Print this Article


විශ්වාසය සුරකිමු

විශ්වාසය සුරකිමු

අජාන් බ්‍රහ්මවංසෝ හිමි

බෞද්ධ වනසෙනසුන්වල සිටින සතුන් සමහර වෙලාවට ඕනෑවටත් වඩා මිත්‍රශීලියි. මගේ කුටියේ සිට එමින් සිටින වේලාවේ කැන්ගරුවෙක් අඩිපාර මැදට වී සිටියා. මා දැක පාරෙන් අයින් වුණාද? නැහැ, මට පාරෙන් අයින් වෙලා තෙත තණබිස්ස හරහා ඇවිදගෙන එන්ට සිදුවුණා.

මේ සෙනසුණ අයිති තමන්ටයි කියලා මේ කැන්ගරුවන් සිතා සිටිනවා වගේ හැසිරෙනවා. ඇත්තටම මුල් අයිතිකාරයෝ ඒ ඇත්තෝ තමයි. අප මේ විදිහට හැසිරුණා ම කැන්ගරුවන් අපට කොහොමටවත් බය නැහැ. ඒක කදිම අදහසක්. අනෙක් අය සමඟ අන්‍යෝන්‍ය ගරුත්වයෙන් ජීවත්වුණාම , සංහිඳියාවෙන් ජීවත් වෙන්න ඉඩ ලැබෙනවා.

වරක් මා පිරිත් දේශනාවක යෙදී සිටියදී මා ළඟින් වාඩි වී සිටි හාමුදුරුවන්ගේ පිටිපස්සේ සිට පුංචි ඔළුවක් එළියට ආවා. ඒ නයෙකුගේ ඔළුවක් . මා පිරිත් කියමින් නයා දෙස බැලුවා. නයා මා දෙස බැලුවා. මේ විදිහට අප දෙදෙනා එකිනෙක දිහා බැලූ විදිහ අද වගේ පහසුකම් තිබුණා නම් රෑ ගත කරන්න ඉඩ තිබුණා. නයා මා දිහා බැලුවා. මා නයා දිහා බැලුවා. අපි දෙදෙනා එකිනෙකාට බය වුණේ නැහැ. ටික වේලාවකින් ඒ හාමුදුරුවෝ සිවුර ගැස්සුවාම නයා හෙමින් වෙන අතකට ඇදී ගියා.

කෙනෙකු ප්‍රචණ්ඩවීමට නම් ඔහුට “ඔබ මගේ හතුරා. ඔබ මට හිරිහැර කරන්න හදනවා” කියා සිතිය යුතුයි. ඇත්තටම ඔබ ඔහුට ප්‍රචණ්ඩව සැලකුවොත් ඔහුගේ ප්‍රචණ්ඩභාවය තවත් වැඩිවේවි. ඔහුගේ කෝපය උත්සන්න වේවි.පළිගැනීමේ චේතනාව තව තවත් වැඩිවේවී. මේ විදිහට එකිනෙකා ප්‍රචණ්ඩ වුණාම ඉන් ඇතිවන්නේ එකකට එක් කිරීමේ රුදුරු චක්‍රයක්. දෝෂාරෝපණය කිරීම, කෝපය ඔබ කළ රුදුරු දෙයට වැඩිය රුදුරු ලෙස පෙරළා ඔබට සැලකීම වගේ පළිගැනීම හා රුදුරු බව පිළිබඳ චක්‍රයක් තමයි ඇතිවෙන්නෙ.

එකිනෙකා කෙරෙහි බියෙන් තැතිගෙන ජීවත්වීම

කිසිවෙකු අතින් වරදක් සිදුවූ විට “මහා භයානක දෙයක් සිදුවී තිබෙනවා. ඒ තැනැත්තා සිර නොකළොත් අපේ දරුවන්ටත් නිදහසේ ඉන්න බැරිවේවි කියා” සමහරු සිතනවා. අපේ අවට වසන සමාජයේ බොහෝ රුදුරු දේවල් සිදුවෙමින් පවතින අතර, එවැනි දේවල් වැඩි වැඩියෙන් සිදුවෙන බවත් පිළිගත යුතුයි. මේ නිසා එකිනෙකා කෙරෙහි බියෙන් තැතිගෙන සිටිනවා. “එකිනෙකා විශ්වාසයෙන් ජීවත්වීම” ගැන ඔබ වහන්සේට දේශනයෙන් කරන්න පුලුවන්ද? කියා මෙහෙණින් වහන්සේ කෙනෙක් මගෙන් ඇසුවේ මෙන්න මේ නිසයි.

