Print this Article


පංචනීවරණ යටපත් කරන කුසල්

පංචනීවරණ යටපත් කරන කුසල්

පංචනීවරණ යටපත් කරන කුසල වේගයන් මෙම සතර කමටහන තුළ පවතිනවා. පංචනීවරණයන් යටපත් කරගෙන අප සිදුකර ගෙන යන මූල කමටහනේදී මෙය ටික ටික වර්ධනය කර ඉදිරියට යෑමේ අවස්ථාව ලැබෙනවා. එවිට එය අපට ධ්‍යාන මට්ටමකට වර්ධනය කළ හැකිව පවතිනවා.

ධ්‍යාන මට්ටමකට වර්ධනය කරනවා කියා සඳහන් කරන්නේ නීවරණ සම්පූර්ණයෙන් යටපත් විය යුතු යි. එසේ පැමිණි විට චිත්ත විශුද්ධිය යනුවෙන් සඳහන් කරනවා. එසේ පැමිණ විදර්ශනාව සිදු කරනවා යැයි අත්‍යවශ්‍ය නොවේ. ඒ තත්ත්වයට පැමිණිවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨධම්ම සුඛ විහරණ ලෙස.

ඒ නිසා මූල කමටහනක දී අප සතර කමටහන් වැඩීමෙන් අපේක්ෂා කරන්නෙ දිට්ඨධම්ම සුඛ විහරණය නැමැති ධ්‍යානමට්ටමකට සිත වැඩීමයි. එය ඉදිරි විදර්ශනා සඳහා විශාල හේතුවක් වනු ඇත. විදර්ශනාවලට අප පරමාර්ථ ධර්මයන් තුළට හිත රඳවාගෙන වාසය කළ යුතුයි. පොත පතින් කරුණු කෙතරම් එකතු කළත් තමන්ගේ ජීවිතයට එය ගලපා ගත හැකි ෙ නාවේ. පරමාර්ථ ධර්ම හතර දෙස බලනවිට නිර්වාණ ශාන්තිය හැර අනෙක් පරමාර්ථ ධර්ම චිත්ත,චෛතසික රූප යන පරමාර්ථ ධර්ම තුනෙහිම ක්‍රියාකාරීත්වය අපගේ ශරීරය තුළම පවතී. අපගේ ශරීරය දෙස හැරී බලන විට ඒ පරමාර්ථ ධර්මවල ස්වභාවය තේරුම් ගත හැකිව පවතී. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වනුයේ ඒ සඳහා යොමු වීමයි. පරමාර්ථ ධර්මයන්හි එක් චෛතසිකයක් වනුයේ පංචුපාදනස්කන්ධයට අයත් වේදනාව යනුවෙන් සඳහන් වන්නෙ. වේදනාව කියන කරුණෙහි අනිත්‍ය තත්ත්වය, ඇත්ත තත්ත්වය දකින්න නම් අප වේදනාව යන්නෙහි හිත යොදවාගෙන එහි ක්‍රියාකාරීත්වය, තත්ත්වය කුමක්දැයි බලා ගත යුතු යි. අපේ හිත ඒ වේදනා සන්තතියට යොමු කරගෙන සිටිය හැකි විය යුතුයි. එසේ නීවරණ යටපත්වීමෙන් හිතෙහි ඒකාග්‍රතාවය ඇති වේ. පහසුවෙන් වෙන් කළ නොහැකි ගසක් කපා වෙන් කරන්නට තියුණු පිහියක් තිබිය යුතුයි. ඒ වගේ නීවරණ යටපත් කරගෙන යමක් අවබෝධ කරගන්න නම් තියුණු සිතක් තිබිය යුතු යි. තියුණු සිතත් පැවතීම සාමාන්‍ය විදර්ශනාවක් සඳහා යහපත් මගක් විවර කර ගතහැකිව පවතිනවා. එසේ නොකරන අය සුස්ක විදර්ශක ලෙස සඳහන් වේ. චිත්ත ඒකාග්‍රතාව නොබලා එසේ කරගෙන ගියත් අවසානයේ එකම දෙය සිදු වේ.

ප්‍රථම ධ්‍යානය පිළිබඳ අර්ථ දැක්වීමේදී “විවිච්ඡ කාමෙහි, විවිච්ඡ අකුසලෙහි ධම්මෙහි, සවිතක්කං, සවිචාරං , විවේකජං, පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජා විහරති යනුවෙන් සඳහන් වේ.

ධ්‍යානය පිළිබඳ මේ කාලයේ දී විවිධ මතිමතාන්තර පවතී.

අප වාහනයක් මිලදී ගත යුතු යැයි සිතමු. එහි දී යම් වාහනයක් පිරික්සීමෙන් එය මිලදී ගැනීමට කැමැත්තක් ඇති වූවාට පසුව සාමාන්‍ය ජීවිතයේ දි ඒ වර්ගයේ වාහනයක් අරමුණු වන වාර ගණන වැඩියි. ඒ අරමුණෙහි සිත නංවන ගතියක් පවතින හෙයිනි. එය අප නොසිතා කරන දෙයක් නොවන අතර සිතේ පවතින ස්වභාවයක් වේ. පුදුමත් හිතෙනවා දැන් මාර්ගයේ ඒ වර්ගයේ වාහන රැසක් පදවාගෙන යන ආකාරය පෙනේ. ඉතින් එසේ හිත නංවන චෛතසිකය විතක්ක චෛතසිකය කුසලයෙහි සහ අකුසලයෙහි යන දෙකෙහිම යෙදේ. විතක්කය කුසලයෙහි යෙදුනොත් කුසල සිත නැවත නැවත නංවනු ලැබේ. අසුභ භාවනාවේ දී මුළු ශරීරයම අසුභයි කියා තනි හැඟීමකට එනතෙක් පුරුදු කරනු ලැබේ. අසුභ භාවනාව වැඩීමේදී තමන්ගේ සහ අනුන්ගේ සියලු ශරීර පිලිකුල්ය යන තනි හැඟීමකට පැමිණිය හැකි ය. ඒ එසේ තනි හැඟීමකදී මෛත්‍රිය පිළිබඳ කල්පනා කිරීමේදි මෙත් සිත පවත්නා තනි හැඟීමකට පැමිණිය හැකිය. ඒ තනි හැඟීම වර්ධනය කර ගත යුතු ක්‍රමයක් පවතී. දැනට අපි කල්පනා කරමු සියල්ල එකට එන එක් චේතනාවක් කියලා සමහර විට කෙනෙකුට සිතෙයි. එය කරන්න බෑ කියල. අපි හිතමු. පාසලක ඉංගී‍්‍රසි භාෂාව විෂයය පිළිබඳව පිරික්සීමක් සිදු කිරීමක් ගැන. එහිදී පළමුව හමුවන ශිෂ්‍යයා සමඟ ඉංගී‍්‍රසි භාෂාවෙන් කථාකිරීම නිසා ඔහුට ඒ භාෂාව පුළුවන් යන හැගීම එයි. දෙවනුව ද එසේද සිදු කරනු ලැබේ. දෙදෙනාටම ඉංගී‍්‍රසි භාෂාව පුළුවන් යැයි එක් හැඟීමක් එයි. එසේ දස දෙනෙකුට කථා කළ ද අවසානයේ දස දෙනාට ම ඉංගී‍්‍රසි විෂයය හැකි බවට එක් හැඟීමක් එනු ලැබේ.