Print this Article


ලෝකයේ සෑම දුකකටම මූලික හේතුව අවිද්‍යාවයි

ලෝකයේ සෑම දුකකටම මූලික හේතුව අවිද්‍යාවයි

" සත්ත්වයාගේ භව සන්තතියේ දී ප්‍රධාන වූ ධර්ම දෙකක් ඇත. එනම් අවිද්‍යා තණ්හාවයි. සුගතිගාමී කර්මයන්ට භව තණ්හාව විශේෂයෙන් හේතුවන අතර, අවිද්‍යාව දුගතිගාමී කර්මයන්ට හේතුවන්නේ ය."

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ සත්ත්වයාගේ පැවැත්ම හා එයට හේතුවත්, එයින් වන ප්‍රතිඵලයත් ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දැන වදාළ සේක.

තත්ථ කතමා අවිජ්ජා දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං,දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදාය අඤ්ඤාණං ,පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤාණං යනුවෙන් වදාළ පරිදි දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැසීම නොදැනීම, දුක් නැති කිරීමේ මාර්ගය නොදැනීම, පෙරඅන්තය, අපරන්තය, ඒ දෙකම නොදැනීම, හේතුඵල ධර්මය නොදැනීම යන මේ අටවැදෑරුම් කාරණා නොදැනීම අවිද්‍යාව නම් වේ.

විද්‍යාව හෙවත් පැවැත්මේ යථාර්ථය නොදැනීම අවිද්‍යාව නම් වන්නේ ය. සත්ත්වයා ලොව ඇති වූ දා පටන් වර්තමානය දක්වා පෞද්ගලිකව හා පොදුවේ ඇති වූ, ඇතිවන සෑම ව්‍යසන මාත්‍රයක් ම අවිද්‍යාව නිසා ම සිදුවූ වග මානව ඉතිහාසයෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ ය. එහෙත් එය ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන දේශනා කරන්නට තරම් කිසිම කෙනෙකු බුදුරදුන්ට පෙර ලෝකයේ පහළ වී නැත.

දස දහසක් සක්වල, කෙළ ලක්ෂයක් සක්වල අනන්ත අප්‍රමාණ සක්වළ ඇති මෙම විශ්වයේ උපදින, මැරෙන ජීවත්වන ඇමීබා නම් ඉතාම කුඩා සත්වයාගේ පටන් අති විශාල සතුන් දක්වා සෑම සත්වයාටම සිදුවන ප්‍රධාන දෙය නම් අතිපීඩනය යි. එය ඉන්ද්‍රිය ගෝචරයට යටත්ව වේදනාවක් ඇතිවන විට ඉපදෙන, ලෙඩ වෙන, මහලුවන, මැරෙන අවස්ථාවල දී මෙන් ම, මානසික ගැටුම් අවස්ථාවල දී ද විශාල දුකක්, සන්තාපයක්, ත්‍රාසයක්, භීතියක්, නොසතුටක් ඇති වන්නේ ය. දුක්වේදනාවක් ප්‍රථමයෙන් චිත්ත සන්තානගත වන විට චිත්තක්ෂණයක් පාසා ඒ අරමුණ පසුපස ම ගමන්කොට ලක්ෂ වාරයකින් දුක්වේදනා ශරීරය පුරා දුවන්නේ ය.

සාමාන්‍ය දුක්වේදනා අරමුණ වෙනස් කිරීමෙන් සමනය කරගැනීමට හැකි බව ගිරිමානන්ද සූත්‍රයෙන් දැනගත හැකි වන්නේ ය. අරමුණ හෙවත් සඤ්ඤාව පරිවර්තනය කිරීමෙන්, භාවනාවෙන්, නිර්වින්දනයෙන් වේදනාව යටපත් කළහැකි වුව ද අතීත භවයන්හි කරන ලද පාප කර්මවල ප්‍රතිවිපාක වශයෙන් ලබන ජාති,ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ,දෝමනස්ස, උපායාසාදී දුක්වේදනා නැතිකිරීමට නම් එයට හේතුව වූ තණ්හාව ප්‍රත්‍යක්ෂයෙන් හැඳිනගෙන සපුරා නැති කළ යුතු වන්නේ ය.

