[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පංච නීවරණ ධර්ම : ථීනමිද්ධ නීවරණය

පංච නීවරණ ධර්ම :

ථීනමිද්ධ නීවරණය

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව සසරින් නිදහස් වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතු බව දේශනා කළා. එහිදී හමුවන ප්‍රධාන බාධක පහක් පිළිබඳවත් උන්වහන්සේ දේශනා කළා.

ඒ තමයි නීවරණ. නිවන් මග අහුරාලන කරුණු, එවැනි නීවරණයන් පහක් දේශනා කර වදාළා. ඒ අතරින් නිවන්මග අහුරාලන ප්‍රධාන කරුණක් වන නිදිමත හා අලසබව (ථීනමිද්ධය) පිළිබඳවයි, මෙහිදී විස්තර කෙරෙන්නේ. ථීනමිද්ධය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී කරුණු පැහැදිලි කර තිබෙනවා.

අංගුත්තර නිකායේ හතරවන භාගයේ පචලායන සූත්‍රයේ දී ත්, ඒ වගේම අංගුත්තර නිකායේ සංහාරව සූත්‍රයේ දී ත් බුදුන්වහන්සේ ථීනමිද්ධය පිළිබඳව විවරණය කර තිබෙනවා. සංයුක්ත නිකායේ අටුවාව තුළත් ථීනමිද්ධය දුරුකර ගැනීමට ආලෝක සංඥාව වැඩීම පිළිබඳව දේශනා කරනවා. දීඝනිකායේ සීලස්ඛන්ධ වර්ගයේ සාමඤ්ඤඵල සූත්‍ර ආදි සූත්‍රවලදී මේ පිළිබඳව ඉගෙන ගන්නට ලැබෙනව, අද මේ සඳහා අංගුත්තර නිකායේ හතරවන කොටසේ අභ්‍යකත වර්ගයේ පචලායන සූත්‍රය, නැතිනම් නිදිකිරා වැටීම ගැන ඍජු ලෙස කළ දේශනාවෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එදා බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරබේසකලා වනයෙහි වැඩවාසය කරන විට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාලමුත්ත ග්‍රාමයේ නිදිකිරා වැටෙමින් වාඩි වී සිටින ආකාරය බුදුරජාණන් වහන්සේට දිවැසින් දැකබලා ගන්නට ලැබෙනවා. උන්වහන්සේ බලවත් පුරුෂයෙක්. හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද, දික්කල අතක් හකුලන්නේ යම් සේද ඒ ආකාරයෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩසිටින ස්ථානයෙහි පෙනී සිට උන්වහන්සේගෙන් විමසා සිටියා ‘ඔබ නිදිකිරා වැටෙනවා නේද? කියලා. එහෙමයි ස්වාමීනි කියල මොග්ගල්ලානයන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහි දී ථීනමිද්ධය නැතිකර ගැනීම පිණිස උන්වහන්සේ මේ ආකාරයට උපදෙස් මාලාවක් දෙනවා. “යම් සංඥාවකින් වාසය කරනවිට නිදිමත එනවා නම් අන්න ඒ සංඥාව මෙනෙහි කරන්න එපා. බහුලව වඩන්න එපා. එසේ කරද්දි නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා .

ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් තමන් ශ්‍රවණය කළ ධර්මය සිතින් අනුවිතර්ක කරන්න. අනුවිචාර කරන්න. එය මනසින් මෙනෙහි කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවානම් ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉන්පසුව උන්වහන්සේ දේශනා කරනවා “මොග්ගල්ලාන ඔබ ඇසූ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනය කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කරුණක්.

ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් කන්පෙති, දෙකන් හා අත්පා, අත්ලෙන් හොඳින් පිරිමදින්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක්.

ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් මොග්ගල්ලාන ඔබ ඉඳගෙන සිටින ආසනයෙන් නැගිටලා සිහිල්දිය අරගෙන ඇස් දෙක සෝදන්න. ඉන්පසුව වටපිට බලන්න. අහස දෙස තරු දෙස බලන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනව නම් ඒ නිදිමත ප්‍රහාණය වෙන්න පුළුවන් කරුණක් හැටියට බුදුරදුන් පෙන්වා දුන්නා. එහෙමත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් ආලෝක සංඥාව මෙනෙහි කරන ලෙස දේශනා කළා.. ඒ ආකාරයට නිදිමතට යට නොවී ප්‍රභාස්වරව සිත මඩන්න යැයි උන්වහන්සේ දේශනා කළා. ඒ ආකාරයට වාසය කරනවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

ඒ අවස්ථාවේදීත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් අධිෂ්ඨානයෙන් යුක්තව සක්මනෙහි නිරත වන ලෙස පැවසුවා. එවිට නිදිමත ප්‍රහාණය වෙනව නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියල උන්වහන්සේ දේශනා කළා. එලෙස වාසය කරද්දීත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් දකුණු පාදයෙන් වම් පාදය මදක් ඇළට තබාගෙන සිහිනුවණින් යුක්තව නැගිටිමි කියන සංඥාව මෙනෙහි කරගෙන සිංහ සෙයියාවෙන් මතු වේලාවක් සැතපෙන්න. අවදි වූ විගස වහාම නැගිටින්න. නිද්‍රා සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි නැවත නැවත යෙදෙමින් වාසය කරන්නේ නැහැ කියල නික්මෙන්න කියල බුදුරදුන් දේශනා කළා .

ඒ වගේම යම් භික්ෂුවක් මානය නමැති හොඬවැල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරා එළඹෙන්නේ නැහැ කියල හික්මෙන්න කියලත් බුදුරදුන් දේශනා කරනව. එවිට මොග්ගල්ලානයන් වහන්සේ බුදුරදුන්ට ප්‍රකාශ කරනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංශේපයෙන් දේශනා කරන්නේ භික්ෂුවක් තණ්හාව ගෙවා දමා දුකින් නිදහස් වෙනවා නම් නියම ලෙස නිවන් මගේ නිමාවට පැමිණියා” කියන බවයි. දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා කියන අර්ථයයි.

එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පින්වත් මොග්ගල්ලායන සංෂේපයෙන් කියනවා නම් භික්ෂුවක් තණ්හාව ගෙවා දැමීමෙන් දුකින් නිදහස් වෙනවා. ඒ අත්‍යන්ත වූ නියම නිෂ්ටාවට පැමිණෙනවා. අත්‍යන්ත වු බ්‍රහ්මචාරි තත්ත්වයට පත්වෙලා, අත්‍යන්ත වූ නිවන් මගේ නිමාවට පැමිණෙනවා. දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙනවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සමාප්ත කරනවා. මේ වෙසක් සමයේ දී මේ සියලු නීවරණ දුරලා නිවන් මගට පිවිසීමට ඔබ සියලු දෙනාටම වාසනාව උදාවේවා.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]