Print this Article


කල්පය නිමා වූවද කියා නිම කළ නොහැක බුදුගුණ

කල්පය නිමා වූවද කියා නිම කළ නොහැක බුදුගුණ

" බුද්ධෝපි බුද්ධස්ස භණ්‍යෙය වණ්ණං - කප්පංපි චේ අඤ්ඤමභාසමානෝ
ඛීයෙථ කප්පෝ චිරදීඝමන්තරෙ - වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස බුදුවරයන් වහන්සේ නමක් තවත් බුදුවරයන් වහන්සේ නමකගේ ගුණ දේශනා කරනුයේ, කල්පය නිමවනවා මිස බුදුගුණ නිමාවට නො පැමිණේ "

පින්වතුනි,

විතරාගී තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන කිසියම් ධර්ම කථිකයන් වහන්සේ නමක් වේ නම් හෙතෙමේ තුන් ආකාරයකින් බුදුගුණ වර්ණනා කළ යුතු බව අටුවාවේ සඳහන් වේ.

“තිවිධෝ බුද්ධ වණ්ණෝ නාම චරියා වණ්ණෝ, සරීර වණ්ණෝ, ගුණ වණ්ණෝ ති” ඉහත අටුවා උවදෙසට අනුව පළමුව සිද්ධ කළයුත්තේ චරිත වර්ණනාව යි.කල්ප ගණනක් පුරාවට මනෝ කර්ම, වචී කර්ම ආදී වශයෙන් විවරණ ලබා නිත්‍ය වශයෙන් බුදු බව ලැබීමට දීපංකර බුදුරදුන් අභිමුවෙහි නියත විවරණ ලැබූ දා පටන් සමත්‍රිංශත් පාරමිතා පුරණය කිරීමට ඇරඹී ය. අනුක්‍රමයෙන් වෙසතුරු අත් බැව් ලැබ සකල ඓශ්චර්යය දන් දී තුසිත දෙව් ලොව උපන්නේ ය. පංච මහා විලෝකනයෙන් අනතුරුව දෙව් ලොවින් චුත වී මහමායා දේවියගේ කුස පිළිසිඳ මෙලොව ඉපදී සිද්ධාර්ථ යන නාමය ලැබ එකුන් තිස් වැනි වියේ දී මහා අභිනික්මන් කළ සේක. සා ‘අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ඒ උතුම් බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතින් බුද්ධත්වයට පිළිපන් සේක්. පන්සාළිස් වසක් ලෝකාර්ථ චරියාවෙහි නියැළී දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝ වැස්සන්ට අමාදම් දෙසා නිවන් පුර වෙත මග කියාලු සේක. තමන් වහන්සේගේ පශ්චිම දේශනාව වූ ‘හන්දදානි භික්ඛවේ වො වයධම්මා සංඛාරා” යන උතුම් බුදු වදනෙන් ලෝසතුන් අමතා පිරිනිවන් පෑ සේක.

දෙවනුව කළ යුතු බුද්ධ වර්ණනාව නම් ශරීර වර්ණනාව යි. වෑත්තෑවේ හිමියන් එය සිය ගුත්තිල කාව්‍යයේ දී දක්වා ඇත්තේ මෙසේ ය.

“සිය පින් සිරින් ස රු
දෙතිස් ලකුණින් විසිතු රු
කෙලෙසුන් කෙරෙන් දු රු
වඳිමි මුනි උතුමන් තිලෝගු රු”

දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් ද ගැවසී ගත් සොබා සම්පන්න ශරීරයක් ඇති එකම ශාස්තෘන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ය. බුදු සිරුරේ දර්ශන ප්‍රසාදයෙන් ම ශ්‍රාවක භාවයට පැමිණියෝ ද වූ හ. විශාලා මහනුවරට යන මාර්ගයේ ගසක් මුල බුදුරදුන් සමවත් සුවයෙන් වැඩ සිටින අවස්ථාවක දඩයමේ යන ලිච්ඡවි කුමාරවරුන් බුදුන් දැක පැහැද උන්වහන්සේගේ අභිමුවෙහි අභිවාදනයෙන් සිටි බව බණ පොතේ සඳහන් වේ. වක්කලී නම් භික්ෂුව බුදුරදුන්ගේ රූ සපුවෙහි ම ඇලී සිටි බව ද ප්‍රකට කරුණකි. මේ ආදි වූ බොහෝ කතා ප්‍රවෘත්තීන්ගෙන් තථාගත ශරීර වර්ණනාව මනාව වටහා ගත හැක.

