Print this Article


සසර තරණය 11: තමා කරගන්නා උපාදානස්ඛන්ධය

සසර තරණය 11:

තමා කරගන්නා උපාදානස්ඛන්ධය

පංචඋපාදානස්ඛන්ධ මට්ටමේ දී තමන් වෙච්ච ස්කන්ධයක් ඇත්තේ නැහැ වෙනම. පංච උපාදානස්ඛන්ධ කියන එකේ තමන් වෙච්ච ස්කන්ධයක් ඇත්තේ නැහැ. අප අම්මා ගැන හිතනවා නම්, මේ අම්මා ගැන හිතන මානසික මට්ටම ම තමයි, තමන් කියන බවටත් පැහැදුනේ.

තමන් කියන්නෙත්, අම්මා කියන මට්ටම හිතන මානසික මට්ටම තමයි. වටාපත දැනගත්ත මානසික මට්ටම ම තමයි, තමන් වුණේ. මේසය දැනගත්ත මානසික මට්ටම ම තමයි, තමන් වුණේ. මේ එකට ඉන්න අය දැනගත්ත මානසික මට්ටම ම තමයි, ඒ ,ඒ මොහොතේ තමන් ව නියෝජනය කළේ. එතකොට, අප ඒ , ඒ මොහොතේ තමන් ව නියොජනය කළ ඒ මානසික මට්ටමට ම තමයි, කැමැති වුණේ. කැමැති වුණේ කියලා කියන්නේ , අප ආස කරන දේ, ගැටෙන දේ තිිබුණේ ඔන්න ඔය දිට්ඨීයේ.

ඒ නිසා මට අද පේන්න බැරි මනුස්සයෙක් හිටියොත්, පේන්න බැරි මනුස්සයා එක්ක මට හරියට තරහා යනවා කියලා කියනකොට, අප ඇත්තට ම තරහා ගන්නේ, පේන්න බැරි මනුස්ස රූපේ නෙවෙ යිනේ? පවතින රූපය නෙමෙයි. පේන්න බැරි මනුස්සයා උදාහරණයක් වශයෙන් දේශපාලන චරිතයක් ගන්නකෝ. කෙනෙක් බොහොම කැමැති යි. කෙනෙක් බොහොම අකැමැති යි. එහෙමනම්, ඒ පේන්න බැරි ගතිය නැතිනම් කැමැති ගතිය රූපෙ තිබුණ එක ද? නැහැ. රූපේ තිබුණ නම්, ලෝකේ ඔක්කොටම කැමැත්ත ඇතිවෙන්න එපාය. අකැමැති ගතිය රූපේ තිබුණ ද? නැහැ. එහෙමනම් අනෙක් අයත් අකැමැති වෙන්න ඕන. එහෙමනම්, ඒ චරිතය දිහා බලාගෙන කෙනෙක් කැමැත්ත ඇති කරගත්තා, කෙනෙක් අකැමැත්ත ඇති කරගත්තා. දැන්, ඇති කරගත්ත කැමැති විදිහට පෙනෙන රූපෙත්, අකැමැති විදිහට පෙනෙන රූපෙටත් බලපෑවේ තම , තමන්ගේ මානසික මට්ටම. එවිට තම, තමන්ගේ මානසික මට්ටම බලපානකොට, ඔය අකැමැති කෙනා කියලා කියන, අකැමැති කෙනා ගැන හිතලා තමයි තමන් නියෝජනය කළේ.

