Print this Article


සතිපට්ඨාන භාවනාව 53: ඵස්ස චක්කය - අනියතය නියතය

ඵස්ස චක්කය -

අනියතය නියතය

සතිපට්ඨාන සූත්‍රය අලළා පාඩම් රාශියක් සඳහන් කළා. විශේෂයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳ ලොකු අවබෝධයක් ඇති කරගන්නට කාටත් පුළුවන්. දුක කාටත් දැනෙනවා, තේරෙනවා, අවබෝධයට පහසු යි.

මනු ලොව උපන් අයට සමහර විට දුක නොතේරෙන්න පුළුවන්. නමුත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම, හිතට ගතට දැනෙන දුක් රාශියක්. සතර අපායේ සත්ත්වයෝ විඳින දුක සීමාවක් නැහැ. අතපය කපා දමනවා, ලෝ දිය පොවනවා, උල තියනවා, වෑයෙන් අහිනවා, ගින්නෙන් පුළුස්සනවා, මෙලෙස දිය යුතු දෙතිස් වධයම තමා කර ගනු ලබන පවට අනුකූලව විපාක ලැබෙනවා. නිරයට පමණක් අපාය එකසිය තිස්හයක් වෙයි. ප්‍රේත ලෝක, අසුර අපාය , තිරිසන් ලෝකය ආදියෙහි සිටින සත්ත්ව සංඛ්‍යාව ගණනය කරන්න බැහැ. සම්බුද්ධ ශාසනයක පමණයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. අනෙක් කාලයේ දුක් ම රැස් කරයි. සසරම දික් වෙයි. තණ්හා, තරහව වැඩි වෙයි. බුදු දහමෙන් කරන්නේ දුක අවබෝධ කර ගන්නට උපදෙස් මාලාවක් ලබා දෙන එක යි. සතිපට්ඨාන සූත්‍ර පාඩම් පෙළෙහි භාවනා ක්‍රම පිළිබඳ හොඳ වැටහීමක් ලැබුණා.

මේවා කොයි කවුරුත් හොඳින් දැන , දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමටත් , සමුදය හෙවත් තණ්හාව දුරු කරගන්නටත් , නිර්වාණය සාක්ෂාත් කරගන්නටත් කටයුතු කළ යුතු යි. නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා නිවන් මඟ ගමන් කළ යුතු යි. ඒ නිසා සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අටක් පහදා දී තිබෙන්නේ. ඒ නිවැරැදි මඟ ගමන් ගන්නා සැමටම පහසුවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. එයටයි, ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරන්නේ. ත්‍රිවිධ ශික්ෂාව හොඳින් දියුණු කරන්නේ. එසේම බොජ්ඣංග ධර්ම ටික සිතේ පහළ කරගත යුතු යි. ධම්මවිචය, සති, වීර්යය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග හත හොඳින් දියුණු කළ යුතු යි. එවිට යි ලොවුතුරා තත්ත්වයට පත් වන්නේ. තණ්හාව, තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව වැඩිනම් කොයිම දවසකවත් දුක අවබෝධ කරගන්න, ලොවුතුරා තත්ත්වයට පත් වන්න බැහැ.

එහෙමනම් තවත් කොටසක් වන්නේ ඵස්ස චක්ඛය යි. එනම් ස්පර්ශ හයයි. එය ද දුකක් සේ මෙනෙහි කළ යුතු යි. ඇස නිසා මේ කියනු ලබන තණ්හාව හට ගනියි. එසේම කන, නාසිකාව, දිව, කය, සිරුර , මනස ආදී වශයෙන් ස්පර්ශය ලබන ස්ථාන හයක් වෙයි. එය ද අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එවිට දුක අවබෝධ කළ හැකි යි. චක්ඛු සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි. සෝත සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ඝාන සම්ඵස්සය (නාසිකාවට ස්පර්ශයක් ලැබීම) මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝාන සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ජිව්හා සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මනෝ සම්ඵස්සය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මනෝ සම්ඵස්සය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

