Print this Article


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත්

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත්

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් 2563 වැනි වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ක්ෂීරපායාස බුද්ධ පූජාව සහ ආභරණ පැළඳවීම 51 වන වරටත් ගෞරවාභිමානයෙන් සිදු කෙරිණි.

වෙසක් පුන් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පිදෙන මුල්ම බුද්ධ පූජාව ලෙස ගෞරවාන්විතව හා ඉතාම පිරිසුදුව එම පූජාව පවත්වනු ලැබේ. අනුරාධපුර අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් සමඟ දායක සභාවේ දායක දායිකාවන් විසින් එම බුද්ධ පූජාව ජයන්ති විහාරස්ථානයේ දී සකස් කරනු ලැබිණි.

ජයන්ති විහාරස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක් තුළ ක්ෂීරපායාස බුද්ධ පූජාව පිළියෙළ කරන ලදී.

ඉන් පසු එම බුද්ධ පුජාව රන් ආලේපිත පාත්‍රයට බෙදා යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද දර්ශනීය පෙරහරින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කරවන ලදී. පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ උතුරු උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වෙත බුද්ධ පූජාව පූජා කරන ලදී. ආභරණය ද පළඳවා අටපිරිකර, සිවුරු පිරිකර, ආදියද පූජාකරන ලදී. පැමිණ සිටි පිරිස් පෙහෙවස් සමාදන් කිරීම ද සිදු විය. එම අවස්ථාවට මහා සංඝරත්නය සමග, දායක සභාවේ සභාපති හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ගිහි පින්වතුන් සමඟ පෙහෙවස් සමාදන් වූ පිරිස්ද දායක දායිකාවන් ද සහභාගී වූහ.