Print this Article


දිගු සසර ගමනේ දුක නිතර පැතිරේ

දිගු සසර ගමනේ දුක නිතර පැතිරේ

සාංසාරික වශයෙන් කල්පනා කිරීමේ දී උපෝසථය තුළින් සතර අපායේ නො ඉපිද , දෙව්ලොවක ඉපිද, බොහෝ දිව්‍ය සම්පත් ලැබිය හැකි බව බුදුරජාණන් වහ්නසේ දේශනා කළා. කඨින පූජාවක් පැවැත්වීමෙන් දිව්‍ය ලෝක හයෙත්, මනුෂ්‍ය ලෝකයේත් සත්මහල් ප්‍රාසාදයක උඩ පහළට ගමන් කරන්නා සේ විටින් විට උපත ලබමින් ආනිසංස ලබනවා.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වනයේ පිපුණු වන මලක් ශ්‍රද්ධාවෙන් පිදූ පමණකින් දිව්‍ය සම්පත් ලබනවා. ඒ වගේ ම පිරිසුදු සිතින්, අලෝභය මතුකොටගෙන තමා සතු යමක් තිරිසන් සතෙකුට නමුත් ලබාදීමෙන් දිව්‍ය සම්පත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මනුෂ්‍ය ලෝකයේ වුව සීලයේ පිහිටා, සීලයේ පිහිටියා වූ පිරිසක් වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්නේ නම්, දන්දෙන්නේ නම්, එහි පවතින්නේ සිතිවිලි නිරපේක්ෂ බවක් නම් එනම් “තණ්හා මදමාන දිට්ඨි” කිසිවක් බලාපොරොත්තු වන්නේ නැතිනම් ඒවායේ ආනිසංසත් බොහෝමයි.

මේ සියල්ලන්ගෙන් ම පෙන්නුම් කරන්නේ දීර්ඝ සංසාරගමන කෙටිකරගත යුතු බවයි. එය ඉතා ඉක්මන් අවස්ථාවක ම කරගත යුතුයි. ලෝකයේ පැවැත් ම අනුව සියලු සත්වයන්ට ම එය එසේ සිදු කරගත නොහැකියි. සම්මා සම්බුද්ධත්වය පිණිස පාරමී ධර්ම සම්පූර්ණ කරන මහා බෝධිසත්වයන් වහන්සේ නමක් වුව දිව්‍ය මානසික සම්පත් ලබාගෙන ම ඒ වෙනුවෙන් සිත පුරුදු කිරීමෙන් කෙලෙස් බැහැර කිරීම පිණිස මාර්ගය අනුගමනය කිරීම කළ යුතු වෙනවා. එසේ ම සිද්ධ කරනවා. බෝධිසත්වයන් වහන්සේ නමක් වෙන්නට මත්තෙන් එනම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් නියත විවරණ ලබන්නට පෙර සතර අපායක ඉපිද කල්පගණනක් දුක් විඳින්න ලැබුණොත් එය මොනතරම් සංවේගජනක වේ ද.?

මින් අදහස් කරන්නේ කුමක් ද? සියලු සත්වයන්ට ම පහසුවෙන් ම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කොට සියලු දුකින් නිදහස්වන මාර්ගය ඉටුකරගත නොහැකියි. භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනා ගළපා බැලුව ද, සංසාරික කතාව පිළිබඳව විමසා බැලුව ද ඒ බව පැහැදිලියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අයුරින් යම් දවසක මහා සාගරය වියැකී සිඳී යනවා. මේ මහ පොළොව වියැකී සිඳී යනවා. මහාමේරු පර්වතය විනාශ වී යනවා. එහෙත් මනුෂ්‍යයන්ගේ හෝ සියලු සත්වයන්ගේ දුක නිමා කිරීම පිළිබඳව දැකීමක් ඇතිකරගත නොහැකියි. ඉන් අදහස් කරන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ ඇති දුක්ඛිත ස්වභාවය යි. එසේ සිහිපත් කරන විට සම්‍යක්දෘෂ්ඨික ව පෙහෙවස ආරක්ෂා කොට, මනාකොට සීලය ආරක්ෂා කොට සමාධිය දියුණු කොටගෙන සුගතියක් අරමුණුවීම වරදක් නොවේ. සතර අපායේ ගොස් විඳින දුකකට වඩා මනුෂ්‍ය ලෝකයේ හෝ දෙව් ලොවක ඉපිද ධර්ම මාර්ගය පුරුදු කරන්න, අනුගමනය කරන්න හැකිනම් මොනතරම් යහපතක් වෙයි ද? මෙය කියවන ඔබටත් ඒ අදහස ම පැවැතිය යුතුයි. නැවතත් මතක් කළොත් සීලය ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව ධර්ම කතාව මෙසේ පැහැදිලි කරනවා. “අඛණ්ඩ, අච්ඡිද්ද, අසබල, අකම්මාස, භුජිස්ස, විඤ්ඤුප්පසත්ථ, අපරාමට්ඨ, සමාධි සංවත්තනික” යනුවෙනුයි.

