Print this Article


 තමන් සැනසී

තමන් සැනසී ලොව සනසවන්න

පින්වතුනි, දුටුගැමුණු රජතුමා ස්වාමින් වහන්සේලාට බොහෝ ගෞරව දැක්වූ කෙනෙක්. අනේ ගැමුණු නිරිඳු එදා නිතරම කල්පනා කළේ මට හාමුදුරුවන් වහන්සේලාගේ අගුණයක්, දොසක් කවදාවත් පේන්න එපා. මහා සංඝ රත්නයේ අඩුවක් නම් මගේ දෙනෙතට නොපෙනේවා.

ගැමුණු මහ රජතුමා මහා සංඝරත්නය පි‍්‍රය කරපු උතුමෙක්. එතුමා අදටත් තව්තිසා දෙව්ලොව දෙවි කෙනෙක් ලෙස වැඩ වාසය කරනවා. පින්වතුනේ, දුටුගැමුණු රජතුමා නිතරම වැඩූ භාවනාව සංඝානුස්සතියයි. මහා සංඝ රත්නය ගැන විශ්වාසයෙන් සංඝානුස්සතිය වඩන ඇත්තෙකුට කවදාවත් වරදින්නේ නැහැ. හැමදාම ගැමුණු මහ රජතුමා පන්සලට ගිහින් දානය දෙනවා. එක දවසක් ගෝඨාභයට කියනවා පන්සලට දන් දෙන්න කියලා.

‘ගෝඨාභය පන්සලට ගිහින් ආවාද? ඔව් රජතුමනි,ඒත් මම දන් කද දෙන්නේ නැතුව ආපසු ආවා. “ඇයි ගෝඨාභය” “මම ගඟ අයින දිගේ දන් කද අරගෙන යන කොට පොඩි හාමුදුරුවෝ ගඟේ මාළු බානවා. මා දැකපු ගමන් පොඩි හාමුදුරුවෝ දිව්වා. මේ විදියේ අයටද අපි දන් දෙන්නේ රජතුමනි” “එහෙම කියන්න එපා. ගෝඨාභය ගඟේ මාළු අල්ලපු අනිත් අය ඔබව දැකලා දිව්වේ නැහැනේ. පොඩි හාමුදුරුවෝ දන්නවා කළේ වරදක් කියලා. ඒක පිළිගත් නිසානේ දිව්වේ. සංඝයා වහන්සේලාගේ අඩු පාඩුකම් පමණක් දකින්න හොඳ නැහැ” දුටුගැමුණු රජතුමා මහ පුදුම කෙනෙක්. බලන්න පින්වතුනේ. ඒ පොඩි හාමුදුරුවෝ වරද වරද ලෙස තේරුම්ගෙන සීලයට පලුද්දක් වෙයි කියලනේ හිතුවේ. ඒක අහපු ගෝඨාභය පන්සලට ගියා. පින්වතුනි, අගුණවන්තයාගේ අගුණ දකින්න දකින්න අපිත් අගුණ වෙනවා. ඒත් අගුණවන්තයකුගේ හරි එක ගුණයක් හෝ දකින්න පුරුදු වෙමු. අපි කොහොමද ලෝකෙ වෙනස් කරන්නේ.

පින්වතුනි. සංඝානුස්සතිය වඩන ඇත්තාට තියන සැනසීම මොනතරම් ද? සංඝානුස්සති වඩන ඇත්තාට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. නරක නපූරු අයගෙන් හානියක් වෙන්නේ නැහැ. කෙනෙක් සිල්වතුන්ගේ, ගුණවතුන්ගේ ගුණ නිතර නිතර මෙනෙහි කරනකොට විශ්මිත ප්‍රාතිහාර්ය ගුණ ශක්තියක් මතුවෙනවා. ගුණවතුන් වහන්සේලාගේ, සිල්වතුන් වහන්සේලාගේ දුර්ලභ දහම් පද දෙසවන්වලට වැටෙනවා. ගුණවන්ත කෙනෙක් ආශිර්වාද කරනකොට ඒ ආශිර්වාදය ඉක්මනට ඒ ඇත්තාට ලැබෙනවා. මොනම තැනකදීවත් හානියක් කරදරයක් වෙන්නේ නැහැ. නිතරම සිත පාලනය කරගන්න පුළුවන්. සිල්වතුන් ගුණවතුන් ආශ්‍රයට ලැබෙනවා.

