Print this Article


බුදු දහම හා මනුෂ්‍යත්වය

බුදු දහම හා මනුෂ්‍යත්වය

සසර මගෙහි විශිෂ්ටතම ඵලය මනුෂ්‍ය ආත්මභාවයක් ලබා උපත ලැබීමයි. මිනිසා යනු උසස් මනසකින් යුතු සත්ත්වයෙකි. මිනිසුන් වූ අප මනුෂ්‍යත්වයේ උපරිම ඵල නෙළාගත යුතු ය. ඒ නිසා මිනිසා යනු කවර ආකාරයේ නිර්මාණයක් දැයි සොයා බැලිය යුතු ය.

බුදුදහමට අනුව ශරීරය යනු පංචස්කන්ධයකි. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. සාමාන්‍ය වශයෙන් අප ශරීරය යනුවෙන් හඳුන්වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රිය පහටයි.පංචස්කන්ධයෙන් වඩා ප්‍රබල වන්නේ විඤ්ඤාණයයි. ඊට හේතුව පුද්ගලයා විසින් කරනු ලබන කුසල් අකුසල් විඤ්ඤාණය නම් ඇසට නොපෙනෙන වස්තුවට එකතු වීමයි. මෙලොව ජීවිත පැවැත්මට හා පරලොව උපත සඳහා ද විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් බලපායි.

පසිඳුරන්ට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු අනුව සිතිවිලි පහළ වෙයි. නමුත් පංච ඉන්ද්‍රියන් හා ඒ අරමුණු ස්ථිර නො වේ. මිය යාමත් සමඟ විනාශයට පත් වෙයි. එහෙත් සිතිවිලි නිසා විඤ්ඤාණය ශක්තිමත් වෙයි. පංචස්කන්ධය අතුරින් අපට පෙනෙනුයේ රූපය පමණි. එම රූපය විනාශ වෙයි. වේදනාව ද අස්ථිර ය. සංඥා, සංඛාරයන්ගේ ස්වභාවය ද එබඳු ම ය. නමුත් විඤ්ඤාණය ප්‍රබල ය. පුද්ගලයාගේ මරණය හෙවත් ශරීරය විනාශ වූ පසු විඤ්ඤාණය ඉතිරි වෙයි. කුසල්, අකුසල්, පව්, පින්වලින් යුතු විඤ්ඤාණය නැවත භවයක උපදියි. මෙලොව උපන් මිනිසුන් වන අපගේ ශරීරයට වඩා විඤ්ඤාණය ප්‍රබල බව ඒ අනුව වටහාගත හැකි ය. එම නිසා මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙළාගැනීමට නම් කුසල් රැස් කළ යුතු ය. බුදුරදුහු පිරිනිවන්පාන මොහොතේ භික්ෂූන් අමතා,

“හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වො
වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ”

යනුවෙන් වදාළ සේක. එහි අර්ථය “මහණෙනි, මම ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙනසුළු ය. අප්‍රමාදව කුසල් රැස් කරගන්න.” යනුයි.

මේ අනුව පැහැදිලි වන්නේ ජීවිතයේ උසස් ප්‍රතිඵල නෙළාගැනීමට කුසල් රැස් කරගත යුතු බවයි. භෞතික ශරීරයෙන් පමණක් සැබෑ මිනිසෙක් නොවේ. මිනිස් ගුණධර්ම මනාව ප්‍රගුණ කළ යුතු ය. අකුසල් කරගැනීමෙන් මනුෂ්‍යත්වය විනාශ වන අතර, කුසල් රැස් කරගැනීමෙන් උතුම් මිනිසෙකු බවට පත්වේ.

මිනිසා තුළ විවිධ ආශා තිබේ. ඒ ආශාවන් පසුපස හඹා යාම මනුෂ්‍යත්වයට හානියකි. නමුත් සැප ලැබීමේ දී පින් රැස් කරගත යුතු ය. මෙලොවදී යාන වාහන, මිල මුදල්, වතු පිටි, භවබෝග සම්පත්වලින් යුතුව අඹුදරුවන් සමඟ ජීවත් වීමට සෑම අයෙකු ම කැමති ය. කාමභෝගී ජීවිතයක් ගත කිරීමට පෘථග්ජන පුද්ගලයා කැමති ය. අධික ආශා ඇති කරගැනීමෙන් පාප කර්ම සිදුවෙයි. ආශාව පාපයට හේතුවන අතර, එමගින් පුද්ගලයා මුළාවට පත් වෙයි. එනිසා බුදුරදුන් දෙසූ ධර්මය මැනවින් වටහාගෙන මෙලොව ජීවත්වීමට පමණක් අවශ්‍ය උපකරණ සපයාගෙන ඒ අනුව ජීවත් විය යුතු ය. ලෝභයෙන්, මසුරුකමෙන් ධනය රැස් කිරීම සසර දුකට හේතු වේ. මිනිසෙකු ශ්‍රේෂ්ඨ වන්නේ බාහිර අලංකාරයෙන් නොවේ. අධ්‍යාත්මික වශයෙන් රැස් කරගනු ලබන කුසල් අනුවයි.

