Print this Article


සත්ථා දේව මනුස්සානං නම් වන සේක

සත්ථා දේව මනුස්සානං නම් වන සේක

අප ජීවත් වන සමාජයේ ඇතැමුන්ට ගරු සැලකිලි ලැබෙනුයේ ඔවුන්ගේ වත් පොහොසත් කම්

නිසා ය.ඔවුන් සතුව බොහෝ ධන ධාන්‍ය ඇති නිසා ය.

මෙලෙසින්ම සමහරු බලතල නිසා ද, තවත් සමහරු නිලතල නිසා ද ගරු බුහුමන් ලබති. මෙ හැරුනු කොට කුල ගෝත්‍ර නිසා මෙන්ම කාය ශක්තිය නිසා ද මිනිස්සු තවත් මිනිස්සුන්ගේ ගෞරවයට සම්භාවනාවට හා ඇගයීමට පාත්‍ර වෙති.එහෙත් බුදු දහමට අනුගතව අප තවත් කෙනෙකුට ගරු කළ යුත්තේ සම්භාවනාවට පාත්‍ර කළ යුත්තේ ධනවත්කම, බලවත්කම, නිලය, කුලය, ශරීරයේ හැඩය අනුව නොව ගුණ නුවණ අනුව යි.

ලෝකයේ එදාමෙදා තුර පහළ වූ ගුණවතුන් හා නැණවතුන් අතර අති ශ්‍රේෂ්ඨ උතුමාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය.බෞද්ධයින් ලෙස අපි උන්වහන්සේ තරම් ගුණ නුවණින් අගතැන්පත් වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු පිළිබඳව නොදනිමු.උන්වහන්සේ අනන්ත ගුණ ඇති සේක.අනන්ත නුවණ ඇති සේක.බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී පවා උන්වහන්සේගේ ගුණ නුවණ දඹදිව පුරාවට ම ප්‍රචලිත විය.රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පටන් ඉතා අසරණ දුකට පත් වූ මිනිසුන් දක්වා බුදු ගුණයත් , බුදු සුවඳත්, බුදු නුවණත් ඇගයීමට සම්භාවනාවට පත් වූ බව පෙළ දහමේ එන සූත්‍ර දේශනා තුළ සුපැහැදිලි ය.

බුදුරජාණන් වහන්සේ සතු අසීමිත සම්බුදු ගුණ නව අරහාදි බුදුගුණ ලෙස කැටි කොට දේශනා කර තිබේ.ඒ අතරින් සත්ථා දේව මනුස්සානං යනු බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව හා නිවන පිණිස මාර්ගය පෙන්වන ශාස්තෘවරයා ය.එම නිසා (සත්ථ) ශාස්තෘ වන සේක.සත්ථ (සාර්ථ)යනු ගැල් සිය ගණනකින් යුක්ත ගැල් සාත්තුවකට තවලමකට කියන පරියාය පදයකි.

අතීතයේ එබඳු ගැල් කණ්ඩායම් රැගෙන කාන්තාර වලින්,ගිරිදුර්ග, වනදුර්ග අතරින් තරණය කිරීමේ දී ඒ සඳහා නිවරැදි නායකත්වය හා මග පෙන්වීම සිදු කරන තැනැත්තා ගැල් නායකයා,සාත්තු නායකයා සත්ථා යනුවෙන් හඳුන්වන ලදි.එසේම එකොළොස් ගින්නකින් පෙළෙන සත්වග සසර කතරින් එතර කිරීමට මග පෙන්වන හෙයින් බුදුරජාණන් වහන්සේ සත්‍ථා දේව මනුස්සානං වන සේක.

බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්‍වය පිළ ිබඳව පෙළ දහමෙහි මනා සේ විවරණය වේ. ඒ අතර අංගුත්තර නිකායෙහි කකුධ සූත්‍රයෙහි ශාස්තෘත්‍වය පිළිබඳව මනාව පැහැදිලි වේ.

