Print this Article


බුද්ධ නම් වන සේක

බුද්ධ නම් වන සේක

“බුද්ධ” යන වචනය තරම් මිහිරිවූත්, සැප එලවන්නාවූත්, වෙනත් වචනයක් මුළු ලොවෙහි ම නැත. ලොවෙහි වෙසෙන කවර සත්ත්වයෙකුට වුවත් බුද්ධ යන්න තරම් ශ්‍රේෂ්ඨ නාමයක් ලබා ගැනීම පහසු නොවේ. එසේ නම් මිනිස්, දෙව්, බඹ යන සියල්ලන්ටත් ඉහළින් දැක්වෙන මේ නම මනුෂ්‍යයෙකු සඳහා දක්වා ඇත්තේ ඇයි.?

සේල නමැති බමුණා දිනක් බුද්ධ යනුවෙන් හඳුන්වන්නේ ඇයි දැයි බුදුරදුන්ගෙන් ම විමසී ය. එහිදී උන්වහන්සේ දුන් පිළිතුර මෙය යි.

අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

දත යුතු සියල්ල මා විසින් දන්නා ලද ය. වැඩිය යුතු දේ වඩන ලද්දේ ය. ප්‍රභාතව්‍ය දේ ප්‍රහීණ කරන ලද්දේ ය. බමුණ, මේ නිසා මම ‘බුද්ධ’ වූයේ වෙමි යි යන අර්ථය ඇති ඉහත සඳහන් ගාථාවෙන් උන්වහන්සේ ම පැහැදිලි කොට දුන්හ.

අනෙකුත් ශාස්තෘවරුන් අතර බුදුරදුන්ගේ විශේෂත්වය නම්, අන් කිසිවෙකුට නිවැරැදිව විග්‍රහ කොට පෙන්වීම නොහැකි වූ ස්වර සහිත අකුරු අටක් ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පද තුන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම යි. සත්ත්වයාගේ ශරීරය නිත්‍ය වශයෙන් නො පවතින බවත්, ඒ නිසාම දුක හට ගන්නා බවත්, උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙසේ දුක් හට ගැනීමට ප්‍රධාන හේතුව ශරීරයෙහි ආත්ම යි ගත හැකි කිසිවක් නැතිවීම බව තවදුරටත් සහේතුකව උන්වහන්සේ දැක්වූහ.

ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත යි. බුදුරදුන් දේශනා කොට තිබීම නිසා බුදුදහම අසුබවාදී ඉගැන්වීම්වලින් පරිපූර්ණ වී ඇතැයි සමහරු චෝදනා කරති. යම්කිසි පුද්ගලයෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔහුට වැළඳී ඇත්තාවූ රෝගයේ බිහිසුණුකම පිළිබඳ තොරතුරු ප්‍රකාශ කොට එහි සුවය සඳහා බෙහෙත් කිරීම වරදක්යැයි කිව හැකි ද? බුදුරදුන් සත්ව ශරීරය පිළිබඳ පවතින, ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳ කළ විග්‍රහය ඉහත කී වෛද්‍යවරයා රෝගියා පිළිබඳ අනුගමනය කළ ක්‍රියා මාර්ගයට සමාන වූවකි. එය ශ්‍රේෂ්ඨ උතුමෙකුගෙන් විය යුතුම වූ කාර්යයකි.

සිද්ධාර්ථ කුමාරයා තිස් පස් වන වියේ දී උතුම් වූ බුද්ධත්වයට පත් විය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා එතුමාණන් තුළ පැවැති විශිෂ්ටත්වය කුමක්දැයි විමසීම වැදගත් වේ.