ඉහත කී වර්ණනාවන් දෙකට ම වඩා සුවිශේෂී ස්ථානයක් හිමිවනුයේ බුදුගුණ වර්ණනාවට යි. බුදු ගුණ අපරිමිත ය.බුදු කෙනෙකුන්ට පවා නිමකළ හැක්කේ නො වෙයි. ඒ වනාහි පුහුදුන් වූ අපට අචින්ත්‍ය වූවකි. අවිශය වූවකි, බුදුගුණාලංකාරයේ දී පෙර කී අචින්ත්‍ය බව මෙසේ දක්වයි.

“සුවාසු දහස ක්
යොදුන් ගැඹුරැති මුහුද ක්
ගොඩ කෙරුමැයි උද ක්
ලෙහෙනු කළ තැන් වැන්න දවස ක්”

එකී අචින්ත්‍ය වූ අප්‍රමාණික වූ බුදුගුණ සිහිපත් කිරීමේ පහසුව තකා ධජග්ග සුත්‍රයේ දී බුදුරදුන් විසින් ම කොටස් නමයකට බෙදා වෙන්කොට තිබේ. (ඉතිපි සෝ භගවා.....) සකල විධ කෙලෙසුන් දුරු කළ හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද, කෙලෙසුන් මාර්ග ඥානයෙන් දුරු කළ හෙයින් සියලු පූජාවන්ට සුදුසු හෙයින් ද අරහං නම් වන සේක.

චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් හෙයින් ද, චක්ෂුරායතනය දුක්ඛ සත්‍ය වශයෙන් ද ඊට උපකාර වූ තෘෂ්ණාව සමුදය සත්‍ය වශයෙන් ද ඒ දෙකෙහි නො පැවැත් වූ නිරෝධය නිරෝධ සත්‍යය වශයෙන් ද, ඒ නිරෝධ සත්‍යයට යන මාර්ගය මාර්ග සත්‍ය වශයෙන් ද අවබෝධ කරගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ආර්ය මාර්ග සංඛ්‍යාත යහපත් දේශන ඇති හෙයින්ද, යහපත් තැනට ගිය හෙයින් ද, යහපත් තෙපුල් ඇති හෙයින් ද සුගත නම් වන සේක. මේ ලෝකය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් හෙයින්ද, පංචස්කන්ධ නම් වූ ලෝකය ද ආයතන නම් වූ ලෝකය ද සංස්කාර, සත්ත්ව, ආකාස යන ත්‍රිවිධ ලෝකය ද සම්පූර්ණයෙන් අවබෝධ කරගත් හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.

සර්වඥතා ඥානයෙන් උත්තරීතර හෙයින් ද, ගුණයෙන් උත්තරීතර හෙයින් ද යක්ෂ, රාක්ෂ, සිද්ධවිද්‍යාධර තිරස්චීන ආදී සත්ත්වයින් උත්තරීතර අන්දමට දමනය කළ හෙයින් ද අනුත්තර පුරිසධම්මසාරථී නම් වන සේක.

දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයට ශාස්තෘවන හෙයින් ද, මෙලොව පරලොව නිවන යන තුන් අර්ථයෙන් අනුශාසනා කළ හෙයින් ද, ජාති නමැති කාන්තාරයෙන් සත්ත්වයන් එගොඩ කොට නිර්මාණය නමැති ක්ෂේම භූමියට පමුණුවන හෙයින් ද සත්ථාදේවමනුස්සානං වන සේක. මේ ලෝකයේ දත යුතු යන යමක් ඇත්ද, ඒ සියල්ල, දන්නා හෙයින් ද, චීතරාග, වීතදෝස, වීතමෝහ වන හෙයින් ද, චතුරාර්ය සත්‍යය අනුනට අවබෝධ කර වූ හෙයින් ද, බුද්ධ නම් වන සේක.ගුණයෙන් උත්තරීතර හෙයින් ද ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන් සම්පුර්ණයෙන් නැති කර දමන ලද හෙයින් ද, පස්මරුන් දමනය කළ හෙයින් ද භගවා නම් වන සේක.