‘මොග්ගල්ලානය’මේ ලෝකයෙහි අපිරිසුදු සීල ඇති,අපිරිසුදු ජීවිකා ඇති,අපිරිසුදු ධර්ම දේශනා ඇති අපිරිසුදු විවරණ ඇති, අපිරිසුදු ඤාණ දර්ශන ඇති ආගමික නායකයෝ වෙති.ඔවුහු තම තමාම එකී කරුණුවලින් පිරිසුදු යැයි ප්‍රතිරූප මවා පෙන්වති.මාගේ ශ්‍රාවකයන් මෙම කිසිදු කරුණකින් මා නොරකිති.මම ඔවුන්ගේ එබඳු රැකවරණයක් බලාපොරොත්තු නොවෙමි.මන්ද යත් සෑම කරුණකින්ම මා පිරිසුදුව සිටින බැවිනි. ලොව බොහෝ ලෞකික කරුණු අරභයා අනුශාසනා කරන බොහෝ ආගමික නායකයෝ වෙති.එහෙත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මග පෙන්වීම නිවන උදෙසාම ය.මේ බව

අහං හි අරහං ලෝකේ
අහං සත්ථා අනුත්තරෝ
සකෝම්හි සම්මා සම්බුද්ධෝ
සීතුභූතෝස්මි නිබ්බුතෝ

බුදුරජාණන් වහන්සේ දෙවන වර බරණැසට වඩින අතරතුර දී උපක නම් ආජීවකයා හමු වී ඔබ කවුරුන්

උදෙසා මහණ දම් පුරන්නේදැයි විමසූ පැනයට පිළිවදන් ලෙස බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක.එහි දි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දිමට සත්ථා යන්න භාවිත කර ඇත්තේ අනුත්තර වූ ශාස්තෘවරයා වන බැවිනි.

බුදු ගුණ අලංකාර කතු හිමියන් බුදුරජාණන් වහන්සේ පමණක් සතු වූ සත්‍ථා දේවමනුස්සානං ගුණය මනා සේ කාව්‍යයට නාගා තිබීම ශ්‍රද්ධාව ජනනය කරවන්නකි.

බව කතරින් එතර
ලනුයෙන් සතන් හැම වර
තිලෝගුරු මුනිවර
වී ය සත්තා නමින් පුවතර

ලොව තුළ ශ්‍රාවක ආකර්ශනය ලබා ගැනිම උදෙසා විවිධ ප්‍රාතිහාර්ය සිදුකරන ආගමික නායකයින් දුලභ ය.එහෙත් බුදුරජාණන් වහන්සේ එකී සියලු ප්‍රාතිහාර්යන් පසෙකලා අනුශාසනා ප්‍රාතිහාර්ය උතුම් කොට දේශනා කළ සේක. දිනක් කේවට්ට නම් බමුණා සෘද්ධි ප්‍රාතිහාර්ය තුළින් ළඟා කරගත හැකි ප්‍රසිද්ධිය පිළිබඳව භික්‍ෂූන්ට වර්ණනා කළේය.එහි දී බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය තුළින් ලැබෙන ප්‍රසිද්ධියට වඩා ඉන් සිදුවන හානිය පිළිබඳව පැහැදිලි කළහ.නිබඳවම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වූයේ ලෞකික සැපය අභිබවා යන ලෝකෝත්තර සුවය උදෙසා ය.

හතළිස් පස් වසක් පුරාවටම ලෝසත වෙත අපමණ කරුණාවෙන් ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව වූයේ නොපමාව කුසල් රැස් කරන්න අප්‍රමාදි නොවන්න යනුයි.මුල මැද අග කලණ දහමක් දෙසූ එකම ශාස්තෘවරයා වන, බැවින් ද තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සම වන අනෙකෙකුට සම නොවන හෙයින් ද දෙවි, බඹ, මිනිස් සත්වගට ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං නම් වන සේක.