Print this Article


සුත්ත නිපාතයෙන්: ධම්මික සූත්‍රය: නිති රැකවරණ සලසන ගිහි වත

සුත්ත නිපාතයෙන්:

ධම්මික සූත්‍රය:

නිති රැකවරණ සලසන ගිහි වත

තෙරුවන් සරණ ගියපසු ඔබ අයත් වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක පිරිසට යි. ගිහි ගෙදර වාසය කරන පින්වත් ඔබත් පුන් පොහෝ දිනවලදී, අංග අටකින් යුතු ආර්ය උපෝසථය ආරක්ෂා කිරීම දෙලොව යහපත පිණිස වෙනවා.

ශ්‍රාවක වූ අප ජීවිතය ගත කරන ආකාරය අනුවයි බුදු සසුන දියුණුවීම හෝ පිරිහීම සිදුවන්නේ. බුදු සසුන දියුණු කරලීම පිණිස ඔබත් සදහම් මග අනුගමනය කරන්න උත්සාහවත් විය යුතුයි. ඒ පිණිස සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ දී අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ මෙම ‘ගිහි ප්‍රතිපදාව‘ ඔබට බොහෝ සෙයින් උපකාරී වේවි.

භාග්‍යවතුන් වහන්සේ එහිදී මෙසේ වදාළ සේක. ‘පින්වත්නි, ඔබට දැන් ගිහිවත කියා දෙන්නෙමි. කෙසේ කටයුතු කරන ගිහි ශ්‍රාවකයා, යහපත් ශ්‍රාවකයා වන්නේ ද? කියා ය. (ගහට්ඨවත්තං පන වෝ වදාමි යථාකරෝ සාවකෝ සාධු හෝතී) ඔහු කිසි ප්‍රාණියෙකු නසන්නේ නැහැ. කිසිවෙකු ලවා ප්‍රාණ ඝාතණය කරවන්නේත් නැහැ. අන් අය සතුන් මරණාවිට එය අනුමත කරන්නේ ද නැහැ. තෙරුවන් සරණ ගිය සැබෑ ගිහි ශ්‍රාවකයෙකු, තැති ගත්, තැති නො ගත් ලොවේ සියලුම සතුන් වෙත, දඬු මුගුරු හෙළන්නේ නැහැ.

එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් ගිහි වත පහදා දෙමින් මෙසේද වදාළා. “ඔහු සොකරම් කිරිම දුරු කළ කෙනෙක්. අනුන් සතු බව දන්නා, කවර හෝ තැනක තිබෙන බොහෝ වූ හෝ සුළු දෙයක් හෝ ගන්නේ නැහැ. අන් අය ලවා සොරකම් කරන්නේ නැහැ. ඉන්පසු ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයෙකු සතු නිකැළැල් චරිත පාරිශුද්ධිය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාරකංසුං ජලිතංව විඤ්ඤු
අසම්භූණන්තෝ පන බ්‍රහ්මචරියං
පරස්ස දාරං නාතික්කමෙය්‍ය

ගිහි ශ්‍රාවකයාද නුවණැති, මැනවින් දහම් දැනුමැති, ගිනි අගුරු වලක් විලසින් දුරු කරයි වැරැදි කාම සේවනය. උතුම් වූ මේ බඹසර ශීලය සුවසේ සුරකියි.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහි ශ්‍රාවකයා සතු සත්‍යවාදී බව පිළිබඳව යි. සභාවක් මැද හෝ පිරිසක් අතර දී හෝ තනි වූ කෙනෙකු හට හෝ බොරුබස් කියන්නේ නැහැ. වෙන කෙනෙකු ලවා හෝ බොරු කියවන්නේත් නැහැ. බොරුකීම අනුමත කරන්නේත් නැහැ. සෑම ආකාරයකින් බොරුවෙන් වළකිනවා. බොරුව පිළිකුල් කරනවා.

එමෙන් ම භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයින් කිසිම විටක මත්පැන් නො බොන බව ද, එයට අනුබල නො දෙන බව ද භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකකින් මෙසේ වදාළා.

මජ්ජඤ්ච පානං න සමාචරෙය්‍ය
ධම්මං ඉමං රෝචයේ යෝ ගහට්ඨෝ
න පායයේ පිබතං නානුජ්ඤ්ඤා
උම්මාදනන්තං ඉති නං විදිත්වා

ගෙදර වසනා ශ්‍රාවක - මත්පැන් නොබොයි කිසිවිට
බුදු සමිඳුගේ සදහම් - කැමතිව රුචිව ඒ අය

මදාහි පාපානි කරොන්ති බාලා
කරොන්ති චඤ්ඥේපි ජනේ පමත්තේ
ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ
උම්මාදනං මෝහනං බාලකන්තං

බාලයෝ මත්පැන් බී නොයෙක් පව් පුරවා ගනිත්. අනෙක් ජනයා ද කුසලයෙහි පමා කරවත්. මත් පැන් බීම යනු පව් උල්පතක් බව දැන උමතුවන මුලාවන, බාලයන් කැමතිවන මත්පැන් දුරින් දුරු කරන්නේ වේ.