මෙහි දී සම්ඵස්සය යනුවෙන් සඳහන් කළේ ස්පර්ශය යි. චක්ඛු ඵස්සෝ යනුවෙන් පැවසුවොත් අපහසු බැවින් චක්ඛු සම්ඵස්සෝ යනුවෙන් හඳුන්වයි. එනම් චක්ඛු ස්පර්ශය යි. ඇසෙන් රූප පෙනෙනවා. ඇස සුදුසු විය යුතු යි, එය නිරෝගීමත් විය යුතු යි, ඇස හොඳ නම්, සිත පහළ වුණානම් ඇසෙන් රූප දැක ගත හැකි යි. එවිට ඇසෙහි රූපයක් ස්පර්ශ වීමෙන් රූපයක් දැකගන්නට පුළුවන් වන්නේ. එවිට එය හොඳයි යනුවෙන් ගත්විට තණ්හාව හට ගනියි, බුදු දහමට අනුව ඇසෙන් රූපයක් දැකීමෙන් තණ්හාව පහළ නොකර ගැනීමට උපදෙස් ලැබෙයි. කනෙන් ශබ්ද අසා, නාසිකාවෙන් සුවඳ ආඝ්‍රහණය කරනවා, දිවෙන් රසවත් ආහාර ගන්නවා, කයෙන් සැපවත් ස්පර්ශ ලබනවා. සිතට හොඳ අරමුණු ගන්නවා. ඒවා ස්පර්ශ වශයෙන් ගෙන හොඳයි යනුවෙන් ගත්විට තණ්හාව හට ගනියි. පි‍්‍රය රූපයත් , සාථ රූපයත් ඒ පිළිබඳව හට ගන්නා සිතෙන් තණ්හාව උපදිනවා. තණ්හාව දිගට පවතිනවා. ඒ නිසා දුක් හට ගන්නවා. තණ්හාව නිසා දුක් හට ගනි යි.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්පර්ශ හයකින් දුක් හට ගන්නා ආකාරය , ස්පර්ශ හයෙන් තණ්හාව හට ගන්නා ආකාරය , පැහැදිලි කළා. තණ්හාව හට ගැනීම යනු දුක් රැස්කර ගැනීම යි. ලෝකයේ සත්ත්වයෝ අප්‍රමාණ දුක් විඳින්නේ මේවා තේරුම් නොගැනීම නිස යි. රාහුල කුඩා ස්වාමීන්වහන්සේට, බුදුරජාණන් වහන්සේ රූපය මම නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා. එපමණක් නොව,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ස්ඛන්ධ හතර ද මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්නැ’යි වදාළා. එලෙස ම ඕනෑම දෙයක් නිර්වාණය හැර , මේ පද තුනට සම්බන්ධ කරලා , නුවණින් හොඳින් බලමින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කළ හැකි යි. බස් රියේ , දුම්රියේ යන එනකොට , නිදහස් ව සිටිනා විටක මේවා මෙනෙහි කරන්න පුළුවන්. වැඩි දෙයක් බැරිනම්, මේ ශරීරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හෝ මෙනෙහි කරන්න පුළුවන්නම්, බොහොම හොඳ දෙයක්. ඒ මඟින් තම සිත විශාල දියුණුවකට පත් වෙනවා. එලෙස දියුණුවන සිතක් සකසා ගත යුතු යි. වැඩිපුරම ඇත්තේ පිරිහීමට යන සිත්. දියුණුවට යන සිතක් සකසා ගත්තොත්, මෙලොවට , පරලොවට මෙන්ම සංසාරයට ම ප්‍රයෝජනවත්.

ලොවේ මහා ධනවතුන් සිටිනවා. ඒ අය ධනවතුන් වුණේ පන්සිල් සමාදන් නොවුණත්, වැරැදි පහෙන් වැළකුණු නිස යි. ඕනෑම ජාතියක, ආගමක කෙනෙක් වැරැදි පහෙන් වැළකී සිටිනවා නම්, වටිනවා. සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ, මවට පියාට සැලකීම ආදිය මේවා බොහොම පින්. ඒවායෙන් තමන්ට සංසාර ගමන සුවපත් ව , දුකෙන් නිදහස් ව යන්න පුළුවන්කම තියෙනවා.

පෙර සඳහන් කළ කරුණු හය ද තමනුත් ඉගෙන ගෙන, අන් අයටත් කියා දෙන්න. පොතක සටහන් කර ගන්න. මේ භාවනා ක්‍රම මඟින් තම සිතට විශාල ශක්තියක් ගොඩ නංවා ගත හැකි යි. එසේ ම කායික, මානසික සුවය හොඳින් හදාගෙන ඉදිරියට යන්න. බුද්ධ ශාසනයක් ලැබුණු නිසා තමයි, ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පුළුවන්කම ලැබී තියෙන්නේ. නැතිනම්, මේ ගැන අසන්නවත් ලොවේ නැහැ. බුදුන් වහන්සේ පමණ යි, නිර්වාණය අවබෝධ කළේ. ලෝක සත්ත්වයාට නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ධර්මය පහදා දුන්නා. නිවන අවබෝධයට තණ්හාව නැති විය යුතු යි. දුක අවබෝධ කරගන්න පහසු යි.

බුදු පියාණන් වහන්සේ අතීත සංසාර සාගරයේ බෝධි සම්භාර පුරාගෙන එන කාලයේ අවසාන ආත්ම භාවයේ දී මහා අභිනිෂ්ක්‍රමණයට හේතු වුණේ මුලින් ම දුටුවේ මහල්ලෙක්. එනම් කුදු ගැසුණු. කෙස් පැසුණු , ඇඟ රැලි වැටුණු පුද්ගලයෙක්. එය යි අනිත්‍ය ලක්ෂණය. ඊළඟට දැක ගන්න ලැබුණේ කෙඳිරිගාන රෝගියෙක්. එය දුක්ඛ ලක්ෂණය යි. ඊළඟට මෘත ශරීරයක්. එය අනාත්ම ලක්ෂණය යි. මෙයින් කළකිරී මහා අභිනිෂ්ක්‍රමණය කර, දුක අවබෝධ කරගන්න, තණ්හාව නැති කරගන්න, ප්‍රතිපදාවට බැස කටයුතු කළේ. මේ ගැන කවුරුත් හොඳින් කියවා, හොඳින් බලාගෙන හොඳ අත්දැකීමක් ඇති කරගෙන තම ගුණ හොඳින් දියුණු තියුණුවෙන් මේ භාවනා පාඩමත් නිවැරැදිව කරගෙන තමන්ට පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. තම චිත්ත සන්ථානවල තිබෙන නීවරණ, පවිටු සිතිවිලි , කෙලෙස් දුරු කර ගැනීමට තම තමා වග බලා ගත යුතු යි. ඉවසීම , හොඳ සිහි නුවණක්, උත්සාහය, අවංක බව , තිබුණොත් මේ ගුණ ධර්ම දියුණුවෙන් ශාසන ප්‍රතිපත්තියත් සකස් කරගෙන ඉදිරියට යන්නට අපහසුවක් නැහැ. එවිට මේ තථාගත ධර්මය අවබෝධ කරගන්න කාටත් පුළුවන්. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා , සමුදය සත්‍ය තණ්හාව නැති කරගැනීම සඳහා මේ භාවනාව ඉවහල් වෙයි. සැමදෙනාට ම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සැනසුම ලැබූ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා , චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ භාවනා පාඩමත් හේතු වාසනා වේවා!