දැන්, මා කියනවා, ඒ මනුස්සයට මා කැමැති නැහැ, කියලා. අපි කිව්වට අප ඇත්තටම අකැමැති වෙලා තියෙන්නේ මොකටද? තමන්ගේ ම මනසට. තමන්ගේ මානසික මට්ටමට. එහෙම නැතිනම්, තමන් තමන්ටම යි, අකැමැති වුණේ. මේක හරියට එකම කාසියේ තිබෙන දෙපැත්ත වගෙයි. මේ කාසියේ එක පැත්තක් බලන කොට, අපට පේනවා, පේන්න බැරි මනුස්සයා. මේ කාසියේ අනෙක් පැත්තේ ඉන්නේ තමන්ම යි. දැන් මා පේන්න බැරි පැත්ත හරවලා, ලොකු මිටියක් අරගෙන මේ කාසිය තලනවා. මොකද වෙන්නේ? අනෙක් පැත්ත නිකන් තැලෙනවා. ඒ වගේ අපි ලෝකයාට පේන්න බැරි මනුස්සයාට බණින්න පුළුවන්කම අපට තියෙනවා. අපි ඇත්තටම හිතනවා, බාහිර විදිහට බලලා, මා ගිහින් මනුස්සයට තමයි, බැන්නේ කියලා. ඇත්තට ම අප බැණලා තිබෙන්නේ කාට ද? ඇත්තට ම අප බැණලා තියෙන්නේ, තමාට. ඇයි? තමන් ම කරගත් ස්කන්ධ ටිකට යි, අප ද්වේශය ඇති කරගත්තේ. ඒ ස්කන්ධ ටිකට යි තරහා ඇති කරගත්තේ. කාසියේ අනෙක් පැත්ත නිකන් තැළුණා වගෙයි, අප කැමැති වුණේ, තමන්ට බැණුම් අහගන්න පමණ යි. ඒ කියන්නේ යථාර්ථ විදිහට ධර්මය පැත්තෙන් එන්නේ, තමන් ඇත්තටම කැමැති වුණේ, බැණුම් අහගන්න තමන්ට ම යි. ඒ නිසා තමන්ටත් පුළුවන්, ඕනතරම් සසරේ බැණුම් අහන්න.

අප කැමැති යි සතෙක් මරන්න. ඇත්තටම අප සතෙක් මරනවා කියලා කැමැති වුණේ, ඒ සතා එළියේ ඉන්නවා කියලා හදලා දීපු අපේ මානසික මට්ටම , ස්කන්ධ ටිකත් එක්ක යි අපි ගැටුණේ. ඒ නිසා ඒ ගැටීම යි අප නැති කළේ. ස්ඛන්ධ ටික නැති කරන්න යි අප බැලුවේ. එතකොට අප කැමැති වෙලා තියෙන්නේ කුමක් කරන්න ද? තමන් නැති කරගන්නට. ඒ නිසා කැමැත්තට විපාකය අල්පායුෂ්ක වෙලා ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රාණඝාත විපාකයක් විදිහට ආයුෂ අඩු වෙනවා. ඒත් ලෝකයේ අප හැමදාම හිතුවාට, බාහිර වස්තු වලට තමයි, අප ආසා කරන්නේ කියලා, අප ඇත්තට ම උපත ලබන්නේ බාහිර වස්තුවට තියෙන තණ්හාව නිසා ම නොවෙ යි. අපි උපදින්නේ ඔය ස්කන්ධ ටිකට කරන තණ්හාව නිසා. අපායේ ඉපදුණොත්, අප අපායටත් තණ්හාව යි. අපායටත් තණ්හා කරනවා කියලා කිව්වේ, පිච්චෙන ගින්දරට අකැමැති වෙන්න පුළුවන්. පිච්චෙන ගින්දරට අකැමැති වුණාට, ඔය ගින්දර හදලා දෙන ස්කන්ධ ටිකට , ඒ ගින්දර විඳින මට, මා පුද්ගල බව හදාගන්න කමට, ඒකට කැමැති යි. ඉන්න මා තමයි, ගින්දරට අකැමැති. ඉතින්, අප දන්නේ නැහැ, ස්කන්ධ ටික තියෙනවා නම්, ස්ඛන්ධ ටිකට තණ්හාව තියෙනකම්, පිච්චීම නිකන් ඉඳීයි කියලා. ඒ වගේ අප අපායටත් තණ්හා කරනවා.