Print this Article


පහන් සිතක කවි

බුදු සමිඳු

හිමි සඳු දෙසා
සිරි සදහම් නිවන් මග
රාගය දුරු කරලා
යමු අප නිවන් මග
පාරමි පුරා යමු අපි
මග මුනිඳුන්
සදහම් මග ගොසින් ගැලවෙමු සසරින්

සමන්ත මහතන්තිල
රත්නපුර


මුනි ගුණයෙන්

සුගත් මුනිදු හිමි භගවත් ලෝක විදූ
\දෙසත් දහම් ඒ චතුසත් සසර මිදූ
හුදෙක් මුනි ගුණයෙන් රැස් දහර සැදූ
අදත් හෙටත් මතුවත් බුදු සරණ සැදූ


නිවන් මග පිළිවෙත යි

අට ලොව දහම දකිමින් භූ සතර මෙම
කැටිකොට දහම පෙන්වා ඇත සසර ඉම
පටු මතවාද දෙසැටක් මිසදිටුව තෙම
කොටු නොවි පිළිවෙතින් ලබමුව නිවන හැම


හේතු

ආලෝකය තිබෙන්නේ
තෙල් වැටි සිළු ඇති නිසා
ඇත්ත ඇති සැටියේ
නොමදන්නා බොහො දෙනා
ආලෝකයට ඇලෙන්නේ

අන්න ඒ වගෙයි ලොව සැම
මේ ලෝකයට ඇලෙන්නේ
ලෝකය ඇති සියලුම දේ
ආලෝකය වගෙයි නේ
හේතු නිසයි තිබෙන්නේ
හේතුන් නැතිවූ විගසින්
ලොව සියල්ල නැසෙන්නේ


හරිමග සොයාගමු

අසරණයෙකුට සතයක් දෙන්නට මැළිය
හැරෙන විට දානපතියන් වෙන නැතිය
විසිරෙන මෝහයට හරි මඟ නොපෙනේ ය
තිසරණ සරණ මේවට හරියන ඔසුය


අපි ම දන්නෙ නෑ

ආවේ මොකටද අපි දන්නේ නෑ
ඉන්නේ මොකටද අපි දන්නේ නෑ
යන්නේ කොතැනටද අපි දන්නේ නෑ
කරන්නේ මොනවද අපි දන්නේ නෑ

දන් සිල් වඩමින් පින් ගන්නෙත් නෑ
ගත්තත් පින් කිසි කෙනෙකුට දෙන් නෑ
මින්ස්කමක මහිමය හඳුනන් නෑ
කොයි වල යාවිද අනේ! දන්නෙ නෑ


මතක බණ

හත් දවසෙ බණ දවසෙ
නුඹ තියපු පෙරේත තටුව
අමනුෂ්‍යයො බදු අරන්
මස් , මාලු, ඇපල්, මිදි
සමඟ පස්ගෝ රස ද
මොටද මට මේ තරම්
අගු පිළේ හිටපු මගෙ
කුසේ ගිනි නිවුණෙ නම්
මිය යන්නෙ නෑ දුවේ
ලෙඩ වෙලා හනික මා
දෙව්ලොව තිබෙනවා
දෙව් සැප ඇති තරම්


මව් පිය ගුණ

තම යුතුකම් අමතක කොට දිවි ගෙවන
දූ දරුවන් නිසා කළ ගුණ නොහඳුනන
මහලු මඩම හෝ මහ මඟ උරුම වුණ
මව් පියො බොහෝ අද ඇත දුක් කඳුළු බොන

කිසිදා දුකක් නොම දී සැනසුම ගෙන්නා
දිවි ඇති තුරුම රැකගෙන සෙනෙහස පෙන්නා
යහපත් දරුවො විලසින් කළ ගුණ දන්නා
සුරකිනු මැනවි පෙම්බර මව් පියො දෙන්නා


ආදරය

උතුරා ගලා යන හද තුළ ආදරය
භවයෙන් භවය අල්ලාගත් ආදරය
මඟ වැට කඬුලු බිඳගෙන යන ආදරය
තෙරුවන් සරණ ලැබ ගත යුතු ආදරය

පෙර’පර උතුරු දකුණ ද පිරි ආදරය
සිවු අනු දිසා උඩයට ඇති ආදරය
නිම්හිම් නැතිව පතුරුවනා ආදරය
නිවනින් සැනසෙන්න පතනෙමු ආදරය


වඳිමු සිරිපා

පුදා තෙල්, මල් , කපුරු සමන් සුරිඳුගෙ පිහිට ලැබ ගෙන
නොදා තැන තැන කැළි කසළ පරිසරය රැක ගෙන
මෙදා පාරත් සමන්ගිර මත පසඟ පිහිටා දණින් ඉඳ ගෙන
සදා සරණ වූ මහිමි සිරිපා නමදිමු දොහොත් බැඳ ගෙන


මගෙ ආදර අම්මා

අම්මා කියන ඒ උත්තම පදවි දැරූ
නිම්මා නැති ගුණය ඔබෙ හදවතෙහි පිරූ
පෙම්මාදරෙන් මා දැඩි කළ මවුනි ගරූ
ඔබේ පා කමල් පුදනෙමි කවි මලින් සරූ

උපනත් ජාති හැම භවයෙම ඒ අම්මා
ඒ සැම භවයෙ වේ වා ඔබ මට අම්මා
මතු යම් දවස හමුවේ සම්බුදු සම්මා
සසරින් එගොඩ වෙමු මා සමඟින් අම්මා