Print this Article


සැපතක්ම ය සම්බුදු උපත

සැපතක්ම ය සම්බුදු උපත

සුඛෝ බුද්ධානං උප්පාදෝ – සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගී – සමග්ගානං තපෝ සුඛෝ

සිංහල මාස ක්‍රමයට අනුව මෙම මාසය හඳුන්වනු ලබන්නේ වෙසක් මාසය යනුවෙනි. වෙසක් මාසය යෙදෙන පුර පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වශයෙන් අපි හඳුනාගෙන සිටිමු.

“වෙසක්” යන වචනය “වෛශාඛ” යන සංස්කෘත වචනයෙන් බිදී ආවකි. මසින් මස යෙදෙන පුර පොහෝ දිනයන් අතර වෙසක් පුර පොහෝ දිනය ලෝකවාසී සියලු බෞද්ධයන්ගේ ම ශ්‍රද්ධා භක්ති ප්‍රණාමයන්ට හේතු වූ දිනයකි. එසේ වන්නේ ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වී ඇත්තේ වෙසක් පුර පොහොය දිනයෙහි වීම බව අපේ ධර්ම සාහිත්‍යයෙන් සනාථ කොට ඇත. එසේ නම් සියලු බුදුවරයන් වහන්සේලාගේ ජන්ම දිනය වන්නේ වෙසක් පුර පොහෝ දිනයයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ උත්පත්තියත්, සම්බුද්ධත්වයත්, මහා පරිනිර්වානයත් පහන් සංවේගයෙන් යුතුව ලෝකවාසි බොදු මහා ජනතාව ද ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් තථාගතයන් වහන්සේට තම ප්‍රණාමය පළ කරනුයේ මහත් කැප වීමකින් යුතුව ය. තථාගතයන් වහන්සේගේ උපත සිදු වූ වෙසක් පොහොය වසරින් වසර වෙනස් දිනයන්ට යෙදෙන්නේ කුමක් නිසා දැයි ඇතැමුන් ප්‍රශ්න කරන අවස්ථා ද සුලභව ඇත. එම ගැටලුව ඇති වන්නේ වෙසක් මාසයත්, ව්‍යවහාරික මැයි මාසයත් වෙන්කර හඳුනා නොගැනීමෙනි. මැයි මාසය යනු අපරදිග ව්‍යවහාරයකි. වෙසක් දිනය එම මාස ක්‍රමය අනුව වසරින් වසර විවිධ දිනවල යෙදීම සත්‍යයකි. නමුත්, වෙසක් මාසයෙහි එම දිනය යෙදෙන්නේ එකම දිනයක ය. ඒ දිනය වෙසක් පුර පොහෝ දිනයයි. එය කිසිදු ආකාරයකින් වෙනස් නොවේ. පෙරදිග හැඳින්වීමක් වන චන්ද්‍ර මාස ක්‍රමයට අනුව චන්ද්‍රයා අව පක්ෂයෙන් මිදී පුර පක්ෂයට එළඹ ක්‍රමයෙන් මෝරාවිත් එහි උපරිමයට පැමිණෙන දිනය පුර පොහෝ දිනය ලෙස හැඳින්වේ. එසේ වෙසක් මාසයට යෙදෙන එම උතුම් පොහෝ දින සියලු බුදුවරයන් වහන්සේලාගේ මෙන් ම අප ගෞතම තථාගතයන් වහන්සේගේ ද ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ දිනයයි. ඉක්ම ගියා වූ පසු ගිය මාසය බක් මාසය හෙවත් භාග්‍යවන්ත මාසය ලෙස අපි හඳුනාගෙන සිටිමු. වෙසක් මාසය පුණ්‍යවන්ත මාසය හෙවත් පින්බර මාසය ලෙස නම් කළ හැකි ය. සම්බුදු තෙමඟුල සිදු වු මෙම පුණ්‍යවන්ත මාසයෙහි බැලු බැලු දිසාවන්හි දැකිය හැකිවන්නේ සුපින්වත් බවයි. සකි‍්‍රය බව, පලබර බව, සුවබර බව, සමස්ථ පරිසරය පුරා විද්‍යමාන වන මෙම මාසයෙහි අසම සම තථාගත ගුණ සමුදාය ආකර්ශනීය ව පරිසරය තුළ රැඳී පවතින බවක් දැක ගත හැකි ය. එනිසාම වඩ වඩාත් දන්දීම්, සිල් රැකීම්, භාවනා කිරීම් ද මතු නොව ආමිස ගණයට ගැනෙන තව තවත් විචිත්‍ර ක්‍රියාකාරකම්වල බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනා යෙදෙන ආකාරය ප්‍රකටව දැකිය හැකි ය. බුදුගුණ අනුස්මරණය කළ යුතු වන්නේ මෙම මාසයේ දී පමණක් ය යන්න මින් අදහස් නොකෙරුණ ද ඒ සඳහා වැඩි නැඹුරුතාවයක් මෙම කාලවකවානුව තුළ පවතින බව ඉතා පැහැදිලිව දක්නට ලැබේ. ලක්වැසි බොදුනුවන් පාරම්පරිකව වෙසක් පුර පොහෝ දිනයෙහි සම්බුදු ගුණ සිහිපත් කිරීමෙහි යෙදෙන්නේ නිරායාසයෙනි. රජ මැදුරේ සිට ඈත එපිට දුගී පැල්පත දක්වා අවම වශයෙන් තම නිවසෙහි තෙල් පහනක් හෝ දල්වා බුද්ධානුස්මරණයෙහි යෙදීම සඳහා අපේ සංස්කෘතිය මගින් සිදුකර ඇති මෙහෙයවීම විශිෂ්ට වූවක් සේ දැක්විය හැකි ය.

බුදුගුණ සිහිපත් කරන මෙවන් වෙසක් සමයක භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් දේශිත ඉහතින් සඳහන් කෙරුණු ධම්මපද පාලියෙහි බුද්ධ වග්ගයට අයත් වන ගාථා ධර්මය පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් වනු ඇත. තථාගතයන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසක සේක් බුදුන් දැක්ම සඳහා දෙව්රමට පැමිණි පන්සීයයක් පමණ වු භික්ෂු පිරිසක් දම් සභා මණ්ඩපයේ රැස්ව විවිධ කරුණු පිළිබඳ සාකච්ඡා කරන්නේ ලොව ඇති උතුම් සැපය පිළිබඳ විමසීමට ලක් කෙරිණි. එහි දී එක් එක් තෙරවරුන් තම තමන්ගේ මතවාද ගෙන හැරපාමින් විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම භික්ෂු පිරිස රජ කුලයට අයත් රාජසම්පත් විඳ පැවිදි වූවන් මෙන් ම පස්කම් සැප උපරිම ආකාරයෙන් වින්දනය කොට පැවිදි වූවන්ද, විවිධ රසමසවුලු අහරින් සන්තර්පිතව සිට පැවිදි වූවෝ ද වු හ. ඒ අනුව මෙලොව ඇති උතුම් සැපය යනු කුමක්ද යන්න විමසීමට ලක් කෙරුණි. ඒ අනුව මෙලොව ඇති ඉහළම සැපය ලෙස ඔවුන් කරුණු දැක්වූයේ තම තමන්ගේ අතීත ජීවන අත්දැකීම් පාදක කොටගෙන ය. රජ කුලයට අයත් වූවන්ගේ එකම අදහස වූයේ රාජ්‍යත්වය තරම් සැපයක් ලෝකයේ නොමැති බවය. එම මතය සනාථ කිරීම සඳහා රජ සිරියෙහි අසිරිය ද මනාව ප්‍රකාශ කරන ලදී. පස්කම් සැපය ලොව ඇති ඉහළම සැපය බව පංචකාමයෙහි යෙදී සිටිමින් සිට පසුව පැවිද්දට පත් වූවන් තම අතීත අත්දැකීම් ද උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. ලොව ඇති උසස්ම සැපය වන්නේ රසවත් ආහාරපාන පරිභෝජනය බව රසමසවුලෙහි ලොල්ව සිට පැවිදි වූවන්ගේ මතය විය. මෙසේ විවිධ මත ඉදිරිපත් කරමින් තර්ක විතර්ක කරමින් ලෝකයේ උතුම් සැපය පිළිබඳ තම පෞද්ගලික අත්දැකීම් අනුව මෙම භික්ෂු පිරිස විවාධාපන්නව සිටිය දී භාග්‍යවතුන් වහන්සේ එම ස්ථානයට වැඩමවාලූහ.

කිනම් කරුණක් පිළිබඳ කතාබහක යෙදී සිටියේ දැයි සුපුරුදු පරිදි කෙරෙන විමසීමේ දී ලොව ඇති උතුම් සැපය කුමක්ද යන්න පිළිබඳව අපගේ අතීත අත්දැකීම් අනුව නිගමනයන්ට එළඹ විවාද කළ බව භික්ෂු හූ ප්‍රකාශ කළහ. එහි දී තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ ඒ කිසිවක කිසිදු සැපයක් නොමැති බවයි. ඒ සියල්ලම සත්වයා නැවත නැවතත් බියකරු වු සසරට ම ඇද හෙළන බවයි. මෙසේ එම භික්ෂු පිරිසගේ වැරැදි නිගමනයන් බැහැර කළ තථාගතයන් වහන්සේ ලොව ඇති උතුම් සැපය පිළිබඳ ඉහත ගාථා ධර්මයෙන් කරුණු පැහැදිලි කොට වදාළහ. ඒ අනුව ලෝකයෙහි සැපය සඳහා හේතුවන කරුණු හතරක් පිළිබඳව භික්ෂූන්ගේ අවධානය යොමු කරවන ලදී. එහි ප්‍රථම කරුණ වන්නේ බුදුවරයන් වහන්සේලාගේ ඉපදීමයි. ඉන් අනතුරුව පිළිවෙලින් දහම් දෙසුමත්, භික්ෂූන්ගේ සමගියත්, සමගි සම්පන්න භික්ෂූන්ගේ තපසත් යන කරුණු හතර ලෝකයෙහි උතුම්ම සැප ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදහ. මේ දේශනාව අවසානයෙහි පන්සියයක් පමණ වූ එම භික්ෂූන් වහන්සේලා මහ රහත් භාවයට පත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යය මගින් අනාවරණය කොට ඇත.

