Print this Article


මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ඓතිහාසික යුග මෙහෙවරක නිහඬව නිරතවන මෑත යුගයේ සසුනඹරේ පහළ වූ මහ පහන් ටැඹකි.

අසිරිමත් සම්බුදු සිරිතට අනුව යමින් මහානායක මාහිමිපාණන් වහන්සේ ජාති, ආගම්, කුල ආදී පටු භේදයන්ගෙන් තොරව මනුෂ්‍යත්වයේ නාමය අගයමින් මනුෂ්‍යයන්ගේ දුක දැක ඒ හැම වෙත ඉතා අප්‍රකටව පිහිට විය හැකි අයුරින් පිහිටවීම සුවිශේෂී ලක්ෂණයකි.ආර්ථික අතින් දුබල වූ ජනතාවටත්, ස්වභාවික විපත් ආදිය පැමිණිවිට ඉන් අවතැන්වූවන් සොයා ගොස් පිහිටවනුයේත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මෙහෙයවීමෙනි. තෙල්දෙණිය තැන්නලන්ද ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් තුනක් වෙත නිවාස තුනක් ඉදි කරවා පිරිනැමූ අතර ඒ ගමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් සලසාදීමට මුල් වූහ.

කලකට පෙර යාපනයට වැඩම කර පාසල් දූ දරුවන් 1500 දෙනෙකු වෙත පොත්පත් ආදියද පාපැදි සියයක්ද පිරිනැමූහ.

එක් නියං සමයක වව්නියාව කැලෑබොක්ක ප්‍රදේශයේ පීඩාවට පත් අට සියයක් පමණ පිරිස වෙත වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමූහ. මෙසේ විවිධ පරිත්‍යාග ඉතා අප්‍රකටව සිදු කළ අතර ඇතැම්විට ඒ බව දැන සිටියේ අදාළ පිහිට ලැබූවන් මෙන්ම හිතෛෂී සුළු පිරිසක් පමණි. අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ හමුවට යන එන කවර තරාතිරමක අයෙකු වෙත වුවද සිදු කෙරෙන ආගන්තුක සත්කාරය පවා පි‍්‍රයශීලීබව වර්ධනය කරවීමට සමත් වේ.

දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන අපූර්ව වාසනා ගුණයෙන් යුක්ත මහානායක මාහිමිපාණන් වහන්සේ නිහතමානිත්වයෙන් පිරිපුන් ය. ජාතික, ආගමික හා සාමාජික වශයෙන් සුවිසල් මෙහෙවර රැසක් නිහඬව ඉටු කරන මහානායක මා හිමිපාණන් වහන්සේ තෛ‍්‍රනිකායික සම්භාවනීය පූජනීය මහ සඟරුවනෙහි මෙන් ම අන්‍ය ආගමික නායකයන්ගේ ද මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ වෙසෙති. සසුනඹරට සිදු කරන නිහඬ මෙහෙවර ආදර්ශවත් වේ.

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ද, ශාසන භාරධාරී සංඝපීතෘන් වහන්සේගේ ජාතභූමියක් ද වූ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව ග්‍රාමයේ දී මහානායක මාහිමිපාණන් වහන්සේ 1944 මැයි මස 30 වන දා ජන්ම ලාභය ලැබූහ. තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසලමුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ පින්බර කනිටු පුත්‍රරත්නය ලෙස මෙසේ උපත ලදහ.

එම කුමරුවා නිසි වියෙහි අධ්‍යාපනය ලබා මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදානුස්මරණීය මෙහෙවරක් සිදුකළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකරාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසි එක්වන මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහාවිහාරයීය කාරක සභාන්තරගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන එවකට රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජුනි මස 16 වන දා මල්වතු මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත්වූහ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන විසිදෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි හතර වැනි මහානායක මා හිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගුණානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රත්තින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන කෘතහස්ත ධර්ම විනයධර ධර්මාචාර්යයන් වහන්සේලා වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ පරිවේනස්ථානයෙන් ධර්ම විනය මෙන්ම ශබ්ද ශාස්ත්‍රාදිය ද හදාරා වර්ග පටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

රාජපූජිත ඓතිහාසික මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී 1964 ජුනි 10 වන දා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහල නාග නාමයෙන් උපසම්පදාවට පත් වූහ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ කුඩා වියෙහි සිට දැනුමෙන් මෙන්ම ගුණ නුවණින් ද සීලයෙන් ද පෝෂණය වෙමින් ගත කළ පැවිදි දිවිය නිසාම ශාසනික උසස් පදවි ලැබීමට හා දැරීමට සුදුසුකම් සපුරාලී ය.

ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස පිදුම් ලබන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කෙරෙන, සිරි දළදා තේවාවට සම්බන්ධවීම අති උතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහ සඟරුවනට පැවරෙන භාරදූර වගකීම් අතර එම සිරි දළදා තේවාව පැවැත්වීම සුවිශේෂී කාර්යයකි. 1965, 1981, 1991 වසරවලදී එවකට වැඩ සිටි අතිපූජනීය මහානායක මා හිමිපාණන් වහන්සේලාගේ කාරුණික උපදෙස් පරිදි ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධූරයට පත්ව පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට 1968 සැප්තැම්බර් 25 වන දා තෝරාපත් කරන ලදහ. 1969 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ධූරයට පත් වූහ.

උන්වහන්සේ ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1974දී ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ධූරයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි ආරක්ෂාවට හා සංවර්ධනයට ඉටු කළේ උදාර මෙහෙවරකි.

අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් 1979 මැයි මස 10වන දා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උපලේඛකාධිකාරී ධූරයට පත් වූහ. උන්වහන්සේගේ ම නියමයෙන් 1985 නොවැම්බර් 09වන දා ගරුතර කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරයට පත්ව ඊට අදාළ සියලු වගකීම් මැනවින් ඉටු කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිපස්වන මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට 1990දී පත් කොට වදාළහ.

මෙසේ ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත රතනපාල සෝභිතාභිධාන අනු නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධූරයට පත්කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ විසූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන විසි හයවන මහානායක මා හිමිපාණන් වහන්සේ ලෙස 2004 ජුනි 20වනදා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ පත්කොට වදාළ අතර 2004 අගෝස්තු 16වන දා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය සිදු කෙරිණි.

රිදී විහාරයේ පෞරාණිකත්වය පූජනීයත්වය හා රමණීයත්වය ආරක්ෂා කරමින් එහි භෞතික සංවර්ධනය උදෙසා ඇප කැප වී ක්‍රියා කළ අතර ම භාවනා මධ්‍යස්ථාන ආදිය ඇති කරමින් ද කුඹුරුලෙන විහාරස්ථානය ද පිළිසකර කරවූහ. 1996දී ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන ආරම්භ කර ප්‍රදේශයේ ජාතික, ආගමික සේවාවන් සිදු කරන ලදී.

යහපත් දේ ඇගයීමත්, කිවයුතු දේ තරාතිරම නොබලා කිව යුත්තා ඉදිරියෙහි ඉතා සන්සුන්ව පැවසීමත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ සතු සුවිශේෂී වූ ගුණයකි.

මහානායක පදවිය බැබළවීමට නිරන්තරයෙන් නිහඬව, ආදර්ශවත් ව කටයුතු කරන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත දෙස් විදෙස් ගෞරව නාමාදිය පිරිනැමීමට සූදානම් වුව ද ඒවා ඉතා කාරුණිකව බැහැර කළ අවස්ථා බොහෝ ය.

සම්බුදු සසුනේ චිරජීවනය කවදත් අගය කරන මහානායක මාහිමිපාණන් වහන්සේ සසුනඹරේ මෑත යුගයේ පහළ වූ සුපේෂල ශික්ෂාකාමී ආදර්ශවත් මහා යතිවරයාණන් වහන්සේ නමකි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ 76 වන ජන්ම සමරුව මෙම 30වන දාට යෙදී ඇත.

ශතවර්ෂාධික කාලයක් නිදුක් ව නිරෝගීව වැඩ සිටින්නට තෙරුවන් බලයෙන් කායික මානසික සුව ශක්තිය ලැබේවායි ‘බුදුසරණ’ නිරන්තරයෙන් ආශිර්වාද කරමු.