Print this Article


සම්බුදු සිරිතෙන් නිරූපිත මනුෂ්‍ය ජීවිතය

සම්බුදු සිරිතෙන් නිරූපිත මනුෂ්‍ය ජීවිතය

යම් සේ දිරූ කරත්තයක් කරත්ත රෝද ආදිය අලුත්වැඩියා කිරීමෙන් පවතින්නේ ද එසේම තථාගතයන් වහන්සේගේ රහත්ඵල සමාපත්තිය නමැති පිළිසකරින් ජීවිතය පවත්වා ගෙන යන්නෙමි. මෙහිදී බුදුන් වහන්සේ වියපත් වීමෙන් තම සිරුර පත් වී ඇති ඉරණම දිරූ කරත්තයකට උපමා කරමින් පැහැදිලි කර ඇත. දිරූ කරත්තයක් අපහසුතාවෙන් පාරේ ගමන් කරන ආකාරයත්, එහිදී කරත්තයෙන් නැඟෙන ‘චිරි චිරි’ යන ශබ්දයත් මහලු සිරුරක ස්වභාවය ගනියි.

බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික හා බාහිර ලක්ෂණ හැඳින්වීම සඳහා විවිධ ගුණාත්මක යෙදුම් සමුදායක් ත්‍රිපිටක සාහිත්‍ය තුළ ඇතුළත් වී ඇත. එකී ගුණවාචක පද අතර නව අරහාදී බුදුගුණ ප්‍රධානත්වයක් ගනියි. බුදුන් වහන්සේගේ චරිතයෙන් නිරූපණය වන බුදුගුණ අනන්ත ය.

එකී බුදුගුණ සාමාන්‍ය ජනයාට තබා රහතන් වහන්සේලාට ද විෂයය නොවේ. රහතන් වහන්සේලා විසින් දැනගත නොහැකි බුදුගුණ සමුදායක් ඇත. එම ගුණාංග සියල්ලක්ම බුදුන් වහන්සේ තුළ පිහිටි අධ්‍යාත්මික ශක්තිය, කුසලතාවයන් හා හැකියාවන් නිරූපණය කිරීම සඳහා යෙදී ඇත. බුදුන් වහන්සේ නමකගේ එකී බුදුගුණ ඇසෙන විට උන්වහන්සේ අතිමානුෂීය ලක්ෂණ පෙන්නුම් කරන චරිතයක් බව කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් බුදු සිරිත තුළින් ප්‍රකට වන මානුෂීය ලක්ෂණ ඇසුරෙන් බුදුන් වහන්සේ හඳුනාගැනීම අද වැනි වෙසක් පොහෝ දිනයක අතිශයින් ම වැදගත් වේ.

බුදුන් වහන්සේගේ දේහය තුළ ඇති කායික ලක්ෂණ අන්‍යයන්ගේ සිත් ඇදගන්නා වූ ශක්තියකින් යුක්ත වේ. එයට දැක්විය හැකි නිදසුන වන්නේ වක්කලී, බ්‍රාහ්මණයාගේ කතා පුවතයි. පිඬු සිඟා වඩින බුදුන් වහන්සේගේ සිරුර දුටු වක්කලී, උන්වහන්සේගේ රූ සිරිබල බලා සිටීමේ තද ආශාවකින් පසුවිය. එහිදී ඔහු පැවිදි වී උන්වහන්සේගේ රූපශ්‍රීයට වසී වී කල් ගෙවු අතර අවසානයේ දී බුදුන් වහන්සේගේ මග පෙන්වීමෙන් යහමගට යොමු විය. මෙසේ සෙසු අයගේ සිත් ඇදලනු ලබන රූසිරි ඇති බුද්ධ දේහයේ මහාපුරුෂ ලක්ෂණ තිස්දෙකක් ඇති බව ලක්ඛණ සූත්‍රයෙහි සඳහන් වේ. මෙසේ මහාපුරුෂ කායික ලක්ෂණ බුදුසිරුරෙන් නිරූපණය වුවත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක ලක්ෂණ වියැකී ගියේ නැත. එබැවින් මෙම කෙටි ලිපියෙන් බුදුන් වහන්සේ ගත කළ සාමාන්‍ය මිනිස් ජීවිතයේ ලක්ෂණ කිහිපයක් විමසා බලමු.