මෙයින් අන්‍ය වූ සූත්‍රයන්ගෙන් බුදුරදුන්ගේ විවිධවූත්, විචිත්‍රවූත් ගුණයන් දක්නට ලැබේ. නිදසුනක් ලෙස දික් සඟියේ මහාගෝවින් සූත්‍රයේ මනාව අන්තර්ගත වේ. තථාගතයන් වහන්සේගේ තවත් ප්‍රකට ගුණ කිහිපයක් ලෙස තාදී ගුණය, මහාකාරුණික ගුණය හා උන්වහන්සේ තුළ පැවැති නිහතමානී ගුණය සඳහන් කිරීමට පිළිවන.

“ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච
නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං...’

යනුවෙන් දක්වා ඇති පරිදි ලාභ, අලාභ, අයස, යසස, නින්දා, පසංසා, සැප දුක යන අවස්ථාවන්හි කිසි ලෙසකින්වත් කම්පා නොවී කටයුතු කිරීම තාදී ගුණය යි. තථාගතයන් වහන්සේගේ උතුම් දිවිය තුළින් එය මනාව පසක් කරගත හැක. උපතේ සිට මරණය තෙක් ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ සලකන විට අටලෝ දහමේ සුඛ පක්ෂයට පමණක් භාජනය වූවන් මෙන්ම, අසුබ පක්ෂයට පමණක් භාජනය වුවන් ද සමාජයේ නො මැති බව පැහැදිලි ය. අටලෝ දහම අනුව නින්දා, අපහාස, අවනම්බු නො ලැබුවෙකු ලොව නැත. බුදුරදුන්ට ද එය එසේම විය. එම අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ගුණාංගයක් වන්නේ ඉවසීමේ ගුණයයි. චිංචිමානවිකාවගේ පුවතින් එය මනාව අවබෝධ වේ.

තථාගතයන් වහන්සේගේ නිහතමානී ගුණය විමසීමේ දී ඊට අවැසි බොහෝමයක් නිදසුන් ස්වකීය දිවියෙන් උන්වහන්සේ ප්‍රකට කළ සේක. සැමවිට ම අන්‍යයන්ට සවන්දීමෙන්, අන්‍යමත ඉවසීමෙන්, තමන් වහන්සේ බුද්ධයැයි යන මානයෙන් උදම් නො වීමෙන් නිහතමානී ගුණය මැනවින් ප්‍රකට කළ සේක.

වධකේ දේවදත්තම්හි
චෝරේ අංගුලිමාලකේ
ධනපාලේ රාහුලේ චේව
සබ්බත්ථ සමානසෝ

එදා බුදුරදුන් දේවදත්ත හිමියන්ට ද අංගුලිමාලට ද, ධනපාල ඇතාට ද සිය පුත් රාහුලට ද සම සිතින් මහා කරුණාවෙන් දිනපතා හිමිදිරි පාන්දර යහමග දෙසූ සේක. මහාකරුණා සමාපත්තියට සමවැදී තමන් වහන්සේ පිහිට විය යුත්තේ කවරෙකුට ද යන්න විමසා බැලීමෙන්ම තථාගත මහාකරුණාව අවබෝධ කර ගත හැක.

මෙසේ වූ උතුම් බුදුගුණ නිරන්තරයෙන් මෙනෙහි කරන සැදැහැවත් ශ්‍රාවකයාගේ සිත සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්තයට පත්වීමෙන් හිත ප්‍රමුදිතභාවයට පත් වේ. හෘදය වස්තු නිවීමට පැමිණේ. හෘදයවස්තුව නිවීම නිසා ලේ ධාතුව සිහිල් වේ. ලේ ධාතුව නිවීමෙන් ශරීරය නිවේ. නිවුනා වු ගත සිත ඇත්තා නිවැරැදි සමාධියක පිහිටන බව බුදුරදුන් විසින් ම වත්ථුපම සූත්‍රයේ දී දක්වා තිබේ.

මෙසේ වූ බුදුගුණ නිරන්තරයෙන් සිහි කිරීම හෙවත් බුද්ධානුස්සතිය වැඩීමෙන් බියක් තැති ගැනීමක් හෝ ලොමු දැහැ ගැනීමක් ඇති නො වන බව බුද්ධ දේශනාව යි. එහෙයින් මේ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයේ දී ඒ උතුම් බුදු ගුණයන් හැකි සෑම විට ම භාවනාවක් ලෙස වැඩීමට අපි සැවොම අධිෂ්ඨාන කර ගනිමු.