Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: තථාගත ධර්මයටළඟා වීමට උත්සාහ කරමු

තථාගත ධර්මයට ළඟා වීමට උත්සාහ කරමු

" යම් පුද්ගලයකු තුළ හෝ යම් සමාජයක් තුළ යුක්තිය, සත්‍යය, සාධාරණය පවතී නම්, ධර්මය ජීවමානව පවතින සමාජයක් බවට අර්ථ දැක්විය හැකි ය. එම ගුණ ධර්ම යම් සමාජයක නොපවතී නම්, ධර්මය අතුරුදහන් වූ සමාජයකි. ඔබ තුළ ධර්මය තිබේ ද? ඔබ විසින් ම විමසා සොයා බැලිය යුතු ය."

බොහෝ පුද්ගලයෝ බලා සිටින්නේ බාහිරින් ධර්මාලෝකය පැමිණ සිය මනස පුබුදුවන තෙක් ය. එම අපේක්ෂාව කිසි දවසක විය හැක්කක් ද නොවේ. යමෙක් එසේ බලාසිටින්නේ නම්, ඔහු ධර්මාලෝකය නොදැකීමෙන්ම සිය දහස්වර මැරෙමින්, ඉපදෙමින් සංසාරය පුරා සැරිසරයි. දහම් ඇස පහළ නොවීමෙන් අන්ධකාරයේ අතපතගායි. එබැවින් තමා තුළ ඇති පහන නිවා දමා පිටින් ආලෝකය එනතුරු බලා නොසිට එය දල්වා ගත යුතුය.

එම දහම් ආලෝකයෙන් සමාජය දෙස බැලිය යුතුය. අන්‍යයන්ට පහන් දැල්වීමට හෝ ඔවුන් දල්වා ගන්නා තුරු බලා නොසිට හැකි පමණින් තථාගත ධර්මය තමා තුළ බැබළීමට පත්කරගත යුතුය. තමාට හැකි පමණින් තථාගත ධර්මයට ළංවීමට උත්සාහ ගැනීම බුද්ධිමත් මිනිසා විසින් කළ යුත්තකි.

“හිරු මඬල මෙන් ම සඳ මඬල ද විවෘතව බබළයි. සැඟ වී බබළන්නේ නැත. තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්මය ද විවෘතව බබළයි. සැඟවී බබළන්නේ නැත. අංගුත්තර නිකායේ තික නිපාතයේදී එසේ සඳහන්ව ඇත. විවෘතව නො බලන සැඟවී පවතින විට බබළන කරුණු ද ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එනම්, ස්ත්‍රිය, බමුණන්ගේ වේද මන්ත්‍ර සහ මිථ්‍යාදෘෂ්ටිය යි. එම කාරණා වැසී තිබෙනතාක් සමාජය යහපත් වන අතර විවෘත වූ විට සමාජය අගතිගාමී වේ. මේ කාරණා තුළින් අපට වඩාත් වැදගත් වන්නේ මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමයි. වර්තමාන සමාජය තුළ මිථ්‍යාදෘෂ්ටිය බහුල ලෙස පවතින බැවින් සමස්ත සමාජය සහ මිනිස් ගති සිරිත්වල සැබෑ ස්වරූපය ද වැසී ගොස් ය. එය විවෘත වූ විට ආලෝකය නොදකී. මිථ්‍යාදෘෂ්ටිය පිරි පුද්ගලයා ද, ආයතනද. ජාතියද, රට ද, කළුවර වගේ මය . අන්ධකාරය වැනිය. අඳුරේ සිටින පුද්ගලයෙකුට අඳුර දෘශ්‍යමාන නොවන්නේ යම් සේ ද, එවැනිම ආකාරයෙන් කිසිවක් පැහැදිලිව දැකගැනීමට අපහසු ය. තමා නොදන්නා බව නොදැනීමද ඇතැමුන් අතර පවතින දෙයක් වන අතර මිථ්‍යාදෘෂ්ටියෙන් ගිලී සිටින්නටද මිනිසා දැඩි රුචියක් දක්වයි. එබඳු තත්වයන් මහා විපතකට මුලක් වන අතර එහි දුර්විපාක තමා පමණක් අත් විඳිනවා නොවේ. එනිසාම මිථ්‍යාදෘෂ්ටිය තුළ සදාකාලිකවම සැඟවී නොසිට යම් තරමකින් හෝ බැහැර කරගැනීම, වීර්යය කිරීම වඩාත් කාලෝචිත ය.

හිරු සඳු ආලෝකයේ දී පමණක් පි‍්‍රය කරන වස්තුන් වන බැවින් හිරු සඳු අහසේ සැඟවී ගිය පසු ඒවාට පෙම් බඳින්නෝ සමාජයේ නොවෙති. තථාගත ධර්මය ද එබඳුමය.