කුසල් රැස් කරගන්නේ කෙසේද? දස පාරමිතා ගුණධර්ම අනුගමනය කිරීම, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දස මහා කුසල් ආදිය සිදුකළ යුතු ය. එහිදී තමාට බොහෝ දේ කැප කිරීමට සිදුවෙයි. ලෝභයෙන් මසුරුකමින් තොරව තම වස්තුව කැප කිරීමට සිදුවෙයි. එමෙන් ම තම කාලය, ශ්‍රමය පමණක් නොව ශරීර අවයව පවා කැප කිරීමට සිදුවෙයි. බෝසතුන් සම්බුද්ධත්වය වැනි උත්තරීතර පදවියකට පත් වූයේ එබඳු කැප කිරීම් කළ නිසා ය. තම මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ම ප්‍රතිඵල ලබා සිටින පිරිස නම් බුදු පසේ බුදු මහරහතන් යන උතුමෝ ය. උන්වහන්සේලාගේ ජීවිත ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම ජීවිතයේ උසස් ප්‍රතිඵල ලබාගැනීමට හේතු වේ.

“නාචින්තයන්තෝ පුරිසෝ විසේස මධිගච්ඡති”

යන බුද්ධ දේශනාව අනුව අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව සඳහන් වේ. එම නිසා යහපත් චින්තනයෙන් යුතුව ක්‍රියා කිරීමෙන් පුද්ගලයාට දියුණුව සැලසේ. බුදුදහම නිදහස් චින්තනය අගය කොට ඇති දහමක් නිසා ස්වකීය බුද්ධියෙන් සිතාමතා විමසා තීරණවලට එළඹිය හැකි ය. වැරැදි දේ නොපිළිගැනීමත්, හරි දෙය පිළිගැනීමත් බුද්ධිමත් පුද්ගලයාගේ ලක්ෂණය වේ.

උසස් මිනිසෙකු වීමට වෙසෙසින් ම බල පවත්නේ සිතයි. සිත සෙලවෙන හා නිතර වෙනස් වන ස්වභාවයෙන් යුතු ය. එනිසා බුදුරදුන් අනුදත් භාවනා ක්‍රම අනුගමනය කළ යුතු ය. පවිටු සිතිවිලි ඈත් කරගැනීමට තම චරිතයට සුදුසු භාවනා ක්‍රමයක් තෝරාගත යුතු ය. සම සතළිස් කර්මස්ථාන අතරින් සුදුසු කර්මස්ථානයකට අනුව භාවනා කිරීමෙන් සිත පවිත්‍ර කරගැනීමටත් දියුණු සිතක් ඇති කරගැනීමටත් හේතු වේ. නොසැලෙන සිතක් ඇති විට බුදුරදුන් දෙසූ විමුක්ති මඟෙහි ගමන් කිරීමට නැඹුරු වෙයි. ලොව පිළිබඳ යහපත් දැකීමෙන් යුතුව අවිද්‍යාවෙන් මිදී ධර්ම ඥානය ලබා ගනී. ධර්ම ඥානය ලබාගැනීමේ දී භාවනා කිරීම මෙන් ම දහම් ඇසීම, දහම් පොතපත කියවීම අතිශය වැදගත් වේ. තම වැරැදි හැඟීම් ඉවත ලා, නිවැරැදි මඟ තෝරාගැනීමට දහම් ඇසීම හා දහම් පොතපත කියවීම ඉතා වැදගත් වේ. ඒ අනුව තමා කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න වටහාගත් පසු මිනිසා විමුක්ති මඟට යොමු වේ. රාගය, ද්වේෂ, මෝහය, ඊර්ෂ්‍යාව, මානය ආදී පවිටු සිතිවිලිවලින් ඉවත් වී තම සිත පිරිසුදු කරගන්නා දහම් මඟට යොමු වන්නේ සම්බුදු දහම නිවැරැදිව අවබෝධ වූ විට යි.

ධර්මාවබෝධයෙන් යුතු පුද්ගලයාට ලෞකික වශයෙන් ජීවිතය සාර්ථක කරගැනීමටත්, ලෝකෝත්තර දියුණුව සලසාගැනීමටත් හැකියාව ලැබේ. ලෞකික චිත්ත දියුණුව මඟින් භාවනාවේ අනුසස් ලෙස පංචාභිඥා අෂ්ට සමාපත්ති ඥාන ලබාගැනීමට හැකි වෙයි. ඒ තුළින් අසිරිමත් ප්‍රාතිහාර්ය පෑමට ද හැකියාව ලැබෙයි. ලෝකෝත්තර චිත්ත දියුණුව ඊට වඩා ගැඹුරු ප්‍රතිපදාවකි. මනසේ ඇති දස සංයෝජන නම් කෙලෙස් දුරු කර ක්‍රමයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මාර්ගඵල ලැබීමට ලෝකෝත්තර චිත්ත දියුණුව හේතු වෙයි. මිනිසුන් වශයෙන් අප උත්සාහ කළ යුත්තේ අධ්‍යාත්මික ප්‍රගතිය සැලසෙන එවන් තත්ත්වයන්ට අපගේ සිත යොමු කරවීමයි. එය ක්ෂණයකින් කළ හැකි ක්‍රියාවන් නො වේ. එනිසා, ලෞකික සැප ලබා එහි ආදීනව වටහාගෙන ලෝකෝත්තර මාර්ග ඵලයන්ට ක්‍රමයෙන් යොමු විය යුතු ය. එවිට අපගේ මිනිස් දිවියේ උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකි වනු ඇත.