පින්වතුනි, මතකද එදා කෝලිත සහ උපතිස්ස තරුණයන් දෙදෙනා. ලෝකයේ සත්‍ය සෙවූ හැටි. අනේ මේ දෙන්නා ගිරග්ග සමජ්ජ නාට්‍ය බලන්න යනවා. කලින් දවස්වල සතුටින් බැලූ මේ දෙන්නට එක දවසක් මේ නාට්‍ය එපා වෙනවා. මේ තරුණයන් දෙදෙනා සත්‍ය සොයාගෙන යනකොට තමයි පින්වතුනි අස්සජි හාමුදුරුවෝ මුණ ගැහුණේ. අස්සජි හාමුදුරුවන්ගේ ගමන හරිම සන්සුන්. මේ දෙන්නට පුදුම ආසාවක් ඇති වුණා.

“ස්වාමීණි ඔබවහන්සේ කවුද? “ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ කවුද? ඔබවහන්සේ අදහන ආගම මොකක්ද? අස්සජි හාමුදුරුවෝ කියනවා මගේ ගුරුවරයා දේශනා කළ ධර්මය නම් මේ ලෝකේ ඇතිවීම, පැවතීම, නැතිවීම යන ත්‍රිලක්ෂණය යි. මේ දෙන්නට හරි ආසයි. මේ දෙන්නා කියනවා අපිටත් ඔබ වහන්සේගේ ශාස්තෘන් වහන්සේ මුණ ගස්වන්න ස්වාමීණි. එහෙමනේ කෝලිත ,උපතිස්ස තරුණයන් දෙදෙනාට බුදුහාමුදුරුවෝ මුණ ගැහුණේ. ඒත් බුදුහාමුදුරුවෝ මුණ ගැහුණයි කියල අස්සජි හාමුදුරුවන් අමතක කළේ නැහැ. අස්සජි හාමුදුරුවන්ගේ උත්තම ගුණ සුවඳ තමා තුළටත් අරගත්තා. සසරේ පින තිබුණ නිසානේ සැරියුත් මුගලන් නමින් අගසව් තනතුරු ලැබුණේ.

පින්වතුනි, සැරියුත් හාමුදුරුවෝ හැමදාම සැතපෙනකොට බලනවා අද මගේ ගුරුවරයා අස්සජි හාමුදුරුවෝ ඉන්නේ කොහේ ද කියලා. හිතලා අස්සජි හාමුදුරුවෝ ඉන්න දිහාවට පය දාලා සැතපෙන්නේ නැහැ. බලන්න කොච්චර ගුණවත්ද කියලා. බුදුහාමුදුරුවන්ගේ අග සව් උනත් බුදුහාමුදුරුවෝ ළඟට එක්ක ගියේ, මුලින්ම දහම් පද කියලා දුන්නේ අස්සජි හාමුදුරුවන්, බුදුහාමුදුරුවෝ තමයි සුවය දුන්නේ. ඒත් අස්සජි හාමුදුරුවෝ නිසානේ ඒ සැනසීම ලැබුණේ.

බලන්න කොච්චර වටිනවාද කළගුණ සැලකීම, පින්වතුනි. නිතරම බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරන්න. බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ධර්මය ආශ්‍රය කරන්න ඕනෑ. එදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති, යෝ මං පස්සතී..බුදුහාමුදුරුවෝ දකින්න නම් ධර්මය දකින්න ඕනෑ. පින්වතුනේ බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ මැරෙන්න යන රෝගියෙකුට ඔබ දැන් මැරෙනවා කියලා කියන්න කියලා. මොන තරම් අමාරු තත්වෙක හිටියත් ඔබ තව ජීවත්වෙයි කියලා සෙත් පතන්න ඕනෑ. ඇත්තටම එයා මැරුණත් සසර ගමනේ ජීවත් වෙනවනේ. අන්න ඒ වගේ ඔබත් සැනසිලා ලෝකයාත් සනසවන්න මේ උත්තම ලොව්තුරු ධර්මය මල් දමක් වගේ ඔබේ ගෙල පැළඳ ගන්න.