Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: සතුරු වූයේ සතුරාද?

සතුරු වූයේ සතුරාද? මිතුරාද?

" සෑම අවස්ථාවක දී ම තමාගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුත්තේ තමා ම ය. තමා හොඳින් නොහිතා කළ ක්‍රියාව, කතා කළ වචනය අල්ලාගෙන ප්‍රසිද්ධියේ හෝ වෙනත් අය ලවා පහර දෙන්නේ ද ඔබගෙන් උදව් උපකාර ලබාගෙන, ඔබ වර්ණනා කළ මිතුරා ම බව අමතක නොකළ යුතු ය. එසේ නොවූ විට ඔබ මුලාවට පත්වේ. “මතු යම් දවසක ඔබගේ වල කපා ඈතක සිට සතුටට පත්වන්නේ ඔබගෙන් උපකාර ලබාගත් මිතුරා මිස සතුරා නොවන බව වටහා ගත යුතු ය. එබඳු අවස්ථා ඔබගේ ජීවිතයේ දී ද අත්විඳ ඇත."

යහපත් ඇසුර කල්‍යාණ මිතු දහමයි. යහපත් උතුමන් ඇසුරු කළ යුතු වන්නේ යහපත් දෙයම මනසට හුරු පුරුදු කර ගැනීම සඳහායි. හදවතෙහි කරුණාව හා දයාව නැති පුද්ගලයකුට කවදාවත් යහපත් පුද්ගලයෙකු බවට පත්විය නොහැකි වන්නේ සද්භාවයෙන් කටයුතු කිරීමට වඩා ස්වාර්ථය පිළිබඳව සිත් යොමු කරන බැවිනි.

තමා යහපත් වූවා යැයි කියන්නේ තමාගෙන් සමාජයට අර්ථවත් දෙයක් පිරිනැමීම යි. එසේ වුවද, සෑම අවස්ථාවක දී ම තමාගේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කළ යුත්තේ තමා ම ය. තමා හොඳින් නොහිතා කළ ක්‍රියාව, කතා කළ වචනය අල්ලාගෙන ප්‍රසිද්ධියේ හෝ වෙනත් අය ලවා පහර දෙන්නේ ද ඔබගෙන් උදව් උපකාර ලබාගෙන, ඔබ වර්ණනා කළ මිතුරා ම බව අමතක නොකළ යුතු ය. එසේ වූ විට ඔබ මුලාවට පත්වේ. “මතු යම් දවසක ඔබගේ වල කපා ඈතක සිට සතුටට පත්වන්නේ ඔබගෙන් උපකාර ලබාගත් මිතුරා මිස සතුරා නොවන බව වටහා ගත යුතු ය. එබඳු අවස්ථා ඔබගේ ජීවිතයේ දී ද අත්විඳ ඇති.

ඔබගේ ජීවිතයට වඩාත් හානි සිදුකර ඇත්තේ ඔබගේ මිතුරෙකු ද, නැතිනම් සතුරෙකු ද යන්න සිහිපත් කළ යුතු ය. එවිට වඩාත් නිවැරැදිව අවබෝධ වනු ඇත. ඔබගේ මිත්‍රයා ඔබට එරෙහිව නැගී සිටියේ ද? එසේ නම්, ඔහු ඔබගේ ඇසුරට පැමිණීමට හේතුව හා ඔහුගේ බලාපොරොත්තුව ඔබට වටහාගැනීමට අසීරුවීම ඔබගේ දුර්වලතාවය යි. දුර්වල පුද්ගලයකු වශයෙන් කටයුතු කළ ඔබ වහ වහා තමාගේ දුබලකම් නිවැරැදිව වටහාගත යුතු ය. සර්පයා දෂ්ට කරනු ලබන්නේ ඌට හානියක් වූ අවස්ථාවක දී වුව ද, දුර්ජන පුද්ගලයා කටයුතු කරනු ලබන්නේ එලෙස නොවේ. තමන්ට උපකාර කළ පුද්ගලයාට ඔහු වැඩිපුරම වැරැදි කරයි. දුර්ජනයා කුමන ආකාර ද යන්න පෙර දී වටහා ගැනීම අසීරු ය. ඔහුට අධ්‍යාපනික තත්ත්වයක් ද නැත. වෙනත් සමාජ කරුණක් හෝ ස්වභාවයක් ද අදාළ නැත.

