Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 26 : අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවති කුෂ්ඨරාජගල ප්‍රතිමා වහන්සේ

අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවති කුෂ්ඨරාජගල ප්‍රතිමා වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

දකුණු පළාතේ ගාල්ල සහ මාතර නගර දෙක අතර පිහිටා ඇති පැරැණි වරායක් ලෙසින් වැලිගම ඉතා ප්‍රකට ය. කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ රැසකම වැලිගම ගැන සඳහන් කර ඇත. වැලිගම මහා මාර්ගය අසල පිහිටි ස්වභාවික ගල් පර්වතයක උන්නත රූපයක් ලෙසින් (පිහිටි ගලෙන් වෙන් නොකර පිහිටි ගලෙහිම) නෙළා ඇති මෙම මූර්තිය පුරාවිද්‍යාඥයන් අතර සංවාදයක් ඇතිකළ එකකි. මෙම පුදබිම මුල් කාලයේ දී වැලිගම අග්‍රබෝධි විහාරය නමින් ප්‍රකට වූයේ ය. මේ වත්මන් විහාරයත්, මෙම පිහිටි ගලෙහි නිර්මාණය කර ඇති මූර්තිය පිහිටි පර්වතයත් වෙන්වී ඇත්තේ මේ හරහා දුම්රිය මාර්ගයක් සෑදී ඇති නිසා ය. එසේ හෙයින් මෙම පුදබිම පුරාණ කාලයේ දී එකක් ලෙසින් පැවතුණ බවට කිසිදු සැකයක් නැත. පැරැණි කාලයේ වැලිගම අග්‍රබෝධි විහාරය ඉතා ප්‍රකට ය. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ලෙසින් වැලිගම ඇති මෙම ශිලාමූර්තිය පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. “කුෂ්ඨරාජගල” යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ කුෂ්ඨරෝගය වැළඳුණු රජ කෙනෙකු විසින් එම කුෂ්ඨ රෝගය සුවකර ගැනීමට සිදු කළ පොරොන්දුව හෙවත් බාරය ඔප්පු කිරීමක් ලෙසිනි. ඒ සඳහා මෙම මූර්තිය පිහිටි ගලෙහි නිර්මාණය කරන ලද්දේ යැයි මේ ප්‍රදේශයේ ජනතාව අතර ඉතා ප්‍රචලිත වූ ජනප්‍රවාදයක් ද පවතී.

(වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි. 166-2003 දයාවංශ ජයකොඩි සහ සමාගම)

මහායාන බුදුසමයෙහි බෝධිසත්ව වන්දනය පවතී. මෙම ප්‍රතිමාවෙහි දකුණු අත විතර්ක මුද්‍රාවෙන් ද වමත කටක හස්ත මුද්‍රාවෙන් ද යුක්ත ය. අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ද සඳහන් කරයි. මෙම පිළිමයෙහි ජටාමකූටයෙහි (ශීර්ෂාභරණයෙහි) සමාධි ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ සතර නමක් නෙළා ඇත. දඹේගොඩ පිහිටි අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ලංකාවේ තිබෙන විශාලතම ශිලා මූර්තිය වේ. එම පිළිමයෙහි ජටාමකුටයේ සමාධි බුදු පිළිමයක් නෙළා ඇත.

මෙය අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් ලෙසින් හැඳින ගැනීමට එය ද ලක්ෂණයකි. මෙම වැලිගම කුෂ්ඨරාජගල පිළිමය ද නෙළා ඇත්තේ දඹේගොඩ පිළිමය මෙනි. එහෙත් දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය සම්පූර්ණයෙන් ම නෙළා (වටේටම) ඇත. මෙය වැලිගම පිළිමය මෙන්, පිහිටි ගලක උන්නත ලෙස නොවේ. මෙම වැලිගම පිළිමයෙහි කන් මකර කුණ්ඩලවලින් සරසා ඇත. දඹේගොඩ පිළිමයේ ලෙසින් ම මෙම පිළිමයේ ද උදර බන්ධනය කර,මාල ද නෙළා තිබේ. උඩුකය නිරාවරණය ව ඇත්තේ ය. ආභරණ නිසා ඒ බව නොපෙනේ. මෙම ප්‍රතිමාවේ යටි කය ඉතා අලංකාර සළුවකින් (දෝතියකින්) සැරසී ඇත. මෙම පිළිමය පිහිටි ගලෙහි නිර්මාණය කර ඇති අන්දම සැබවින්ම එදා අපේ නිර්මාණශීලි මුතුන්මිත්තන් කළ මහා විස්කම් නිර්මාණ ලෙසින් සැලකිය යුතු වන්නේ ය. දෙපා මතුවන ලෙසින් නෙළා ඇති මෙම පිළිමය කිසිම පැත්තකට ඇලනොවන සේ නෙළා ඇත. මේ නිසා මෙම අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය සමභංග ලෙසින් නිර්මාණය කර ඇති බව මූර්ති විශේෂඥයින් හා කලා විශාරදයින් පෙන්වා දෙන කරුණකි. මෙම පිළිමයේ මකුටයෙහි (සිරසෙහි) නෙළා ඇති සමාධි පිළිම දෙක එකක් ඉහළින් ද, අනෙක පහළින් ද නෙළා ඇත. අනෙක් සමාධි පිළිම දෙක මකුටයේ දෙපස නෙළා තිබේ. වැලිගම පිහිටි මෙම පුදබිම ඉතා ඈත කාලයේ දී පුරාණ වරායක් ලෙසින් පැවති බවට සාක්ෂි හමුවී ඇත.

