමියන් ප්‍රධාන පාලක කාරක සංඝ සභාව නා හිමියන් වෙත ශ්‍රී දේවානන්ද සුදම්ම වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී සංඝ සෝභන යන ගෞරව නාම සම්මුතිය සහිතව රත්නපුර දිසා පාලක ධූරය පිරිනැමූ අතර ඒ පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය හා සිව් මහල් ධර්ම මන්දිරය විවෘත කිරීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නා හිමියන් ප්‍රධාන සම්භාවනීය තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ හා විශාල ගිහි පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ දී පැවැත්විණි.

මාවෙල සිරි සුමන නාහිමියන් විසින් ඉටු කරනු ලබන ආගමික, අධ්‍යාපනික, සමාජ සේවාවන් තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා නිරෝගී සම්පත්තිය ලැබේවා.


තුම්බෝවිල ධම්මරතන නා හිමි

පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමය, මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න පුරාණ විහාරය යන උභය විහාරාධිපති, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ධර්මචාර්ය, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන හිමියන්ගේ පනස් තුන්වන ජන්ම දිනය පෙබරවාරි මස දා හත්වන දිනට යෙදී තිබිණි.

කොළඹ සල්පිටි කෝරලයේ පිළියන්දල තුම්බෝවිල ග්‍රාමයේ විසූ කේ. ඩී. ජයවර්ධන මහතාගේ සහ මාතර චන්ද්‍රා පියසීලි මහත්මියගේ දෙටු පුත් රුවන ලෙස 1966 පෙබරවාරි මස 17 වන දින උපත ලද කේ. ඩී ධර්මසේන කුමරුවා 1983 මැයි මස 17 වන දින තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමය සහ උඩපමුණුව බණගේතැන්න උභය විහාරාධිපතිව වැඩ විසූ, මල්වතු පාර්ශ්වයේ කොළඹ සල්පිටි කෝරළයේ ද්විතීය අධිකරණ සංඝ නායක, වෛද්‍යාචාර්ය පදවිගම්පොල ගුණානන්ද නාහිමියන්ගේ සහ ඌව ස්‍යාමවංශික මහා නිකායේ වර්තමාන මහානායක, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, අඹේවෙල පඤ්ඤාසාර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා පිරුණු විසිවයස් ඇතිව කැප්පෙටිපොල සුභද්‍රාරාම මහා විහාරස්ථ මංගලෝපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ.පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරුවනට ඇතුළත්ව සාර්වභෞම පණ්ඩිත මහාචාර්ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, මහාචාර්ය නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමි, ආචාර්ය වැලමිටියාවේ ධර්මරක්ෂිත නාහිමි, ප්‍රාචීන භාෂා චක්‍රවර්තී රත්කරැව්වේ විමලධම්ම නාහිමි, මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී නාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමි, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි ආදී වියත් යතිවරයාණන් වහන්සේලාගේ පා සෙවණෙහි ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි නිරත වූහ.

නිට්ටඹුව සාරිපුත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයට සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයට ඇතුළත්ව උසස් අධ්‍යාපන කටයුතු සිදු කොට බොරලැස්ගමුව මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය යන විද්‍යාස්ථානයන්හි ධර්මාචාර්ය පදවි හොබවා දැනට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙහි ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙසින් කටයුතු කරන සේක.

ගුරුදේවයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු තුම්බෝවිල සද්ධර්මාරාමය සහ උඩපමුණුව බණගේතැන්න යන විහාරස්ථානයන්හි ආධිපත්‍යයට කැපවූ නාහිමිපාණෝ විහාරද්වයෙහිම සියලු විහාරාංග තනවමින් සහ කාලානුරූපීව නවීකරණ සිදු කරමින් නූතන නවෝදයට කැප වූහ. විශේෂයෙන් උඩපමුණුව විහාරස්ථානයෙහි සියලු විහාරාංග තනවමින් යළිත් පුනර්ජීවය ලබා දීමට කැප වූහ. තුම්බෝවිල සාදු දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධූරය දරන අතර එහි ඉංග්‍රීසි මාධ්‍ය අංශයක් ද ආරම්භ කිරිමට කටයුතු කළහ.

