Print this Article


විජ්ජාචරණසම්පන්න නම් වන සේක

විජ්ජාචරණසම්පන්න නම් වන සේක

බුදුරජාණන් වහන්සේ ගේ අපරිමිත වූ ගුණ සමුදාය පිළිබඳව මඳක් හෝ නොදන්නා කෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ව මෙනෙහි කරමින් බුදුගුණ භාවනාව කළ නොහැකි ය. ප්‍රාඥයින් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේම නොවු විරූය” යනුවෙන් ප්‍රකාශ කළ විට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ නමක් තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ කියා අවසන් නොවන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධෝ ‘පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛියෙථ කප්පෝ වීර දීඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් භාවනානුයෝගීව සිටින පුද්ගලයාට මෙලොව හා පරලොව දියුණුව ඇතිකර ගත හැකි ය. නව අරහාදී බුදුගුණවලින් තෙවෙනි බුදුගුණය වන්නේ “විජ්ජාචරණ සම්පන්න” බුදුගුණය යි. විද්‍යාවන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ යන අදහස එහි ඇත. විද්‍යා යනු දැනීම යි. චරණ යනු පාදය යි. ආර්ය විද්‍යාව ලැබීමට හා නිවන් අවබෝධ කරගැනීමට උපකාරි වන සීලාදී ගුණධර්ම සමූහය වෙත යාමට පයක් වැනි හෙයින් එය චරණය යැයි කියනු ලැබේ.ඒ අනුව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සීලය හා සමාධිය චරණයට අයත් වන අතර, ප්‍රඥාව විද්‍යාවට අයත් වේ.

මෙහි ත්‍රිවිද්‍යා යනු තමන්ගේ හා අන් අයගේ පෙර ඉපිද සිටි ජාති පිළිවෙල නම් ගොත් ආදී වශයෙන් දක්නා වු පුබ්බේනිවාසානුස්සතියත්, දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක හා අපාය ආදී නොයෙක් භවයන්හි කර්මානුරූපීව ඒ ඒ සත්ත්වයා උපදින තැන් දැකීමට හැකි දිබ්බචක්ඛු හෙවත් දිවැසත්, දුක්ඛ සමුදය, නිරෝධ හා මාර්ග වශයෙන් දැක්වෙන චතුරාර්ය සත්‍යාවබෝධය තත් වු පරිද්දෙන් දැක කාමාදී ආශ්‍රවයන් ප්‍රහීණ කොට නිවන් අවබෝධ කරගන්නා අර්හත් ඤාණ මාර්ගය හෙවත් ආසවක්ඛය ඤාණයත් යන ත්‍රිවිද්‍යාවන් ලැබීමයි. මෙම ත්‍රිවිද්‍යාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ආකාරය මජ්ක්‍ධිම නිකායේ බයභේරව සූත්‍රයේ පෙන්වා දී ඇත.

“අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා පඨමෙ යාමෙ පථමා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණා රත්තියා මජ්ක්‍ධිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා සච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා”

බ්‍රාහ්මණය මම රාත්‍රියේ පළමු යාමයේ පළමු විද්‍යාවත්, මධ්‍යම යාමයේ දී දෙවන විද්‍යාවත්, පශ්චිම හෙවත් අළුයම කාලයේ තෙවෙනි විද්‍යාවත් අධිගමනය කරන ලදී.

මෙය බුදුන්ට පමණක් නොව රහතන් වහන්සේලාට ද අවබෝධ කරගත හැකි ඤාණයකි. එහෙත් බුදුරදුන් තුළ මේ සම්බන්ධයෙන් ඇති ඤාණය අනෙකුත් රහතන් වහන්සේලාට වඩා වැඩි ය. උදාහරණයක් ලෙස බුදුරදුන්ට පෙර භවයන් දැකීමේ ඤාණය එකවර භව පන්සියයක් දක්වා හෝ දැකිය හැකි ය. එහෙත් රහතන් වහන්සේලාට පෙර භවයන් දැකිය හැකිවන්නේ එක් එක් භවයන් අනුව යමිනි.

මීට අමතරව අම්පටියා සූත්‍රයේ දී අෂ්ඨ විද්‍යා යනුවෙන් දේශනා කර ඇති අතර ඒවා සාමඤ්ඤඵල සූත්‍රයේ දී ශ්‍රමණ තත්ත්වයෙහි ප්‍රතිඵල හැටියටත් දක්වා තිබේ. නාම රූප ධර්ම (පඤ්චස්ඛන්ධය, ෂඩ් ආයතන, දොළොස් ආයතන හා අෂ්ඨාරස ධාතු) හා ඒවා අනිත්‍ය වශයෙන් දැකීමේ ඤාණය වන විදර්ශනා ඤාණය ඉන් පළමුවැන්නයි. තමන්ගේ ශරීරය තුළ තමා හා සමාන වූ රූපකායත් මෙන්ම අන් අයගේ ශරීර විශාල ප්‍රමාණයක් යම් සේ නිර්මාණය කොට කොපුවක තිබූ දෙයක් ඉන් පිටතට ගන්නාක් මෙන් සිදුකිරීමේ ශක්තිය ඇති මනෝමය ඍද්ධි ඤාණය දෙවැන්නයි. (මට්ටකුණ්ඩලී වෙත යැවූ බුද්ධ රූපයත්, චුල්ලපන්ථක තෙරුන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවත් මින් අදහස් කෙරේ) යමක මහා ප්‍රාතිහාර්ය සේ ම, තම ශරීරයෙන් ගිනිදැල් පිටකිරීම, දුම්පිට කිරීම, බර දෙයක් සැහැල්ලු කොට රැගෙන යාම,වැසි සුළං ආදිය ඇතිකරලීම වැනි බොහෝ අවස්ථාවලදී පෑමට ඇති හැකියාව වූ ඉද්ධිවිධ ඤාණය තෙවැන්නයි. සාමාන්‍ය කෙනෙකුට නො ඇසෙන සියුම් ශබ්ද, ඉතා දුර සිට කියන්නා වූ දෙය ළග සිටියාක් මෙන් ඇසීමේ හැකියාව, බඹලොව පරසක්වල ආදි සියලු සතුන්ගේ ශබ්ද ඇසීමේ හැකියාව පියවි කනට නොඇසෙන ශබ්ද පවා ඇසීමේ හැකියාව ඇති දිව්‍යලෝක ඤාණය සිව්වැන්නයි. අන් අය සිතන පතන ආකාරය දැනගැනීමේ හැකියාව ඇති පරචිත්තවිජානන ඤාණය පස්වැන්නයි .පෙර විසූ ජාතීන් පිළිබඳ දැන ගැනීමේ හැකියාව ඇති පුබ්බේනිවාසානුස්සති ඤාණය සයවැන්නයි. සියලු ලෝක සත්ත්වයින් බැලීමේ හැකියාව ඇති දිබ්බචක්ඛු ඤාණය සත්වැන්නයි. සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත්වීමේ ඇති හැකියාව වන ආසවක්ඛය ඤාණය ලැබීම අටවැන්නයි. මෙසේ ත්‍රිවිද්‍යාවන්හි ඇති කොටස් තුනක් එකතුව අෂ්ඨ විද්‍යාවන් ඇති බව දේශනා කර තිබේ.