[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී මෙවර වෙසක් මංගල්‍යය සමරන්න - ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී මෙවර වෙසක් මංගල්‍යය සමරන්න - ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා

මෙවර වෙසක් පුන් පොහොය දිනය සැමරීමේ දී පන්සල් කේන්ද්‍ර කර ගනිමින් සිල් සමාදන් ව, බණ, භාවනා කරමින්, ධර්ම දේශනා පවත්වමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ක්‍රියා කරන ලෙස බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඉකුත්දා (07) බුද්ධ ශාසන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය. එහි දී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේ ය.

සෑම නිවසක්ම බෞද්ධ කොඩියකින් ද, පන්සල් සහ මාර්ග බෞද්ධ කොඩිවලින්ද සරසන ලෙස ඉල්ලා සිටිනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණවලින් සුපෝෂිත වී ප්‍රතිපත්ති පූජාවේ නිරතවීමට මෙවර වෙසක් පුන් පොහොය යොදා ගැනීමේ වැදගත්කම මහානාහිමිවරුන් ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව කෘතඥ පූර්වක ගෞරවය උන්වහන්සේලාට පිරිනමනවා.

තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයෙන් හෙබි බෞද්ධ උපදේශක සභාව පන්සල කේන්ද්‍ර කර ගනිමින් මෙවර වෙසක් පුන් පොහොය සැමරීමට තීරණය කළා. පන්සල් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. ජාතික වෙසක් උත්සවය මේ මස 17 සහ 18 ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්ත තොටගමුව රන්පත් රජමහා විහාරයේ දී පැවැත්වෙන්නේ ආරක්ෂක සැලසුමක් යටතේයි.

පසුගිය දා සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩිතව සිටින සමස්ත ශ්‍රී ලාංකාවාසීන්ට චිත්ත ශක්තිය උදා කිරීමට ක්‍රියාකිරීම මෙවර සම්බුදු තෙමඟුල සමරන සැමගේ වගකීම ලෙස මහා නාහිමිවරුන් සහ මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා මේ මස 18 වැනි දා සවස සෑම පන්සලකම විශේෂ බෝධි පූජාවක් පවත්වා මිය ගිය උදවියට පින් පමුණුවා තුවාල ලැබූවන්ට සෙත් පතා සම්බුද්ධ ශාසනය රැකීමට අධිෂ්ඨාන සම්පන්නව ආශීර්වාද කිරීම සිදු වෙනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂක අංශවල සහාය සෑම පන්සලකටම ලබා දෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය රටේ ආරක්ෂාව තහවුරු කරමින් සිදු කරන මා හැඟි සේවයට හද පත්ලෙන් ම කෘතඥතාව පළ කරනවා.

විදේශ ස්වාමින් වහන්සේලා හත්සිය අසූ අටක් පමණ සිටින බැවින් ඔවුන්ගේ නාම ලේඛන ආරක්ෂක අංශ වෙත ලබා දෙනවා. ලියාපදිංචි නොවූ ස්වාමින් වහන්සේලා සිටී නම් උන්වහන්සේලාගේ නාම ලේඛන ඉදිරිපත් කළ යුතුයි.

සිවුරු , පාත්‍ර, සුදු ඇඳුම් ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන නිසා මෙවර වෙසක් සැමරීම ආරක්ෂක සැලසුම් යටතේ පන්සල්වලට සීමාකර තිබෙනවා. සිවුරුපිරිකර ඇතුළුව බෞද්ධ පූජා වස්තුන් වෙළෙඳාම සිදු කළ යුත්තේ සිංහල බෞද්ධ වෙළෙඳුන්, ශී‍්‍ර ලංකාව සිංහල බෞද්ධ රටක්. සියලුම ජාතීන්ට සමගියෙන් මේ රටේ දිවි ගෙවීමට ඉඩ කඩ සලසා දී තිබෙනවා. සෑම ආගමකටම ගරු කරනවා. ප්‍රහාරයට සම්බන්ධව මුස්ලිම්වරුන් ලබා දුන් ඔත්තු හේතුවෙන් ආරක්ෂක අංශවලට තත්ත්වය මර්දනය කිරීම කෙටි කලකින් සිදු කිරීමට හැකි වුණා. මාධ්‍යයෙන් සමාජයේ භීතිය ඇති නොකළ යුතුයි. දන්සැල් සහ තොරණ පැවැත්වීමට අදාළ පන්සල්වල කැමැත්ත ලැබිය යුතුයි. ඒ වාගේම ආරක්ෂක අංශ ඒ සම්බන්ධව ලබා දෙන උපදෙස්වලට යටත් විය යුතුයි. මුළු රටේම ආරක්ෂාව ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මක වෙනවා. එක දිස්ත්‍රික්කයක පමණක් නොව සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුන් වග බලා ගන්නවා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ සරණංකර විමලධම්මාභිධාන අනුනා හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී අනුනා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල නාහිමි, මල්වතු පාර්ශ්වයේ වැඩබලන ලේඛකාධිකාරි ආචාර්ය පහමුණේ සුමංගල නාහිමි. අස්ගිිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි, අමරපුර නිකායේ ශාස්ත්‍රවේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහ නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මකුලෑවේ විමල නාහිමි , රාජකීය පණ්ඩිත දර්ශනපති බලන්ගොඩ සෝභිත නාහිමි, ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, ගෝණදූවේ ගුණානන්ද නාහිමි, තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, දිවියාගහ යසස්සී නාහිමි, මහාචාර්ය නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි, මැදගම ධම්මානන්ද නාහිමි, දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නාහිමි, මුගුණුවටවන සිද්ධත්ත නාහිමි, පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමි, මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමි,බානගල උපතිස්ස නාහිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, මහාචාර්ය දඹර අමිල නාහිමි,අත්තන්ගනේ සාසනරතන නාහිමි, බලපිටියේ සිරිසීවලී නා හිමි, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි,බෙංගමුවේ ධම්මදින්න නා හිමි, තීනියාවල පාලිත නාහිමි,බෝපිටියේ ධම්මිස්සර නාහිමි, අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහා නාහිමි, සියඹලාගස්වැවේ විමලසාර හිමි යන බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මෙම ස්වාමින් වහන්සේලා එම සාකච්ඡාවට සහභාගි වූහ. අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජි. කිත්සිරි, ජනාධිපති කාර්යාලයේ බ්‍රිගේඩියර් පියසේන සහ පූජා භුමි, අධ්‍යක්ෂ ආර්. විතාන මහත්වරුද, සම්බන්ධීකරණ ලේකම් සුජාතා ධර්මවර්ධන මහත්මිය ද නිලධාරිහු ද එම අවස්ථාවට සහභාගි වූහ.

වෙසක් පුර පසළොස්වක පෝය

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]