බුදුරදුන්ගේ අතීත උප්පත්තීන් පිළිබඳ තොරතුරු විමසන විට කරුණාව හා ප්‍රඥාව යන ප්‍රධාන ලක්ෂණ දෙකෙන් සම්පූර්ණ වූ පරාර්ථ චර්යාවන්ගෙන් පරිපූර්ණව පැවති බව ප්‍රකට වෙයි. මේ පිළිබඳ වැදගත් නිදසුන්වලින් ජාතක පොත පිරී පවතී. එහි දැක්වෙන අන්දමට තිරිසන් ආත්ම ලබා සිටි අවදිවල දී ද අන් අයගේ යහපත සඳහා තමන්ගේ ජීවිත කැප කළ බව පැහැදිලි වෙයි. එසේම ලෞකිකත්වය නිසා බෝසත් අවධියේ විවිධ සුළු වැරැදි සිදු කරන ලද නමුත්, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂය පුරාම එතුමාණන්ගේ කටින් එකද බොරුවක් හෝ ප්‍රකාශ නො කොට තිබීම මහා ආශ්චර්යයකි. එපමණක් නොව තමා සතු වස්තුව ද අඹු දරුවන් ද, අවයව ද අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කිරීමෙන් නො නැවතී ජීවිතය ද පරිත්‍යාග කළ වාර අපමණ ය. බුදුරදුන්ගේ ශරීරය කිසිවෙකුට සම කළ නොහැකි තරම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ ය.

බුද්ධත්වයෙන් පසු බරණැස බලා වඩිද්දී උපක නම් ආජිවකයෙකු හමු විය. ඔබේ ඉඳුරන් ඉතා ප්‍රසන්න ය. හමේ වර්ණය පිරිසුදු හා සුදු පාටින් යුක්තය යි ප්‍රකාශ කරන ලද්දේ ශරීර ලක්ෂණයන් නිසා පුදුමයට පත්වීමෙනි. අන්‍ය ආගමක් අදහමින් සිටි වක්කලි නමැති තරුණයා බුදුරදුන් පසුපස අවුත් පැවිද්ද ලබා ගන්නා ලද්දේ ධර්මය ඇසීමෙන් පැහැදීමට පත්ව නොව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ශ්‍රී දේහය දැක වශී වීමෙනි. ශ්‍රමණ භවත් ගෞතමයන් අන් සියලු දෙනාටම වඩා උසස් රූපයකින් යුක්ත වන හෙයින් දැකීමෙන් තෘප්තියට පත් විය නො හැකි ය. රන්වන් පැහැයෙන් යුක්ත වූ උන්වහන්සේගේ සිරුර මහා බ්‍රහ්මයාගේ සිරුර මෙන් දිලිසෙන ලක්ෂණයෙන් යුක්ත යයි බුද්ධිමත් අන්‍යාගමිකයෝ ද පිළිගත්හ.

උන්වහන්සේ දත යුතු ධර්ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ල ම අන් කිසිවෙකුගේ සහායක් නැතිව අවබෝධ කොට ගෙන අන්‍යයන්ටත් අවබෝධ කර දෙන හෙයින් බුද්ධ නම් වූ සේක. එපමණක් නොව චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් බැහැර වූ දත යුතු අන්‍ය ධර්මයන් ද අවබෝධ කොට ගෙන ඇති හෙයින් ද උන්වහන්සේ බුද්ධ නම් වූ සේක.

බුදුරජාණන් වහන්සේ උසස් ආශ්චර්යය සම්පත්තීන්ගෙන් යුක්ත හෙයින් ද භජනය කරන ලද මාර්ගඵල, නිර්වාණ ධර්මයන් සහ වන සෙනසුන් ඇති හෙයින් ද, සිවුපසයටත්, අර්ථ, ධර්ම, විමුක්ති රසයටත්, අධි සීලාදියටත් හිමිකම් ඇති හෙයින් ද, ලෞකික ලෝකෝත්තර ධර්මයන් මනා සේ බෙදා වෙන් කොට දැක් වූ හෙයින් ද රාගාදී පාප ධර්ම වැනසූ හෙයින් ද, ගරු කළ යුතු හෙයින් ද මහ පින් ඇති බැවින් ද උතුම් කුසල ධර්මයන් මැනවින් භාවිත කරන ලද සිත් ඇති හෙයින් ද භගවා නම් වූ සේක. මේ උතුම් සියලු ගුණ අන් කිසිවෙකුට සමාන නැති අන්දමට බුදුරදුන් තුළ පැවතුන හෙයින් උන්වහන්සේ අසම නම් වූ සේක.