බුදුන් වහන්සේගේ ජීවිතයේ අවසාන සමය ගත කළ ආකාරය පිළිබඳව මහාපරිනිබ්බාන සූත්‍රයෙහි කරුණු ඇතුළත් වේ. බුදුන් වහන්සේ වයස්ගත වන විට තරුණ විය ද ආරෝහ පරිණාහ දේහය ද ක්‍රමයෙන් මැකී ගියේ ය. නිරෝගී බව පහව ගොස් විවිධ රෝගාබාධයන්ට ගොදුරු විය. බුදුන් වහන්සේ නිරතුරුව චාරිකාවේ සැරි සරමින් ගත කළ අවිවේකී දිවිය නිසා ගත වෙහෙසට පත්විය. උන්වහන්සේ සිය කායික දුර්වලතා නොසඟවා සමාජය හමුවේ පෙන්නුම් කරන්නට වූයේ ස්වකීය දේශනාවන්හි ඇතුළත් වූ වියපත් භාවයෙහි ලක්ෂණ සනාථ කිරීමටයි. නමුත් බුදුන් වහන්සේ අවසාන මොහොත දක්වාම අන්‍යයන්ගේ දහම් ඇස පුබුදුවාලීමට චිත්ත ධෛර්යයෙන් යුතුව දිවා රෑ දෙක්හි කටයුතු කළහ.

බුදුන් වහන්සේ කොන්දේ කැක්කුමකින් පීඩා වින්ද බව පෙළෙහි දැක්වේ. මෙය වයස්ගත වන විට වියපත් සිරුරෙහි ඇතිවන වේදනාවකි. මේ නිසා වැඩි කාලයක් එක ඉරියව්වකින් සිටීමට නොහැකි වූ අතර එය ධ්‍යාන බලයෙන් යටපත් නොකර සාමාන්‍ය තත්ත්වයට මුහුණ දෙමින් වැඩ සිටියහ. බුදුන් වහන්සේ බේළුව ගමෙහි වස් වසන සමයෙහි බලවත් සේ රෝගාතුර වූහ. එහෙත් උන්වහන්සේ රෝගය මැඩ ගෙන කටයුතු කළහ. රෝගය සුව වීමෙන් පසු බුදුන් වහන්සේ විහාර සෙවනෙහි පැන වූ අසුනක වැඩ වසන විට උන්වහන්සේගේ රෝගාබාධය නිසා ආනන්ද තෙරුන් වහන්සේ පත් වූ අපහසුතාව පැහැදිලි කළහ. අනතුරුව බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින් අමතා මෙසේ වදාළහ.

මම දැන් ජීර්ණ වූයෙමි. වෘද්ධ වූයෙමි. මහලු වූයෙමි. දීර්ඝ කාලයක් ඉක්මවූයෙමි. පැසුණු වියට පැමිණියෙමි. මට වයස දැන් අසූවක් වෙයි. යම් සේ දිරූ කරත්තයක් කරත්ත රෝද ආදිය අලුත්වැඩියා කිරීමෙන් පවතින්නේ ද එසේම තථාගතයන් වහන්සේගේ රහත්ඵල සමාපත්තිය නමැති පිළිසකරින් ජීවිතය පවත්වා ගෙන යන්නෙමි. මෙහිදී බුදුන් වහන්සේ වියපත් වීමෙන් තම සිරුර පත් වී ඇති ඉරණම දිරූ කරත්තයකට උපමා කරමින් පැහැදිලි කර ඇත. දිරූ කරත්තයක් අපහසුතාවෙන් පාරේ ගමන් කරන ආකාරයත්, එහිදී කරත්තයෙන් නැඟෙන ‘චිරි චිරි’ යන ශබ්දයත් මහලු සිරුරක ස්වභාවය ගනියි. වියපත් වූ සිරුර ද මහත් අපහසුතාවයන් ඉරියව් පවත්වයි. එසේම අත්පා හන්දිවලින් ශබ්ද නැඟෙයි. මෙම ස්වභාවික කායික ලක්ෂණ මැඩගෙන සිටීමට හැකියාව තිබුණත් , බුදුන් වහන්සේ ඒ ආකාරයෙන් කාලය ගෙවූහ.