බොහෝ මිත්‍රයන් ඔබගේ ඇසුරට පැමිණ ඇත්තේ යමක් බලාපොරොත්තුවෙන් ය. ඔබගේ ජනපි‍්‍රයත්වය, රූමත් බව, ධනවත් බව, නිර්භීතකම හෝ නැතිනම් අනාගතයේ වෙනත් කරුණක් පිළිබඳව විය හැකි ය. ඔහු ඔබගෙන් බලාපොරොත්තු වූයේ කුමක්දැයි වහා හඳුනාගැනීමට ඥාන ශක්තියත් ඔබ සතු විය යුතු ය. එවිට මිතුරාගෙන් සිදුවීමට ගිය විපතකින් ගැලවීමට ක්‍රමයක් ඇතිවනු ඇත. අනවශ්‍ය පරිදි ඔබට ඇගෑලුම්කම් පාන්නේ නම් හෝ ඔබ ඉදිරිපිට ඔබගේ ගුණ වර්ණනා කරන්නේ නම්, ඔහු මිත්‍ර ප්‍රතිරූපකයකු බව වටහා ගත යුතු ය. කපුටාගේ කටෙහි ඇති කේජු කැබැල්ලට ඇලුම් කළ, කපුටාගේ හැඩ වර්ණනා කළ නරියා පිළිබඳ කතා පුවත ඔබ අසා ඇත. එබඳු නරියන් මෙන් මිතුරන් ඔබ අතර ඇත. එවැනි පුද්ගලයන් අවබෝධ කරගත් විගස අතේ දුරින් තබාගත යුතු ය.

තත්ත්වය එසේ වුව ද, හුදකලාව වාසය කිරීම දුක්බර ය. තමාගේ ඇසුරට කෙනෙකු සිටිය යුතු ය. එය සතා සිවුපාවා පවා පි‍්‍රය කරයි. තමා කියන දෙය අසන, එය පිළිගන්නා යහපත් මිත්‍රයකු සිටීම සියලු දෙනාගේ ම පී‍්‍රති ප්‍රමෝදයට හේතු වේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කරනු ලැබුවේ ද, සම්පූර්ණ බුදු දහම ම මිත්‍රත්වය පදනම් කරගෙන ගොඩනැඟී ඇති බව ය. මිතුරන් අතරින් මිත්‍ර ප්‍රතිරූපකයන් පිළිබඳව නිවැරැදිව අවබෝධ කරගත යුතු ය. තමන්ගේ ඇසුරට මිත්‍රයකු සමීප කරගැනීමේ දී අදාළ මිතුරා තමාට වඩා උසස්, ගුණ නැණ දෙකෙන් ම සම්පූර්ණ වූ අයෙකු හෝ තමාට සමාන වූ අයෙකු තෝරාගත යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

නිවට නියාලූ මිත්‍රයන් ඇසුරට සුදුසු නැත. එවැනි මිතුරන් ඇසුරුකිරීමෙන් අයහපතක් මිස අර්ථයක් සිදු නොවෙතත්, සමාජයේ දී වැඩිපුරම ඔබගේ ඇසුරට පැමිණ ඇත්තේ එබඳු මිතුරන් ය. ඔබ සමීපයේ මේ මොහොත තුළ රැඳී සිටින සමීපතම මිත්‍රයා අද හෙටම අනර්ථයක් සිදු කළ හැකි ය. ඉන් ගැලවීමට වහා කටයුතු කළ යුතු ය. ඔබගේ මිතුරා ඔබගේ අයහපත පිණිස කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙනු ලබන්නේ අනුවණ බව හා අඥාන අවංක බව පෙන්වා කටයුතු කරන ඔබ විසින් ම ය. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි සිතා සිටින කකුළුවා එම ජලයේ දී ම විනාශයට පත්වෙයි. එසේ වන්නේ ඌට බාහිර සමාජ වටපිටාව පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා නොවේද? දිය සැලියෙන් පැන යෑමට බැරි බව එක් හේතුවක් වන අතර අනෙක අනුවණකම ය. ඔබ ද ඔබගේ මිතුරා අසල එබන්දකු නොවේද? මිතුරාගේ සැබෑ අවශ්‍යතා නොදන්නාකම ද? ඔබ කවුදැයි ඔබ විසින්ම නිවැරැදිව වටහාගෙන නැති බව ද ඔබගේ විනාශයට හේතුවෙයි.

සමීපතම යහළුවන් සේ කටයුතු කොට පසුව වෙනස් වූ අය පිළිබඳව අතීත අත්දැකීම් ඕනෑතරම් ලබාගෙන ඇති. එහෙත් එයින් පාඩම් ඉගෙන නොගත්තේ ඔබගේ ම අනුවණකම නොවේද? මිතුරාට බැණ අවලාද කීම ද, තම අනුවණකම් නිවැරැදිව හදාගැනීම ද යන කාරණාවලින් ඔබ කළ යුත්තේ කුමක්දැයි අදම වටහාගත යුතු ය.