වෙසක් සමය ඒ උතුම් සැපය අර්ථවත් වන දිනයයි. “බුද්ධානං උප්පාදෝ සුඛො” බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම සැපයකි. බුදුවරයන් වහන්සේලාගේ පරමාර්ථය වන්නේ සියලු සත්වයින් භයානක වූ සාංසාරික දුක්ඛයන්ගෙන් මුදවා ගැනීම වන්නේ ය. බෝධිසත්වයන් වහන්සේලා තමන්ට තනිවම සසරින් මිදීමේ ඇති හැකියාව තිබියදී චතුරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පූරණය කරමින් බුද්ධත්වය සඳහා එළඹෙන්නේ ඉහත අපේක්ෂාවෙන් බව ප්‍රකට වූ කරුණකි. එසේ නම් සාංසාරිකව අප්‍රමාණ වශයෙන් දුක් විඳින සත්වයින් සසරින් මුදවා ගැනීම සඳහා හැකියාව ලැබෙන්නේ බුද්ධෝත්පත්තිය නිසාය. ජාති,ජරා, ව්‍යාධි , මරණාධි විවිධ දුක්වලින් ගැලවීම ලොව ඇති උතුම්ම සැපය වේ. සසර දුකින් සත්වයා එතෙර කරන ශාස්තෘන් වහන්සේගේ උපත සැපයක් වන්නේ එනිසා ය. කලකින් සිදුවන දුලභ සිදුවීමක් වන නිසාද බුදු උපත සැපයක්ම වනු ඇත. උන්වහන්ස්ගේ චතුරාර්ය සත්‍ය දේශනය සැපයක් වන්නේ ඒ තුළින් දෙව් මිනිස් සැප සහ නිවන් සැප සාදනය කර දෙන බැවිනි. එසේම භික්ෂු සංඝයාගේ සමගිය සැපයක් වන්නේ එය භික්ෂුවගේ පරමාර්ථ සාදනය සඳහා හේතු වන නිසා ය. එසේනම් තථාගත බුදුුරජාණන් වහන්සේගේ උපත සිදු වූ වෙසක් පුර පොහෝ දිනය ලොව සැපවත් කිරීම සඳහා ආරම්භයක් ලබා දුන් දිනයකි. මේ උතුම් දිනයෙහි විශේෂිත වු බුද්ධ චරිතයට අදාළ සිදුවීම් රාශියක් සිදු වී ඇති බව අපේ ධර්ම සාහිත්‍ය මගින් පෙන්නුම් කෙරේ. ඒ අනුව බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම, යමා මහා පෙළහර පෑම වැනි විශේෂිත කරුණු රාශියක් සිදුව ඇතිවා මතු නොව ආනන්ද මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑමද සිදුව ඇත. එමෙන්ම අපේ ශාසන ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රාශියක්ම අද දිනයෙහි සිදුව ඇති බව ඉතිහාසය මගින් අනාවරණය කෙරේ. තථාගතයන් වහන්සේ තෙවැනි වරට ශ්‍රී ලංකාවට වැඩමවීම, සමනලගිර මත්තෙහි සිරිපා සටහන තැබීම, සොළොස්මස්ථානයන් සිරිපා පහසින් පූජනීයත්වයට පත් කිරීම මෙන්ම විජය කුමරුගේ ආගමනය සිදුව ඇත්තේ ද වෙසක් පොහෝ දිනක ය. දෙවන පෑතිස් රජුගේ දෙවැනි අභිෂේකය මෙන්ම දුටුගැමුණු මහරජු විසින් රුවන්වැලි මහා සෑයෙහි වැඩ ඇරඹීම ද සිදුව ඇත. එම සියලු කරුණු සමරමින් සැපයෙන් සැපයට පත්ව උතුම් නිවන් සැපත උදා කර ගැනීම සඳහා මේ වෙසක් සමයේ වෙසෙසින් උත්සාහවත් විය යුතුව ඇත.