පුරාණ වරාය ආශි‍්‍රතව අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවති බවට නැගෙනහිර වෙරළේ පිහිටි තිරියාය පුදබිමෙහි අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනය පැවති බවට ශිලාලේඛණ සාක්ෂි ද, එහි හමුවූ ලෝකඩ රූප වලින් ද හෙළි වී ඇත. මාතොට ද මෙවැනි වරායක් ලෙසින් පැවතුණි. රෝග සුවපත් කිරීමේ බලයක් ද මෙම පිළිමයෙන් සිදු කෙරුණු බවක්, ජනප්‍රවාදයේ පවතී. මේ පිළිමය කුෂ්ඨ රෝගය ඇතුළු රෝග සුවපත් කිරීමේ බලය ඇති සිංහනාද අවලෝකිතේශ්වර නිරූපණය කෙරෙන බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතාගේ මතයයි. වැල්ලවායේ දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධි සත්ව පිළිමය ද, අන්ධ ජනතාව වාසය කළ කානගාමයෙහි ඉදි කළ බවත් පැරැණි පොත පතෙහි සඳහන් වෙයි. වැලිගම කුෂ්ඨරාජගල නම් පුදබිමෙහි ඇත්තේ එක් පිළිමයකි. එහෙත් වැල්ලවායේ ඉතා විශාල ගල් පර්වතයක අල්ප උන්නතව අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමයක් පමණක් නොව තවත් පිළිම රැසක් නිර්මාණය කර ඇත. ඒ අතර හිටි බුදු පිළිමයක් ද, තවත් පිළිම පහක් ද අල්ප උන්නතව එහි නෙළා ඇත. (පැරැණි හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 103-105 දෙවන මුද්‍රණය සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ 2017)

පුරාණ සිංහලයින් විසින් මෙම බෝධිසත්වයන් වහන්සේලා විශේෂ ගරුත්වයකින් සලකනු ලැබුවේ කුමන හෙයින් ද යන්න සොයා බැලීම වැදගත් වේ. මුහුදු දෙවි, උපුල්වන් දෙවියන් විසින් ආරක්ෂා කරනු ලැබූ විජය ඇතුළු පිරිස නාවිකයෝ වෙති. පුරාණ නැවියන් සහ මුහුදු යාත්‍රිකයන් විසින් අදහනු ලැබූ මුහුදු දෙවියෙකු වශයෙන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් සලකනු ලැබේ. මේ හේතුව නිසා සෑම පැරැණි වරායක් අසලම අවලෝකිතේශ්වර පිළිම ගෙවල් දක්නට ලැබේ. වර්තමානයේ කදිරමලේ ප්‍රදේශයේ වූ පුරාණ තම්බපන්නි වරාය අසල තිබූ අවලෝකිතේශ්වර පිළිම ගෙයක අවශේෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිරාවරණය කරගෙන ඇත.

(උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, එම්.එච්.සිරිසෝම පිටු 63-64-1986) මෙම කුෂ්ඨරාජගල පිළිමය ආශි‍්‍රතව පැරැණි වැලිගම අග්‍රබෝධි විහාරය ඉතා පැරණී විහාරයකි. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී මහින්දාගමනයට පසුව ජය ශ්‍රී මහාබෝධි ශාඛාව ( බුද්ධගයාවේ) රැගෙන ලංකාවට වැඩම කළ සංඝමිත්තා මෙහෙණිය ඒ බෝධි ශාඛාව අනුරාධපුරේ උඩමළුවේ රෝපණය කළ පසුව එයින් හටගත් දෙතිස්ඵලරුහ වලින් එකක් මෙම පුදබිමෙහි රෝපණය කළ බව මහාබෝධි වංසයේ සඳහන් වේ. (වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි. 166-2003)