Print this Article


සසර තරණය 12: චිත්ත ඒකාග්‍රතාවය

සසර තරණය 12:

චිත්ත ඒකාග්‍රතාවය

අපට සමුදය පිළිබඳවත්, අවබෝධ කරගන්න වෙනවා. ඒ වගේම නිරෝධය පිළිබඳවත් දැනගන්නට වෙනවා. ලෝකයේ නිරෝධ දෙකක් තියෙනවා. මේසයට තියෙන තණ්හාව නැති කරගන්නත්, ගෙවල් දොරවල් වලට තියෙන තණ්හාව නැති කරගන්නත් මඟක් තියෙනවා.

ඒ වගේ ස්කන්ධ ටිකට තියෙන තණ්හාව නැති කරගන්නත් මඟක් තියෙනවා. එවිට, සමථ ආදී ලෝකයේ භාවනාවක් තුළින් පුළුවන්කම තියෙනවා, ගේ දොර, යාන වාහන, වස්තුවලට තියෙන තණ්හාව අයින් කරගන්න. ඒකෙන් පුළුවන්කම තියෙනවා රූප, අරූප භූමිවල උප්පත්තිය ලබන්න. හැබැයි, ස්කන්ධ ටිකට තියෙන තණ්හාව දුරු කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකට තමයි, ලෝකෝත්තර දර්ශනය අවශ්‍ය වන්නේ. මාර්ග දෙකක් තියෙනවා, එකක් තමයි, මේසයට තියෙන තණ්හාව නැති කරන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ වගේම මේසයට තණ්හා කරනවා කියලා හිතාගෙන ස්කන්ධ ටිකට කරපු තණ්හාව නැති කරගන්න මාර්ගයකුත් තියෙනවා. ඒකට කියනවා, මාර්ග සත්‍ය කියලා.

එවිට, මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳවත් අපට අවබෝධ වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ වෙන මට්ටමට කියනවා, විද්‍යාව කියලා. එය නොදන්න කමට කියනවා, අවිද්‍යාව කියලා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන කොට, මේ ධර්ම මාර්ගයේ හරියට ඔබ ගමන් කරනවා නම්, හරියට ඔබ දියුණු වෙනවා නම්, වැඩෙනවා නම්, දැන් නිර්නායකයක් තියෙනවා, කොහොම ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය පෙනෙන බව තියෙන්නට ඕනේ? අවිද්‍යාව දුරුවෙන ලක්ෂණය තියෙන්නට ඕනේ.

ඊට පසුව භව තණ්හාව කියලා කියනවා, ඒ , ඒ මට්ටමෙන් ඇති භවයට. ඒ කියන්නේ කාම භවය නම්, සතර මහා ධාතුව ඇති බවට හම්බවෙන ලක්ෂණය. මහා භූත රූපයට තණ්හා කරන්නේ. සතර මහා ධාතු රූපයට අම්මා, දුව, පුතා, ගෙවල් දොරවල්, යාන වාහන කියලා වෙන්න පුළුවන්. මහා භූත රූපයට තමයි, තණ්හා කරන්නේ. මේක කාම භවය කියන ලක්ෂණය යි. ඊටපසුව චිත්තජ මට්ටමෙන් හදාගත්ත රූපෙ මට්ටමට රැවටෙනවා, ස තර මහා ධාතු රූපයට පතිති නොවී , ඒ මට්ටමට කියනවා, රූපාවචර යි කියලා. ඒ වගේම මමෝමය මට්ටමකින් රැවටෙන මට්ටමට කියනවා, අරූපාවචර යි කියලා, මේ හැම මට්ටමකින් ම භවය අනුව ගියපු තණ්හාවට කියනවා, භව තණ්හාව කියලා. ඒ ඒ මට්ටම්වල ස්කන්ධ ටිකට කරන තණ්හාවට. එවිට, අවිද්‍යාවත්, භව තණ්හාවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනා, සහ වැඩෙන කෙනා ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරනවා.

ඊළඟ කාරණාව, සාක්ෂාත් කළ යුතු ධර්මය සාක්ෂාත් කරනවා. කුමක්ද සාක්ෂාත් කළ යුතු ධර්මය? විද්‍යාව සහ විමුක්තිය කියන ධර්මය. විද්‍යාව කියලා කියනවා, ත්‍රිවිද්‍යා ධර්මයට. විමුක්තිය කියලා කියනවා, චේතෝ විමුක්ති සහ පඤා්ඤා විමුක්තිය යනුවෙන් විමුක්තිය කොටස් දෙකකට බෙදා දක්වනවා. ඒ කාරණාවන් වෙන , වෙන ම ම අපට කතා කරන්න තියෙන ගැඹුරු ධර්ම කාරණාවන්. චේතෝ විමුක්ති කියනකොට, රාග, විරාග චේතෝ විමුක්තියත්, අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්තියත් , ඒ කියන්නේ සමථය පැත්තෙන් ගිහිල්ලා, රාගය දුරු කරලා, ලබන චේතෝ විමුක්තියත් තියෙනවා. අවිද්‍යාව දුරු කරලා ලබන පඤ්ඤා විමුක්තියත් තියෙනවා. එවිට මේ අනාශ්‍රව චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති කියන මේ දෙක තමයි, අප සාක්ෂාත් කළ යුතු ධර්ම.

ඊටපසුව වැදගත් ම දේ, වැඩිය යුතු ධර්ම මොනවා ද? සමථය සහ විපස්සනාව යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හරියට වඩන කෙනා විසින් වැඩිය යුතු ධර්ම වඩනවා. කුමක්ද? සමථ සහ විපස්සනා කියන මාර්ගය. එතකොට සමථයෙන් කරන්නේ මොකක් ද? චිත්ත ඒකග්‍රතාව ඇති කරන එක. විපස්සනාවෙන් කරන්නේ ඇත්ත ඇති හැටියට පෙන්වන එක. සමථයෙන් චිත්ත ඒකග්‍රතාවයත්, විපස්සනාවෙන් ඇත්ත ඇති හැටියට පෙන්වනකමත්. මෙන්න මේ ධර්මතා දෙක වැඩිය යුතු ධර්ම. එතකොට සමථය කියන එක හැම කාලයක දී ම , හැම වේලාවේ දී ම සිද්ධ කරන දේ තමයි, හිතේ එකඟ බව ඇති කරලා දෙන එක.

විදර්ශනාවේ ලක්ෂණය තමයි, ඇත්ත ඇති හැටියට පෙන්වන කම. සතර සතිපට්ඨානයෙන් බලාපොරොත්තු වන්නේ සමථයක්. චිත්ත ඒකග්‍රතාවයක් ඇතිකරන එක.