Print this Article


පහන් සිතක කවි

පිළිවෙත් මැදි මඟ

භගවත් සුගත සම්බුදු හිමි සඳු සුගත
පිළිවෙත් මැදි මගෙහි හැසිරුණු හිමි සුගත
බලවත් කෙලෙස් සිඳ බිඳ දැමූවෙන් නියත
මුදුනත් දොහාත් බැඳ නමදිමි පින මහත

පහනෙක එළිය තෙල් තිරමත ඇති වේවි
දහමෙහි එළිය පිළිවෙත මත සිදු වේවී
මහණෙනි මැදුම් පිළිවෙත මත සිත පාවී
නිවනෙහි රසය ඒ හැමටම ලැබ දේවී


වෙසඟේ අසිරිය

වෙසඟේ සුළඟ ගෙන දෙයි සිසිල රට පුරා
ඇළ දොළ ළිං පොකුණු ගං වැසි දියෙන් පෙරා
කෙත්වතු සරු සාරවී සොම්නස පතුරා
තුරුලතා මල් පල බරින් පරිසර සපුරා

ඉර හඳ දිවා රැය මෙලොවට එළිය ගෙනේ
බුදු තෙමඟුලෙන් තිලොවග තෙක් එකලු වුණේ
වෙසක් අසිරි ජන මනසට සුවය දැනේ
බොදු දන පිළිවෙතින් සමරති වෙසක් දිනේ

තිලොවග පියා සත වෙත පා මෙත් කරුණා
සසර දුකෙන් මුදාලන මඟ ලෙසිනා
අරි අට මඟෙහි නියැළෙන සදහම් දෙසිනා
වෙසක් පැතුම, යමු සදහම් මඟ සොඳිනා


සප්තාර්ය ධනය

සංසාරය දිගය එය කෙටි කරන මග
සම්බුදු දහම පෙන්වා ඇත නැතුව හිඟ
ළංකර සප්තාර්ය ධන නොකර දඟ
පින් රැස් කළොත් කෙටි වෙනු ඇත සසර දිග


නමදිමි ගුරුදේව උතුමන් වහන්සේ

මගෙ යැයි කියා අල්ලාගත් හැම දේම
අත්හැර යයි දිනක කාටත් නොකි යාම
අනිත් දුක් අනත් පිළිබඳ වැට හීම
හිමි සඳු පළ කළා දම් දෙසූ හැම දාම

සදහම් දෙසා සිත් පොබ කළ පහන් සේ
පිළිගෙන බුදු වදන් මිණි මුතු රුවන් සේ
බිහි කළ සිසු කැලක් හීලෑ ඇතුන් සේ
නමදිමි ගුරුදේව උතුමන් වහන් සේ

(නිකවැරටිය, තුඹුල්ල නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ කම්මට්ඨානාචාර්ය වැලිකරේ ඤාණවංස මා හිමියන්ගේ හැටහත්වන ජන්ම දිනය 2019 අප්‍රේල් 24වන දාට යෙදීම නිමිත්තෙනි )


නිවන

සත් හට යොමු කළ
මහා කරුණාවෙන්
තුන් ලොවට සෙත සෑදූ
සිත් ගත් මුනිඳු
සුසිනිඳු දෙනෙතින්
ලෝ දහම පෙන්වා දුන්
පස් පවින් වැළකුණු අපට
විද්‍යා ඥාන ලැබ
සසරින් ගැලවේවා!
පිදූ මෙත් පිළිවෙතෙන්
අප නිවනට වේවා!


වෙර දරමු

තණ්හා නමැති සතුරා අපි පිටු දකිමු
අන් සතු වස්තු වෙත ආසා අත් හරිමු
විදසුන් නැණින් සසරේ ඉම දකින්නෙමු
උතුම් නිවන ලැබ ගන්නට වෙර දරමු