Print this Article


පහන් සිතක කවි

ලොවේ උතුම් දිනය

බොදු ජන ලෝකයේ අති උත්තම දිනය
පොදු දන සාමයේ බැති බර වන වගය
සැදු ගුණ ප්‍රාණයේ නිති සුව උදෙසා ය
කුදු මහ මානයේ වෙති, වෙසඟේ පොහොය

දිව මල් වගුලේ ය මනු ලොව සැපත් දින
ලොව සුව ගඟුලේ ය බුදු බව පසක් දින
මව මිහි ගුගුලේ ය පිරිනිවි සෙයක් දැන
තුන් බුදු මඟුලේ ය ලෝ සත වෙසක් දින


සම්බුදු සුවඳ

දුක් පිරි සිතට සැනසුම ගෙන දුන් නිබඳ
බියකරු සසර මඟ පෙන්වා දුනි වරද
සුවපත් කර ගතිමි සිත බුදු ගුණ වැළඳ
ලොව ඇති උතුම් සුවඳයි සම්බුදු සුවඳ


වෙසක් පෝදා

ලොව නැහැවේ
සඳ එළියෙන්
බෝපත් සැලේ
මද පවනින්
අමා දම් ගලා
නැහැවේ
වෙසක් පෝදා
වෙසක් සඳ
එළිය පතුරයි
සිතේ මෙත් මල්
පිපෙයි
ලොවම නිවී
සැනහේ


තෙමඟුල

පවින් බර ලොව එයින් මිදුමට උතුම් ගුණයෙන් අග ගනේ
නිවන් දොරටුව සොයා යන්නට සතුන්හට පා මෙත් ගුණේ
සුරන් බඹු ගෙන් වැඳුම් ලබමින් පිදුම් ලබමින් අද දිනේ
උපන්නා මඟ සෑසී හිිමියන් එදා ලුම්බිණී සල් වනේ

සිතින් දුරු කොට මෙදිය සම්පත ජරා දුක් විඳ මහ වනේ
තමන් නුවණින් නිවන් යන මග සොයා දැනගෙන පැමිණුනේ
මරුන් පරදා පෙරුම් බලයෙන් ජරා දුක් විඳ මහ වනේ
භවෙන් මිදුමට සතුන් අද දින ගොයුම් හොත් හිමි බුදු වුණේ

උපන් ලොව සැම සැපක් නොලබන ජරාවට යයි දින දිනේ
දුකින් පිරි ලොව සැපත ඇත්තේ සසර යන මඟ හිමි තැනේ
මෙවන් දහමක් අදත් පවතින ලෙසින් ලොවටම දී අනේ
සුපුන් සඳ දුන් එළිය තිලොවග පිරිනිවන් පෑ අද දිනේ


වනපෙත් නොනසමු

ලුම්බිනි, ගයා, කුසිනාරා තුන් තැනම
මන්දිර මාලිගා නැති තුරු සෙවණෙහිම
තුන් බුදු මඟුල විය තුරු සෙවණෙහි සොඳුරුතම
පව්කාරයො කරති ගස් වනපෙත් නැසුම

තෙමඟුල වගේ ම බුදු චරිතයට
ගස් වැල් හැදී ජල දහරා සොඳුරුතම
අතරෙහි තිලොව ඔප නැංවිය බුදු දහම
මිනිසුනි, නොකළ යුතු වනපෙත් ගස් නැසුම


සම්බුදු තෙමඟුල

මුළු තුන් ලෝකෙම එළිය කෙරෙනවා
පිපුණු මලින් ලුම්බිනිය දිලෙනවා
සැමගේ සිත් පිත් තුටු වී යනවා
වෙසක් මහේ කුමරා උපදිනවා

ලැබූ කුස තණ අට මිට අතුරන්නේ
බුදු වන බව දැඩි අදිටන වන්නේ
රාත්‍රී යාමෙහි ධ්‍යාන ලබන්නේ
වෙසඟේ තවුසාණෝ බුදු වන්නේ

මල්ලයන්ගේ උපවත්තන සල් වනයේ
සල් ගස් දෙකක් මැද පැන වූ ආසනයේ
බුදුසමිඳුන්ගේ ආයුෂයන් නිම වූයේ
වෙසක් දිනේ බුදු සමිඳුන් පිරිනිවියේ


අහිමි වරය

පියුමක් වෙලා පිපුණේ නම් ලුම්බිනියේ
පා යුගවත් හිමිගෙ සිඹිනට තිබුණානේ
දිය දෝතක් වුණි නම් නේරංජනාවේ
හිමිත් සමඟ එතෙර වන්න අපටත් තිබුණේ

ඇසතු බෝ රුක ගයා භූමියෙ
වෙන්න තිබුණා නම්
සෙවණ සදමින් සිසිල බෙදමින්
ළපලු සොලවන්නෙම්

ඇසළ සඳ නැඟි උතුම් බණ දෙසූ
එදා මිගදායේ
මුවකු වුණි නම් දහම් බිඳුවක්
අසන්නට තිබුණේ


මුනි දහමෙන් බිඳක්

වෙසක් සඳ නැඟුන මිගදා වන අරණේ
පසක් කළ මුනිඳු චතු සත් දම් සරණේ
විසක් සිත නසා දමමින් බව ගමනේ
නවත්වා නිවීගිය මුනි අම නිවනේ


සාමය ඇති වේවා!

දෙසවන් පෙළෙන වෙඩි හඬ නිසසල වේවා
දෙනුවන් හෙලන කඳුළැලි වියැකී යේවා
හදවත දැවෙන යුද ගිනි සීතල වේවා
වෙසක් මහෙන් සාමය යළි ඇති වේවා