මෙබඳු අවස්ථාවක් සංයුත්ත නිකායෙහි බ්‍රාහ්මණ සංයුත්තයෙහි දැක්වේ. භාග්‍යවතුන් වහන්සේට වාතයෙන් හටගන්නා ආබාධයක් ඇති විය. එහිදී උන්වහන්සේගේ උපස්ථායකයා වූ ආයුෂ්්මත් උපවාන තෙරුන් වහන්සේ අමතා ‘මට උණු දිය ලැබෙන ක්‍රමයක් දන්නෙහිදැයි’ විමසූහ. ඉන්පසු දේවහිත බමුණා උණුදිය කඳක් පුරුෂයෙකු ලවා ගෙන්වා ප්‍රණීත වූ සකුරු පිඬක් ද බුදුන් වහන්සේට පිළිගැන්වී ය. බුදුන් වහන්සේ උණු දියෙන් නහවා සකුරු පිඩක් ද උණු දියෙහි දිය කර පිදුවේ ය. ඉන්පසු බුදුන් වහන්සේගේ ආබාධය සුවපත් වී සන්සිඳුණේ ය. මෙම කතා පුවතින් ද පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු මෙන් ක්‍රියා කරමින් ලෝකයාට මිනිස් ජීවිතයක යථාර්ථය ප්‍රකට කළ ආකාරයයි.

අවසානයේ දී බුදුන් වහන්සේ චුන්දකර්මාර පුත්‍රයාගේ දානය වැළඳීමෙන් පසු රෝගාතුර වීමේ සිදුවීමක් පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වේ. බුදුන් වහන්සේ විශාලාවෙහි සැරිසැරීමෙන් අනතුරුව පාවා නගරයට වැඩියහ. පසුව චුන්ද කර්මාරපුත්‍රයාගේ අඹවනයෙහි වැඩ සිටියහ. ඔහු බුදුන් වහන්සේගේ වැඩම වීම අසා උන්වහන්සේගෙන් ධර්මය අසා පැහැදී පසුදින දානයට ශ්‍රාවකයින් වහන්සේලා සමඟ වඩින ලෙස ආරාධනා කර පිටත්ව ගියේ ය. චුන්ද කර්මාරපුත්‍රයා පිළියෙළ කළ සූකර මද්දවය නම් භෝජනය වැළඳීමෙන් පසු බුදුන් වහන්සේට ලේ අතීසාරය වැළඳුණේ ය. රෝගාබාධව සිටි උන්වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ සමග කුසිනාරා නුවරට වැඩියහ. අතරමගදී ක්ලාන්ත වීමෙන් පසු පිපාසිත වීමෙන් වතුර ගෙනවිත් දෙන මෙන් ඉල්ලූහ. ඒ අසලින් ගලා ගිය නදියෙහි ජලය කරත්ත ගමන් කිරීමෙන් බොර වී තිබූ හෙයින් ඒ අසල කුකුත්ථා නදියෙන් පිරිසුදු ජලය ගෙන ඒමට උත්සාහ කළත් බුදුන් වහන්සේගේ රෝගය උත්සන්න වීමෙන් පසු ද බුදුන් වහන්සේ තෙවරක් ම ජලය ඉල්ලූ නිසාත් බොර ජලය ගෙන ඒමට පිවිසි විට එහි ජලය ප්‍රසන්න වූයෙන් පිරිසුදු ජලය ගෙනවිත් බුදුන් වහන්සේට වැළඳවූහ. මෙකී අවස්ථාව ද රෝගාතුර වූ පුද්ගලයෙකු මුහුණ දෙන අවස්ථාවක් ද වේ. මෙවැනි අවස්ථාවක වුව ද බුදුන් වහන්සේ කටයුතු කළේ යථාර්ථවාදීව ය.

බුදුන් වහන්සේගේ සාමාන්‍ය ජීවිතයට අනුකූලව කටයුතු කළ අවස්ථාවන් කිහිපයක් මෙසේ උපුටා දැක්වීමෙන් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ උන්වහන්සේ තුළ ධ්‍යාන හා සමාපත්ති ආදී මානසික ශක්තීන් සමුදායක් ක්‍රියාත්මක වුවත් සිය කායික සිරුරෙහි ස්වභාවය ලොවට හෙළි කරමින් මිනිස් ජීවිතයක යථාර්ථය වටහා ගැනීමට අවස්ථාව සැලසූහ. එපමණක් නොව අවසානයෙහි අන්‍යයන්ගේ ජීවිත සුවපත් කර ගැනීමට මෙන්ම නිර්වාණගාමී මාර්ගය පහසු කරවීමට අවවාදයක් ද ලබා දුන්හ.

‘අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා’

මෙයින් පැහැදිලි කර වදාළේ තමා පහනක් කොට වාසය කරන්න. තමන්ට තමා මිසක් වෙන සරණක් නැත. ධර්මය පහනක් කර වසන්න. ධර්මය මිස වෙන සරණක් නැත යන්නයි.