භුජිස්ස හා අපරාමට්ඨ යන වචන දෙකෙන් පැහැදිලි කරන්නේ සීලය ආරක්ෂා කරන්නේ දෙවියෙක් බවට පත්වෙනවා යන අදහසක් ඉටු කරගන්න නෙමෙයි, තණ්හාවට දාසයෙක් ව මේ සීලයෙන් මගේ සිතේ තිබෙන ඇලීම් බැඳීම් ඉටුකරගන්න උත්සාහ කරනවා යන අදහස ද නොවෙයි. නැවත නැවතත් ඉපදෙමින් ඉන්ද්‍රියන් පිනවන්නට කැමැත්තක් ඇති කර ගැනීම ද නොවෙයි. සීලයේ ආනිසංස වශයෙන් ඒවා පෙළගැසී තිබෙනවා. ආනිසංස වශයෙන් ඒවා ලැබුණ ද එහෙත් සිත නතු කරන්නේ සියලු දුකින් නිදහස්වන අවස්ථාව සලසා ගන්න හේතුවන චතුරාර්යසත්‍ය ධර්ම අවබෝධය පිණිසමයි.

භාග්‍යවතුන් වහන්සේගේ බුදුගුණ සඳහන් කරද්දී නම වෙනි ගුණය හැටියට දැක්වූයේ “භගවා” යන ගුණයයි. එහි අදහස නම් යසස් ඉස්සරිය කාම ප්‍රයත්න ශ්‍රී ධර්ම නම් වූ සියලු ලෞකික ලැබීම්වලටත්, අධ්‍යාත්මික වශයෙන් සියලු ලැබීම්වලටත් භාග්‍යවතුන් වහන්සේ හිමිකම් ලැබූ බවයි. සුදුසු වූ බවයි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්පතට හෝ ආශ්චර්යයකට හෝ ප්‍රශංසාවකට හෝ කැමැති ලෞකික ලෝකයේ ඕනෑම දෙයක් ලබාගැනීමකට හෝ සිත නතු නොවූ බව පැහැදිලියි. එයට හේතුව සියලු කෙලෙසුන් නැසූ උතුම් ම මනුෂ්‍ය රත්නය වූ නිසයි. එනමුත් භාග්‍යවතුන් වහන්සේට අද දවස දක්වා වූවත් දවසේ පැය විසිහතරේ ම ආමිස මෙන් ම ප්‍රතිපත්ති පූජාවෙන් ම පූජාවන් සිදුවන බව පැහැදිලියි. අපගේ ධර්ම මාර්ගය තුළ අංග අටකින් යුතු සීලයේ පිහිටා උපෝසථය ගත කිරීම නිවන අරමුණු කරනවා. එයිට මෙහා ඊළඟ උපතක් සිද්ධ වූවොත් එය දිව්‍ය මානුෂික බවට පත්වෙන්නත්, සම්‍යක්දෘෂ්ඨිකව නිවන අරමුණු කරන සදහම් මඟකට යොමු වෙන්නටත් අවස්ථාවක් සලසා ගන්නට පුළුවනි.