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ජින්නොපි රුක්ඛෝ පුනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං

ආදී ලෙස,

ගසක මුල හොඳනම්,දල්ල කොපමණ කඩා දැම්මත් නැවත ලියලන්නා සේ ‘තණ්හා අනුසය’ හෙවත් කාමරාග, භවරාග සම්පූර්ණයෙන් නැතිකරන තුරු යළි යළිත් දුක් ඇති වේ.

සත්ත්වයාගේ භව සන්තතියේ දී ප්‍රධාන වූ ධර්ම දෙකක් ඇත. එනම් අවිද්‍යා තණ්හාවයි. සුගතිගාමී කර්මයන්ට භව තණ්හාව විශේෂයෙන් හේතුවන අතර, අවිද්‍යාව දුගතිගාමී කර්මයන්ට හේතුවන්නේ ය. අවිද්‍යාවෙන් හෙවත් මෝහයෙන් මුලාවන සත්ත්වයන් ලෝභ ද්වේෂා දී කෙලෙසුන්ගෙන් වෙළී පැටලී ප්‍රාණඝාතා දී අකුසල් කරමින්, අනුන් ද මෙහෙයවමින් මරණින් මතු අපායෙහි උපදින්නේ ය.

නාහං භික්ඛවෙ අඤ්ඤං
එක ධම්මම්පි සමනුපස්සාමි
යෙනෙව සත්තා කායස්ස භෙදා
පරම්මරණා අපායං
දුග්ගතිං විනිපාතං නිරයං
උප්පජ්ජන්ති යථයිදං
භික්ඛවෙ මිච්ඡාදිට්ඨි
මිච්ඡා දිට්ඨියා භික්ඛවෙ
සමන්නාගතා සත්තා
කායස්සභේදා පරම්මරණා
පායං දුග්ගතිං විනිපාතං
නිරයං උප්පජ්ජන්ති

කාම රූප, අරූප යන භවත්‍රයේ ම හේතුවන කුසල, අකුසල, අනෙඤ්ජ යන ත්‍රිවිධාකාර සංස්කාර ධර්මයන් රැස්කරවන්නේ අවිද්‍යාව නමැති හතුරා ය.

සිත් වශයෙන් ගෝත්‍රභූ සිත දක්වාත්, ස්ථාන වශයෙන් භවාග්‍රය දක්වාත් පැතිරී පවතින නිසා ද, අතිදීර්ඝ කාලයක සිට සන්තානගතව රැඳී පවතින නිසා ද, අවිද්‍යාව ආශ්‍රවයක් ද සත්ත්වයා සංසාර වර්තයෙහි ගලන හෙයින් ඕඝයක් ද වන්නේය.

ආත්ම වාදය, දේවවාදය, උච්ඡේදවාද ආදී අන්ත වාදයෙන් උමං මාර්ගයක අන්ධකාරයේ ගමන් කරමින්, සෙසු අනුගාමිකයන් ද මුලා කරමින්, ලෝක ජනගහණයෙන් වැඩිදෙනෙක් යන ගමන් මාර්ගය නිසා සොබාදහම පවා කම්පා වන්නේ ය.

මිනිසා භෞතික වශයෙන් උපරිම තලයට පැමිණියේ නමුත්, මෙම අවිද්‍යාන්ධකාරය ගමන් මාර්ගය නිසා මානව සංහතියේ අවසානය ද ළංවන්නේ ය. එබැවින් මෙම ධර්ම ලිපිය කියවීමෙන්, මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව අත්හැර විද්‍යාමාර්ගයට පැමිණීමට උත්සාහ ගන්න.