මෙසේ ගිහි ශ්‍රාවකයන්ගේ නිත්‍ය ශීලය වූ පංච ශීලය, තුන් ආකාරයකින්, පිරිසුදුව මනාකොට සුරකින ගිහි ශ්‍රාවකයා පොහෝ දිනවල දී උතුම් රහතන් වහන්සේ අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලය සුරකින බව භාග්‍යවතුන් වහන්සේ ගාථාවලින් මෙසේ වදාළ සේක.

පරපණ ද නො නසන - සොරකම් කිසිත් නො කරන
බොරු බස්ද නො කියන - කිසි මත්පැනක් නොම බොන
මෛථුනයෙන්ද වැළකී - සුරකින උතුම් බඹසර
විකල් බොජුනද හේ - රෑට අනුභව නො කරන.

මල්වලින් නො සැරසෙන, සුවඳ විලවුන් නො දරන කැප සයනයක හෝ බිම පැදුරක හෝ සැතපෙන අංග අටකින් යුතු ‘උපෝසථ’ යයි කියති. මේ දෙය දුකෙන් එතෙරට වැඩි බුදු සමිඳුන් ය ඔබට මේ සිල් කියා දෙන්නේ.

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් ගාථාවන් තවද විස්තර කොට වදාළා.

තතෝ ච පක්ඛස්සුපවස්සුපෝසථං
චාතුද්දසීං පඤ්චදසිඤ්ච අට්ඨමිං
පාටිහාරියපක්ඛඤ්ච පසන්නමානසෝ
අට්ඨංගුපේතං සුසමත්තරූපං

පැහැදුන සිතින් යුතුව මේ ‘උපෝසථය සුරකින්න. පුන් පොහෝ දවසක අමාවක හා තුදුස්වක දින අංග අටකින් යුතු මේ පොහෝ වත දැනගෙන සුරකිව් මනා ලෙස මෙය.

ඒ ආකාරයෙන් උපෝසථය ආරක්ෂා කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් පසුදින ආර්ය සංඝ රත්නය උදෙසා දන් පැන් පුදා පින් රැස්කර ගන්නා බව ඉක්බිතිව මෙසේ වදාරා තිබෙනවා.

තතෝ ච පාතෝ උපවුත්ථුපෝසථෝ
අන්නේන පානේන ච භික්ඛු සංඝං
පසන්න චිත්තෝ අනුමෝදමානෝ
යථාරහං සංවිභජේථ විඤ්ඤු

මෙලෙස රැක උපෝසථ, නැගිට පසු දින උදෑසන, පහන් සිතින් යුතුව ම අනුමෝදන්ව හැම දෙන මහා නුවණැති ගිහි සව් සඟ පිරිස වෙත සපැමිණ තමා හට හැකි පරිද්දෙන් දන්පැන් පුදන්නේ.

ධාර්මික දිවි පැවැත්මෙන් යුතු, දෙමාපියන්ට සලකන ගිහි ශ්‍රාවකයා මරණින් මතු ආභස්සර නම් දෙව්ලොව උපදින බව භාග්‍යවතුන් වහන්සේ අවසාන ගාථා රත්නයෙන් පෙන්වා දුන් සේක.

ධම්මේන මාතා පිතරෝ හරෙය්‍ය
පයෝජයේ ධම්මිකං සෝ වණිජ්ජං
ඒතං ගිහී වත්තයං අප්පමත්තෝ
සයං පහේ නාම උපේති දේවෙති

දැහැමින් යුතුව සුරකියි තම දෙමාපියන්. දැහැමින් කරයි හේ කරන හැම වෙළහෙළදාමක්. පුරුදු කරයි නිති මේ කියා දුන් ගිහිවත. යන්නේ මරණින් මතු ‘ස්වයං ප්‍රභා’ නම් දෙව්ලොව ඔහු උපත ලබන්නේ ය.

මෙලෙසින් ධාර්මිකව දිවිගෙවන, තිසරණ සරණගත, සිල්වත් ගිහි ශ්‍රාවකයින්ට සක් දෙවිඳුන් පවා ගෞරව නමස්කාර කරන බව ‘සස්ක නමස්සන’ නම් සූත්‍රයේ සඳහන් වෙනවා. එනිසා පින්වත් ඔබත් මේ උතුම් ගිහි ප්‍රතිපදාව ප්‍රගුණ කරමින්, සේඛ බල දියුණු කරගෙන සුගතිගාමීව, ධර්මාවබෝධයට අප්‍රමාදී වෙන්න.