Print this Article


නව අරහාදී බුදුගුණ: සම්මා සම්බුද්ධ නම් වන සේක

සම්මා සම්බුද්ධ නම් වන සේක

වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම සුවිශේෂී දවසක්. දඹදිව රාජ්‍යයේ බුද්ධ ගයා ශුද්ධ භූමියේ දී සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සිදු වීම මුල් කරගෙන, හතළිස් පස් වසක් දේශනා කළ ධර්මය මුලු මහත් ලෝකයා ම ශ්‍රවණය කරලා, සමස්ත ලෝකය පුරාවට ම බුදුරජාණන් වහන්සේගේ නම ප්‍රචලිත භාවයට පත් වුණා. එවැනි උත්තරීතර තත්ත්වයට පත්වීමේ මූලික ම දේ තමයි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙන විද්‍යමාන ගුණ.

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ...යන පාඨයේ බුදු ගුණ නවයක් තිබෙයි. එයින් සම්මා සම්බුද්ධෝ ගුණය යනුවෙන් සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවිනි. දුක්ඛ සත්‍ය අවබෝධ කළ නිසා, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක, දෝමනස්ස දුක , උපායාස දුක, පංචස්ඛන්ධ දුක සහිත මේ සකල දුක අවබෝධ කළ නිසා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ යනුවෙන් ව්‍යවහාර කරනවා. එසේ ම සිතෙහි බලපවත්වන තෘෂ්ණාව සමුදය සත්‍ය යැ’යි කියනු ලබනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව, රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ධම්ම තණ්හාව , අතීත තණ්හාව, අනාගත තණ්හාව, වර්තමාන තණ්හාව , අධ්‍යාත්මික තණ්හාව, බාහිර තණ්හාව යන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව මනාකොට අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. දුක පිරිසිඳ අවබෝධ කරගෙන , සමුදය සත්‍ය ප්‍රහාණය වුණහම, නිවන අවබෝධ වුණා.

නිර්වාණය සිත, ගත නිවා සනසා දෙන වාසනාවක්. ඉපදීම මුළුමනින් ම නතර වෙනවා. එවිට ජාති, ජරා, මරණ, ආදී සියලු ම දුක් නතර වෙනවා. සිත නිවනට ප්‍රවිෂ්ඨ වෙනවා. නැවත උපතක් සිදු වන්නේ නැහැ. ඒ නිසා නිර්වාණය, තණ්හාව ක්ෂය වීම යි යනු වෙයි. ඉපදීමක් නැති නිසා අජාති නම් නිර්වාණය, ජරාවක් නැති නිසා අජර නම් නිර්වාණය, ලෙඩ රෝග නැති නිසා අව්‍යාධි නම් නිර්වාණය , මරණයක් නැති නිසා අමත නම් නිර්වාණය , ඇඬීම නැති නිසා අශෝක නම් නිර්වාණය , වැළපීමක් නැති නිසා අපරිදේව නම් නිර්වාණය, කායික දුකක් නැති නිසා අදුක්ඛ නම් නිර්වාණය, මානසික දුකක් නැති නිසා අදෝමනස්ස නම් නිර්වාණය, දැඩි ආයාසයක් නැති නිසා අනුපායාස නම් නිර්වාණය, අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් අමතනවා. එසේ ම නිවන අවබෝධ කර ගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මධ්‍යම ප්‍රතිපදාවෙන් ම ගමන් කොට වදාළා. උතුම් වූ , යහපත් වූ , ශ්‍රේෂ්ඨ වූ අර්ථයෙන් සම්මා වදන ප්‍රකාශ වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි, ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. බුදුරජාණන් වහන්සේ සෝවාන්, මාර්ග ඵල සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරිහත් මාර්ග ඵල, නිර්වාණය යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා. සංඛාර (හේතූන් හට ගන්නා දේ), විකාර (වෙනස්වන දේ), ලක්ෂණ ( ඒ ඒ දෙයෙහි ලක්ෂණය), පංඤප්ති(පැනවීම), නිබ්බාණ (නිර්වාණය) ආදිය ‘පංචවිධ ඤේ‍යය මණ්ඩලය’ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා.

සම්මා සම්බුද්ධෝ වගන්තිය දවස පුරාම සිතුවත් වැඩි වන්නේ නැහැ. එය ‘සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ’ යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඉතිපිසෝ පාඨයම මෙනෙහි කළත් හොඳයි, තේරුම ටිකෙන් ටික ඉගෙන ගන්න. එවිට බුදු ගුණ වලින් ලැබෙන ශක්තිය, බලය, සීමාවක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ හැමදාම නැහැ. බොහොම කලාතුරකින් පහළ වෙන්නේ. ඒ උතුමන් වහන්සේලා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළෙනවා. අසූවක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් බැබළෙනවා. කේතුමාලාලංකාරයෙන්, සවණක් ගණ බුදුරැස් මාලාවෙන් , යාමක් ප්‍රභාවෙන් නිබඳව ම බැබළෙනවා. ගුණ සාගරයකින් සමන්වාගත යි. ඥාන සාගරයකින් සමන්වාගත යි. මහා පුණ්‍ය තේජසකින් සමන්වාගත යි. එවැනි මහා උතුමන් වහන්සේ නමක් වඳින පුදන අපට පුදුම පිනක් ලැබෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් මෙලොව යහපත, තමන්ගේ ගුණ නුවණ, හොඳින් ලැබෙනවා. එසේම කායික මානසික ශක්තිය වැඩෙනවා. එසේ ම බුද්ධානුස්සති භාවනාව නිවන් පසක් කරන්නට පුළුවන් සුදුසු භාවනාවක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරදෙන සුදුසු භාවනාවක්. අවසානයේ විදසුන් නුවණ පහළ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ හැර සම්මා සම්බුද්ධෝ ගුණය තුන් ලෝක ධාතුවේ ම සොයා ගන්නට නැහැ. එසේනම්, වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම යහපත සැලසුන දවසක්. ජාති, ආගම් භේදවලින් තොරව කොයි කාටත් වෙසක් පුර පසළොස්වක දවස පටන් හැකිතාක් බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ කර, අපායෙන් අත් මිදී සුගතියක ම සිට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවා!