Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක, අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.

****

වෙසක් පැතුම

ලුම්බිනි සල් වනය සුපිපුන උයනක් ය
තුන්ලොව එකලු කල මනහර දිනයක් ය
මායා බිසව බුදු මව් පදවිය ලැබී ය
බෝසත් කුමරු දිනූ වෙසඟේ පෝදා ය

අබිනික්මනින් සසරේ කම් කටොලු දිනා
දුක සැප හැඳින මැද පිළිවෙත පසක් වුනා
බවුන් වඩා බෝ රුක් මුල මරුන් දිනා
වෙසඟේ එදා සම්බුදු මඟුලෙන් දිලුනා

පන්සාළිස් වසක් ලෝ සත සනසා ලූ
නිවන්මග පසක් කර දහමින් නියැ ලූ
දෙව් බඹ මිනිස් පිරිවර සැම හඹවා ලූ
බුදු පිරිනිවි වෙසඟේ නිවි පහන් සිලූ

****

වෙසක් පෝය

බෝසත් හිමි බුදු වුණේ
බොදු උත්සව ඔපවුණේ
සත්‍ය අපට වැටහු ණේ
වෙසක් මහේ පෝ දිනේ

****

පින්බර වෙසක්

එදා සුමේධ තාපසතුමා රහත් බව ලබා නිවන් මගට නොයා සසරේ ගමන් කරමින් බුදු බව පතා පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී, සම්පූර්ණ කොට මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ උතුම් වෙසක් පෝදා ලුම්බිනි සල් උයනේ දී උපත ලැබුවා. බෝසතාණන් සාරසංඛ්‍යෙකල්ප ලක්ෂයක් පාරමී දම් පුරා බුදු බව ලැබ අවබෝධකර ගත් ඒ ශ්‍රී සද්ධර්මය දෙසුවේ අපටමයි. උන්වහන්සේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ අප වෙනුවෙන් ම යි. දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස අසූහාර දහසක් ධර්මස්කන්ධය දේශනා කොට උන්වහන්සේ අවසන මල්ල රජු දරුවන්ගේ උපවර්තන සල් උයනේ දී පිරිනිවනට වැඩියා.

****

කරමු පින් දහම්

සවන පිනවන දම් දෙසුම්
සුවඳ හමනා සැම කුසුම්
සිතට ගලනා මෙත් පැතුම්
කරන්නට යමු පින් දහම්

****

අසිරිමත් වෙසඟ

ශාක්‍ය වංශයෙන් උපත ලද සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්ම ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම වෙසඟේ ප්‍රධානතම සිද්ධියකි. එසේම වෙසක් පෝ දිනක ඉපදීම මෙන්ම පිරිනිවන් පෑම ද සුවිශේෂ වේ. ස ෑම වසරකම මැයි මාසයේ මෙම උළෙල ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සැදැහැසිතින් සමරනු ලබයි. ජීවිතයේ අනියත බව ද, සංසාර ගමනේ නිමක් නොමැති බවද අප සැමට බුදුරජාණන් වහන්සේ සරලව පහදා දී ඇත. ආලෝකය මගින් ඝන අන්ධකාරය දුරලන සේ සංසාර ගමන ගැන සිතා කයින් වචනයෙන් සිතින් සිදුවන පවින් බැහැර විය යුතු ය.

****

වෙසක් සඳ

වෙසක් සඳේ සද කිරණින් එළිය විහිදුණා
පින්බර වෙසඟේ සිදුහත්කුමරු ඉපදුණා
දෙරණ මතේ වෙසක් සිරිය දසත පැතිරුණා
සැම දෙනාගේ සිත් මෙත් කරුණාව පැතිරුණා

ගෞතම බුදු සමිදාණන් නිතර සිහි කරන්
අකාලිකය ඒ දම් ගොස වඳිමු හද බැතින්
දසත විහිදුණා බුදු කරුණා අමා සුවෙන්
සරණ ලැබ ගනිමු අප මෙත් සිත පෙරටු කරන්

****

වෙසක් ආසිරි

තිලොවක් මුදවනු වස් සසර දුකින්
බෝසත් සිදුහත් උපන්නේ දෙව් ආරාධනයෙන්
කර මහ සිහනද සත් පියුම් මතින්
මිහිකත කම්පිත කළේ බුදුකුරු බලයෙන්

****

තෙමගුල

ලොව ඉමහත් ලෙස සතුටු කරමින් බ්‍රහ්ම, දේව, මනුස්ස යන තුන් ලොවට සෙත සලසා දෙනු පිණිස ඒ මහා බෝසතුන්ගේ ඉපදීම ලුම්බිනි සල් උයනේ උතුම් වෙසක් පෝය දිනේදී සිදු විය. ලෝ සත වෙත යහපත සලසනු පිණිස රම්‍ය, සුරම්‍ය , සුබ යන මාළිගාවන් ද, සියලු රාජ්‍ය සැප ද, යශෝධරා දේවිය හා රාහුල කුමාරයා අත්හැර සංසාර චක්‍රයේ ඇති සියලු කෙලෙසුන් දුරුකොට බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත්වුණු සේක. වෙසක් සඳ කිරණේ ඇසතු බෝ රුක මූල. තුන්ලොව දිනූ තිලෝගුරු බුදු සමිඳුන් සියලු ලෝ සතුන් කම්පනයට පත් කරමින් මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ දී මහා පරිනිර්වාණයට පත් වූ සේක. එදින සිහිකරමින් අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමු. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුහිමි පුදමු.