කැස්බෑව බොරලැස්ගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය, කැස්බෑව විහාරාධිපති සංගමයේ ලේකම් පදවිය හොබවන අතර ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු පදනම, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම, ඌව ස්‍යාම වංශික නිකාය අමරපුර ධර්මරක්ෂිත නිකාය, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන වෙතින් ශාසනික ගෞරව නාම රැසකින් පුද ලදහ.

ඇමරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියුතු දර්ශනපති අඹේවෙල මහානාම හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි, පරිවේණාචාර්ය තිහගොඩ සාරද හිමි ඇතුළු ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසක් බිහි කළ තුම්බෝවිල ධම්මරතන හිමිපාණන් වහන්සේ හට විංශත් ශත වර්ෂාධික කාලයක් ලෝක ශාසනික කටයුතු වල නිරත වීමට ආයු ආරෝග්‍ය සම්පත් ලැබේවා.


මාරස්සන මහින්ද හිමි

මාරස්සන මහින්ද හිමිපාණන් වහන්සේ හැඟව ශ්‍රී සුධර්මාරාමාධිපතිව වැඩ සිටි මාරස්සන සෝමානන්ද ලොකුහාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1983 දී පැවිදි ජීවිතයට පත්වූහ.

1989 දී මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටියහ. සඳලංකාව ශ්‍රී ශාස්ත්‍රෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් අධ්‍යාපන උපාධියත් ලබා පිරිවෙන් ගුරුවරයෙක් ලෙස දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම මූලික පිරිවෙනින් ගුරු සේවය ඇරඹූහ. වර්තමානයේ කුලියාපිටිය, කනදුල්ල ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙනෙහි ප්‍රවීණාචාර්යවරයෙක් ලෙස සුවහසක් ගිහි පැවිදි සිසු දරුවන් හට සිය අධ්‍යාපනික සේවය සලසා දෙමින් කටයුතු කරති.මාරස්සන සෝමානන්ද ලොකුහාමුදුරුවන් වහන්සේ අපවත්වීමෙන් පසු හැඟව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ බවට පත් වන අතර එදා මෙදා තුර වසර විසිපහක් පුරාවට සිය හතර පේරුවේ දායක පින්වතුන්ගේ සියලු ආගමික හා ජාතික කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් සිය අධ්‍යාපනික සේවය ද වගකීමෙන් ඉටුකරන යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි කාගේත් සම්භාවනාවට ලක් වී ඇත.

මාරස්සන මහින්ද හිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ ‘ශ්‍රී සෝමානන්ද දහම් පාසලෙහි වසර තිස් හතරක් ආචාර්යවරයෙක් ලෙස ද, වසර විසිපහක් ප්‍රධානාචාර්යන් වහන්සේ ලෙසද දැයේ දූ දරුවන්ගේ දහම් පවස නිවාලමින් සිදුකරන මෙහෙවර නැවතත් අගය කොට සිටිමු. පන්නල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ අනුමණ්ඩල ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස සමස්ත බල මණ්ඩලය උදෙසාම සලසා දෙන සේවය ද අගය කළ යුතු ය. තම විහාරස්ථානයේ පිහිටුවන ලද “සිඟිති පෙර පාසල” වර්තමානයේ විශාල සේවයක් සිදුකරන ආයතනයක් බවට පත්කර ඇත.

විහාරස්ථ ශ්‍රී පුණ්‍යවර්ධන දායක සභාව ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය මෙන්ම ප්‍රදේශයේ බොහෝ සමිති සමාගම්වල ප්‍රධාන අනුශාසකයන් වහන්සේ ලෙස කටයුතු කරන උන්වහන්සේ “හැඟව විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය” මඟින් සිදුකරනු ලබන සේවය නිසි මඟ පෙන්වාදීමකි. ශාස්ත්‍රවේදී මාරස්සන මහින්ද හිමිපාණන් වහන්සේගේ පනස්වන ජන්ම දිනය වෙනුවෙන් ජුනි මස 05 වන දින අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක් හා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් ද පවත්වා ආශීර්වාද පළ කරනු ලැබේ. මාරස්සන මහින්ද හිමිපාණන් වහන්සේට ජාතික, ආගමික සේවාවන් කිරීමට නිදුක් නීරෝගී සුවවේවා.