ඔබ බියෙන් තැතිගෙන ජීවත්වෙන විට ඔබට සිදුවෙන්නේ කුමක්ද? නමුත් එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වෙනවිට, මා අර නයා කෙරෙහි විශ්වාසය තැබුවා වගේ බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මා නයා කෙරෙහි විශ්වාසය තැබුවා වගේම නයා මා කෙරෙහි විශ්වාසය තැබු නිසා අපි එකිනෙකාට හානි කර ගත්තේ නැහැ. මා පයින් ගසා අහකට එළවන්නේ නැති බව දන්නා නිසා කැන්ගරුවා මා විශ්වාස කළා. එකිනෙකා බියෙන් ඇළලී සිටිනවා වෙනුවට අපට එකිනෙකා කෙරෙහි විශ්වාසය තබමින් ජීවත් වෙන්න පුළුවන් නේද? එවිට බියෙන් තොර ලෝකයක් උදාවේවි. එවිට ප්‍රචණ්ඩත්වය පිළිබඳ චක්‍රයෙහි නිමාවක් දකින්න පුළුවන් වේවි. අප වසන ලෝකයෙන් කෲරත්වය ඉවත් වේවි.

විශ්වාසය සුරකිමු

අප එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබුවාම, අපේ අතින් වරදක් සිදුවුණාම, එම වරද නැවත නොකරන්න. අපට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වේවි. බෞද්ධ භික්ෂුවක් විදිහට හරිම ලස්සන දේ සිදුවෙනවා දැකගන්න මා වාසනාවන්ත වී තිබෙනවා. ස්වාමිපුරුෂයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිය බිරිඳ රවටනවා මා දැක තිබෙනවා. එය දැනගත්තාම “මට තවදුරටත් ඔහු විශ්වාස කරන්න බැහැ’ ඇය කියා සිටිනවා. ‘ඒක ඒ තරම් හොඳ වැඩක් නොවෙයි. ඔහු විශ්වාස කරන්න’ මා උපදෙස් දෙනවා ‘නැවත වරක් විශ්වාස කරන්න. මා බිරිඳට උපදෙස් දෙනවා’ ඔබ ඒ විශ්වාසයට ඔබින ලෙස ජීවත් වෙන්න’ කියා මා සැමියාට උපදෙස් දෙනවා.

බිරිඳ සැමියාට සමාව දී නැවත ඔවුනොවුන් අතර විශ්වාසයෙන් යුතුව ජීවත්වීම දකින්නට ලැබීම මට විශ්වාස කළ නොහැකි තරම් සතුට දනවන කාරණයක්. ඔබ අතින් වරදක් සිදු වූ විට ඔබට ද එය කළ හැකියි. ඔබ ඒ වරද නොකරන බවට ඔබ ඔබ කෙරෙහි විශ්වාසය තබන්න.තමන් තමන්ව විශ්වාස කරන්න. එසේම ඔබ අනුන්ද විශ්වාස කරන්න. එසේ විශ්වාස කිරීමෙන් ඔබට වේදනාවක් විඳින්න සිදු වේවි. නමුත් විශ්වාසය නොතැබීම නිසා ඔබ අනේක වාරයක් වේදනා විඳියි. බියෙන් පිරුණු ලෝකයක් ගැන සිතන්න. එකිනෙකා ගැන සිත් රිදවාගත් ලෝකයක්, ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබූ ලෝකයක් ගැන සිතන්න. කිසිවෙකු තවත් කිසිවෙකු නිසා සිත් රිදවා ගන්නේ නැහැ. ඔබ ඒ විශ්වාසය තැබූවිට දහදෙනෙකුගෙන් නව දෙනෙක්ම සිත් තැවුල් ඇති කරගන්නේ නැහැ. මේ විදියට ආගම් අතර ඇති අවිශ්වාසය, ජාතීන් අතර ඇති අවිශ්වාසය, සතුන් හා මිනිසුන් අතර ඇති අවිශ්වාසය ලෙස අවිශ්වාසය ඇති වු විට අපට එකිනෙකා අභිබවා යන්න අවශ්‍ය වෙනවා. ඉහළ ආධිපත්‍යයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. එවැනි ලෝකයක එකිනෙකාට හිරිහැර කරන්න ප්‍රචණ්ඩත්වය ඇතිවෙනවා.