දහම් කතාවෙහි පවසන ආකාරයෙන් දිව්‍ය ආත්මයක් ලැබූව ද, කොතනක හෝ දහම් හඬක් ඇසෙන්නේ නම්, එය වහා තමන්ට වැටහෙන්නට පටන් ගන්නවා. හරියට සොඳුරු රාත්‍රියක, නිසල අවස්ථාවක, ඈතින් පවතින සක් හඬක් හෝ බෙර හඬක් සුළඟ ඔස්සේ හමාගෙන එන විට එය බෙර හඬකි’යි සක් හඬකි’යි තේරුම් ගන්නා සේ ය. දෙවියන් අතර කොතැනක හෝ දහම් හඬක් ඇහෙන්නේ ද? පරමාර්ථ ධර්ම කතාවක් කියැවෙන්නේ ද? මාර්ගය පුරුදු කළ දිව්‍ය ජීවිතයක් ලැබූ අයට එය වහා වැටහෙන්නට පටන් ගන්නවා. ඒ වෙනුවෙන් වහා සිත නැමෙන්නට පටන් ගන්නවා. ඔබගේත් උපෝසථය නිවන පිණිස හේතුවන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස යොමු කරන්න පුළුවනි. මේ ජීවිතයේ ඒ නිවන් මඟ සකසා ගන්න නොහැකි වුණොත් දුගතිය බැහැර කොට දිව්‍ය, මානුෂික සැපතක් ලැබීමේ අවස්ථාව මේ උපෝසථය තුළ සකස් වී තිබෙන බව තමාට විශ්වාසයෙන් සිතේ පවත්වා ගත හැකියි. තථාගත බුදුරජාණන් වහන්සේ මේ දහම් කතා පෙළ නිමාවට පත්කරමින් මෙතෙක් සාකච්ඡා කළ සද්ධර්ම සාකච්ඡාව මෙසේ සාරාංශ කොට දක්වනවා.

පරපණ නොනසන්නේ ය. සොරකම් නොකරන්නේ ය. බොරු නො කියන්නේ ය. මත්වතුර පානය නො කරන්නේ ය. එමෙන් ම එයට උදව් ද නො දෙන්නේ ය. අබ්‍රහ්මචරියාව සංඛ්‍යොත මෛථුනයෙන් වළකින්නේ ය. රාත්‍රි භෝජනය හා විකාල භෝජනය නො බුදින්නේ ය. මල්දම් නො දරන්නේ ය. සුවඳ නො තවරගන්නේ ය. පිරියම් වඩා මනා සේ සකසන ලද ඇඳෙහි ද, පිරියම් කළ බිමෙහි ද නැවත සඳහන් කරන්නේ නම් මනා සැරසීම් නො කරන ලද ඇදෙහි ද පිළියම් කළ බිමෙහි ද ඇතිරියෙහි ද නිදන්නේ ය. දුක් ඉක්ම වූ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අංග අටකින් යුතු පෙහෙවස එසේයැයි හැම විසින් නිරතුරු සිහිපත් කළ යුතුයි.

සුදර්ශන වූ එනම්, මනා වූ දර්ශණීය වූ සඳත්, සූර්යයාත් දෙදෙන යම් තාක් කල් හොබවමින් සෑම තැනක ම ගමන් කරමින් අඳුර නැති කරමින්, සියලු දිගින් ම අහසේ සූර්යය රශ්මිය, චන්ද්‍ර රශ්මිය නගනවා ද? මේ අතර සිත් කළු මුතු, මැණික්, මිණි හා රන් ආදී අප්‍රමාණ පාටින්, වර්ණයෙන් යුතු ලෞකික ලෝකයේ වස්තූන් පවතිනවා ද? මේ සියල්ල ම හාටක යැයි කියනු ලබන රන් හා යම් බඳු ධනයක් වේද? මේ සියලු දේ ම මැනවින් ආරක්ෂා කරන ලද අංග අටකින් යුතු පෙහෙවස සමඟ උපමා කොට කිව නොහැකියි. ඒ පෙහෙවස අර සඳහන් කළ සියලු රන්, මුතු, මැණික් පෙහෙවස හා සමානව ගැළපුවොත් දහසය කොටසකට බෙදා ඒ එක කොටසක් තරම්වත් අර කිසිවක් නොවටී. නො අගනේ යි.

යම්තම් පායා එන රශ්මියක් සඳෙහි රශ්මිය හා ගැළපුවොත් සොළොස්වන කලාවටත් ගළපා ගන්නේ නොවන්නේ ද? එමෙන් ම සිල්වත් මනුෂ්‍යයන් විසින්, උපාසක උපාසිකාවන් විසින් ස්ත්‍රීන්, පුරුෂයන් විසින්, ආරක්ෂා කරන්නා වූ අංග අටකින් යුත් පෙහෙවස ම සුවගෙන දෙන අනින්දිතව ප්‍රශංසාවෙන් යුක්තව ම දිව්‍ය සම්පත්තිය ම කැඳවා දෙනවා. මෙයින් අදහස් කරන්නේ උතුම්ම සැපත වූ නිවන ම අරමුණු කොටගත හැකි සේ අංග අටකින් යුතු උපෝසථ සීලය ආරක්ෂා කරගත යුතු බවයි. උපෝසථ සීලය පිළිබඳව සාකච්ඡා කළ දහම් පෙළ නිමාවට පත් කරමි.