Print this Article


වසර 2326ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 266ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වසර 2326ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 266ක් සපිරුණු මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථානය වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වන උපසම්පදා මහා පුණ්‍යොත්සවය 266 වන වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී 2019 වෙසක් පුර පසළොස්වක් පොහෝදින පටන් ගෙන පොසොන් පුර පසළොස්වක් පොහෝදින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මඟින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිව ය.

බුදුරදුන් පිරිනිවී වසර 218 කට පසු ධර්මාශෝක මහරජතුමා භාරතයේ අධිරාජයා බවට පත්වූයේ, නීග්‍රෝධ කුඩා රහතන් වහන්සේ මුල්කොට බෞද්ධයෙකු බවට පත් වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා ලබමින් අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකොට රටවල් නවයකට දූතයන් යවමින් සම්බුද්ධ ශාසනය පිහිටුවීමට කටයුතු සැලැස්වී ය.

ධර්මාශෝක මහරජතුමන්ගේ පුතණුවන් වන මිහිඳු කුමාරයා පැවිදි වී උපසම්පදාවට පත්ව වස් 12ක් සම්පූර්ණ වූයේ රජතුමා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ද උපදෙස් ලබා ලක්දිව සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා බු.ව. 237 දී මිහිඳු මාහිමියන් සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට වැඩම වූහ.

දේවානම්පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත්ව සැදැහැවතුන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහාවිහාර සීමාව තුළ ග්‍රාම සීමාවක් සම්මත කොට සුමන සාමණේරයන්ට පළමුකොට උපසම්පදාවත්, භණ්ඩුක උපාසකට පැවිදි උපසම්පදා දෙකම ලබා දී අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨ කුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවී ය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාව යි. සීලයෙහි උපරිම සීල යැයි කියන ලද අධිසීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව බුද්ධත්වය සමගම බෝධිමූලයේ සිදු වූයේ යැයි මිලින්ද ප්‍රශ්නයේ දැක්වේ. මෙහි උපසම්පදා සීලය වශයෙන් සැලකෙන සීලය නම් චතුපාරිශුද්ධි සීලයයි. නවදහස් එකසිය අසූකෙළ පන්ලක්ෂ තිස් හයක් ශික්ෂායෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පළමුවැනි වෙයි. ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය යන සීල හතර අධි සීල වෙයි. පංච සීලය, අටසීලය, ආජීව අට්ඨමක සීලය, සාමණේර සීීල යන හැමටම වඩා මේ චතුර්විධ සීලය අධිසීලයයි. මෙම අධි සීලය ලැබීම උපසම්පදා සීලයයි. දම්සක් පැවැතුම් සූත්‍රය අසා පළමුවරට සෝවාන් වූ කොණ්ඩඤ්ඤ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලැබීමට කැමති බව කියා සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ මහණ මෙහි එව. මනා කොට දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙව යන්නයි. එම වාක්‍යය අවසාන වත්ම හෙතෙම සෘද්ධිමය පාත්‍ර සිවුරු දරා පැවිද්ද හා උපසම්පදාව ලබයි. බුදුරදුන් බුදු වූ මුල් කාලයෙහි බොහෝ දෙන මහණකම හා උපසම්පදාව ලබා ඇත්තේ මේ ආකාරයෙනි. එතැන්පටන් උපසම්පදා වන ක්‍රම අටක් මුල්කොට උපසම්පදාව ලබා ඇති අතර, අට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව, රාධ බ්‍රාහ්මණයා මුල්කොට උපසම්පදා කිරීම අනුදැන වදාළෙන් පසුව එතැන් සිට සරණාගමන ආදී උපසම්පදා ප්‍රතික්ෂේප කොට ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාව නියම කිරීමෙන් පසු අද දක්වාම පවත්නේ එම ඤත්තිචතුත්ථ කම්ම උපසම්පදාවයි. සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමගම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරවමින් වැඩිදියුණු කිරීමට පටන් ගති.

විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්ෂූන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහලු විජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදී. මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමගි කරවා කතිකාවතක් ද ඇති කොට දහස් ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය. කාලිංගමාඝ චන්‍ද්‍රභානු ආක්‍රමණ නිසා අනුරාධපුර පොළොන්නරුව ඇතුළු මුළු උතුරුකරයම විනාශ වීම හේතු කොටගෙන රජවරු සහිත මහජනතාව කුරුණෑගල දඹදෙණියට පැනගියහ. ලක්‍ෂ සංඛ්‍යාත මහජනතාව හා භික්‍ෂූන් වහන්සේ විනාශ වූ අතර, වම් දළදා වහන්සේ හා පාත්‍රාධාතූන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා කොත්මලේ පුසුල්පිටිය විහාර ආසන්නයේ සපුගසක බෙනයක සඟවා බුරුමරටට පැනගොස් ජීවිත බේරාගත්හ. එම කාලයේදීම මෝගල්වරුන් නිසා මුළු භාරතයේ ම සම්බුද්ධ ශාසනය විනාශයට පත්විය. නැවත භාරත දේශයේ සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කිරීමට හැකිවූයේ ශ්‍රී ලංකාද්වීපයේ සිට අනගාරික ධර්මපාල තුමා භාරතදේශයට ගොස් බුද්ධගයා විහාරය, ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරය ඇතුළු විහාරයන් ජීවිත පරිත්‍යාගයෙන් බේරාගනිමින් මල්වතු විහාරය මුල්කොට පැවිදි උපසම්පදා ලබාගෙන නැවතත් දඹදිව සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කරන ලදි.

එනමුත් ලක්දිව අඛණ්ඩව සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යාමට එවක වැඩ විසූ මහා සංඝ රත්නය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරමින් සිංහල රජවරුන්ගේ අනුග්‍රහය ලබාගෙන කටයුතු කළ නිසාම උන්වහන්සේලා සහ සම්බන්ධ කරගෙන දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්මයක් ද කරවීය. යාපහුනුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද කුරුණෑගල දෙවන බුවනෙකබා රජතුමා ද උපසම්පදා විනයකර්මයන් කරවූ බවත්, ගම්පල රාජ්‍ය කරවූ තෙවන විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මයක් ද ගම්පොල වීරබාහු රජතුමා සිව් වැනි ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී වීදාගම මෛත්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල ආදී භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ දී ද සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් පාත්‍ර ධාතුන් වහන්සේ නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝයගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ධර්මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළහ. ඉන් අනතුරුව පීතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත් සම්බුද්ධ ශාසනයත් වනසමින් ධර්ම පොත්පත් සියල්ලම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළ අතර, උපසම්පදා භික්ෂූන් වහන්සේද සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළ බව සඳහන් වේ.

රාජ්‍ය වර්ෂ 1592 දී පළමුවන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත් වූ අතර, රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වීය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කරගනිමින් නැවතත් දෙවන විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් මහල් සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ. ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථසංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය.

අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙනඒම සඳහා කෝට්ටේ යුගයේදී ලංකාවෙන් ගෙන ගිය උපසම්පදාව සියම් දේශයේ සුරක්ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට යවන ලද දූත පිරිස සියමෙට පැමිණ අයෝධ්‍යා පුරයෙහි පරමධාර්මික රජතුමාට පඬුරු සන්නස් සහිතව පුද කළ මොහොතේ කරුණු විචාළ රජතෙම අපමණ සතුටට පත්ව සංඝරාජ මාහිමියන් සමග සාකච්ඡා කරනුයේ ලංකා ශාසනාභිවෘද්ධි වර්ධනයම ප්‍රාර්ථනය කරමින් ධර්ම විනයානුකූලව ශාසන කෘත්‍යය සාධන සාමාර්ථය, අප්‍රමාණ ධෘති, ස්මෘති, වීර්ය සම්පන්න ප්‍රවර උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන වූ විනය කර්මාදියෙහි අති දක්ෂ දහ අටනමක් උපසම්පදා භික්ෂූන්වහන්සේ සහ හත්නමක් සාමණේරයන් වහන්සේලා ද ඇමතිවරු තිදෙනෙක් සමග ස්වර්ණමය, බුද්ධරූපයක් ද රන් පත්ඉරුවල ලියන ලද කර්මවාක්‍ය පොත ද, ප්‍රාතිමෝක්ෂය ද ලක්දිව අවිද්‍යාමාන ධර්මප්‍රකරණද ශ්‍රී පාදස්ථානය ආදි ස්ථාන සඳහා පුදපඬුරුද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාට පඬුරු සහිත සන්දේශයක් රාජ්‍ය වර්ෂ 1753 දී සියම් නැවකින් සියම් පිරිස හා විල්බාගෙදර රාළ ත්‍රිකුණාමලයටද සෙසු පිරිස ඕලන්ද නැවෙන් කොළඹට ද එවීය.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත්ව පළමුව මහපෙරහරක් පෙරමගට යවා ගොඩපල දී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි භික්ෂූන් හා මැති ඇමැතිවරු උන්වහන්සේලා පිළිගෙන එහි නැවතී උපසම්පදා විනයකර්මය සඳහා අදාළ පෙරපුහුණූ කටයුතු සිදු කෙරිණි.

ඉන් පසුව ඒ ගොඩපොල නුවරින් ඒ උන්නාන්සේලා වැඩමවාගෙන ඇවිත් අලූත් ගංතොටින් මෙගොඩ වන අවස්ථාවට මහත් වූ රාජානුභාවයෙන් ඇමති සේනා පිරිවරා ඒ අලූත්ගංතොට කරනලද පරණ ශාලාවට කීර්ති ශ්‍රී රාජසිංහ මහා රාජෝත්තමයාණෝ වැඩමවා සක්විති රුවණක් සම්භ වුනාක් මෙන් හේ සඟරුවන් කෙරෙහි මහත් වු ගෞරව උපදවා දැක වැඳ සුවදුක් විචාරීමෙන් පිළිසඳර කථාකොට නිමවා අපමණ රාජෝත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාධි වූ උපසම්පන්න සෑමදෙනා වහන්සේලාම යානාවලින්ම මල්වත්තේ විහාරයට වැඩමවාගෙන ඇවිත් ලැගුම්ගෙවල් පිළිගන්වා වදාළාය”යනුවෙන් සංඝරාජ සාධූ චරියාවෙහි හා ස්‍යාමෝපසම්පදා වතෙහි සඳහන් පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත් වූයේ තමාගේ මල්වත්ත භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරමින් භික්ෂූන් වහන්සේ උදෙසා ලැගුම්ගෙවල් ද සාදවා උන්වහන්සේලාට මල්වතු විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වී ය.

රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර පුන්පොහෝදා මල්වත්තෙහි පිහිටුවා තිබූ රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන විංශත් වර්ගික භික්ෂූන් වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමති මණ්ඩලය සහිත සැදැහැවතුන් මධ්‍යයේ පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොට ද ඒ සමගම වැලිවිට, හුලංගමුවේ ,බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේලා පස් නම හා අස්ගිරි විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ සාමණේරයන්ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරලීමෙන් නැවතත් සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවීම නිසාම ශ්‍රී ලංකා ධරණිතලයම අපමණ සතුටට පත් වීම මල්වතු මහා විහාරය මුල්කොට සිදු වූ බව මෙහිදී අපමණ සතුටින් සිහිපත් කළ යුතු ය.

උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ හෙයින් එදා මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන පොහොය සීමාවක් සම්මත කළාක් මෙන් ම, උපාලි මාහිමියන් ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සම්මත කරන ලද මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයෙහි අද දක්වාම වසර 266ක් මුළුල්ලෙහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්ෂූන්වහන්සේගේ උපසම්පදාව සිදු කරලමින් භික්ෂූන්වහන්සේ සහිත රාජරාජ මහාමාත්‍යාදි සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට පාත්‍රව පවතී. මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සම්බුද්ධ ශාසනයේ ද ආරක්ෂාවයි.