පොත්ගුල්වල පොත් සැඟවී ඇති විට එහි ආලෝකයක් නැත. එය තථාගත ධර්මය පවතිනවාය ය කියා ඇති කරගන්නා වූ ආලෝකයක් පමණක් වන අතර එය සමාජය හිත සුව පිණිස, සමාජ අර්ථය පිණිස පවතින්නක් නොවන බව අවබෝධ කරගත යුතුය. බොහෝ දෙනා ධර්මය ශරීරයේ තවරාගෙන ඉන් එළිය දැකීමට වෙර දැරුවද, දහමට අනුව එය නොකළ යුතු ක්‍රියාවකි.

එබඳු පුද්ගලයෝ ධර්මය අතුරුදහන් කරවා සමාජයේ සඟවා තබති. මිනිසාගෙන් ඈත් කරවති. සමාජයේ අභිවෘද්ධිය පිණිස ම එම ක්‍රියා පවතින්නේ නැත. තථාගත ධර්මය විවෘත වූ තරමට බබළයි. ධර්මය ග්‍රන්ථ තුළ පමණක් නොව මිනිස් ක්‍රියාකාරිත්වයේ තිබිය යුතු ය. මිනිස් ක්‍රියාකාරිත්වයේ ධර්මය නොමැති නම්, ධර්මය සඟවා තැබීම කි. එවිට ධර්මානුකූල සාධාරණ, යුක්තිගරුක. මිනිසුන් සිටින සමාජය බබළන බවට ප්‍රකාශවීමෙන් ධර්මය බබළන බවට අර්ථ ගැන්වෙයි.

මිනිස් ක්‍රියාකාරිත්වය හා සමාජ ක්‍රියාකාරිත්වය වඩාත් හිත සුව පිණිස අර්ථවත් වීමට නම්, මිනිසාට ධර්මය අවශ්‍ය වේ. යම් පුද්ගලයකු තුළ හෝ යම් සමාජයක් තුළ යුක්තිය, සත්‍යය, සාධාරණය පවතී නම්, ධර්මය ජීවමානව පවතින සමාජයක් බවට අර්ථ දැක්විය හැකිය. එම ගුණ ධර්ම යම් සමාජයක නොපවතී නම්, ධර්මය අතුරුදහන් වූ සමාජයකි. ඔබ තුළ ධර්මය තිබේ ද? ඔබ විසින් ම විමසා සොයා බැලිය යුතු ය.

බුදු දහම ක්‍රියාවාදී, දහමක් වශයෙන් නිතර ම අවධානය යොමු කරනු ලබන්නේ පුද්ගලයා පිළිබඳව නොව ඔහුගේ ක්‍රියාවන් පිළිබඳව ය. දවල් ද රාත්‍රි ද කියා ධර්මාලෝකයේ වෙනසක් නැත. ධර්මාලෝකය එන්නේ පූජනීය වස්තුන්වලින් පමණක් යැයි සිතා සිටීම අනවබෝධයකි. එය පුද්ගල ක්‍රියාකාරිත්වය තුළ රඳාපවතී.

පුද්ගල ක්‍රියාකාරිත්වය පිවිතුරු වූ විට ධර්මයේ ආලෝකය ද ඔහුට ලැබෙයි. එසේ නොවුණ විට ඔහුට නොදැනේ. පුද්ගල ක්‍රියාකාරිත්වය යහපත් වීමට නම්, ධර්මයේ ආලෝකය සිතට ලැබිය යුතුය. මිථ්‍යාදෘෂ්ටිය සිත තුළින් ඉවත් කළ යුතුය. මිථ්‍යාදෘෂ්ටියෙන් පිරුණු සිත අධර්මය ධර්මය ලෙසද, සත්‍ය අසත්‍ය ලෙසද, දකී. මිථ්‍යාදෘෂ්ටිය නමැති අන්ධකාරයෙන් වැසී පවතී. මිථ්‍යා දෘෂ්ටියෙන් වෙළාගත් අන්ධකාරය සිතින් ඉවත් කරගැනීමට ධර්මාලෝකය අවශ්‍ය වෙයි. හිරු සඳු වගේම ධර්මය තුළද ඇත්තේ ආලෝකයකි. හිරු දුටු පුෂ්පයන් මෙන් එය විකසිත වන්නේ මනස තුළය. බුදුරජාණන් වහන්සේ සිය මනසේ ධර්මාලෝකය පහළ වූ අවස්ථාව දම්සක් පැවතුම් සූත්‍රයෙන් වදාළ සේක.