Print this Article


දෙවන ධර්ම සංගායනාව: තථාගත ශ්‍රී සද්ධර්මය මනාව සුරැකී දායාද වූ අයුරු

දෙවන ධර්ම සංගායනාව:

තථාගත ශ්‍රී සද්ධර්මය මනාව සුරැකී දායාද වූ අයුරු

- 02 කොටස

ධර්ම – විනය සුරක්ෂිත කරමින් අනාගතයට දායාද කළ දෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ, සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වූ විට කාලාශෝක රජතුමාගේ කාලයේ දී ය. විශාලා මහනුවරින් පැවිදි වූ වජ්ජිපුත්තක භික්ෂූන් දස අකැප වස්තුන් කැපයැයි සම්මත කොටගෙන අනුගමනය කිරීම ඊට හේතු විය.

කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ මැදිහත් වී සබ්බකාමී, සාළ්හ, ඛුජ්ජිසෝභිත, වාසභගාමික, රේවත, සාණවනවාසී සම්භූත, සුමන යන රහතන් වහන්සේලා ද සහසම්බන්ධ කරගෙන එම අකැප වස්තූන් , ධර්ම විනය ඉස්මතුකොට අකැපයැයි පෙන්වාදී එම ශාසනික අර්බුදය විසඳූ සේක.

ඉන්පසු අර්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන යන සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ ත්‍රිපිටකධාරී මහරහතුන් හත්සියනමක් සහභාගි කරවාගෙන, විශාලා මහනුවර වාලුකාරාමයේ දී රේවත මහරහතන් වහන්සේ මූලික වී දෙවන ධර්ම සංගායනාව සිදුකළ සේක. ප්‍රථම ධර්ම සංගායනාව පරිද්දෙන්ම එය සිදුකළ අතර, දෙවන ධර්ම සංගායනාව මාස අටකින් නිමාවට පත්විය. උපතින් අවුරුදු එකසිය හතළිහක් වූ සබ්බකාමී මහරහතන් වහන්සේ, උපසම්පදාව ලබා එකසිය විසි වසරක් වූ අතර, මුළු පෘථිවියෙහිම සංඝ ස්ථවිරව වැඩිසිටි සේක. සබ්බකාමී, සාළ්හ, රේවත, ඛුජ්ජසෝභිිත, කාකණ්ඩ පුත්‍ර යස යන මහරහතන් වහන්සේලා ආනන්ද තෙරුන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා වූහ. වාසභගාමික සහ සුමන යන මහරහතුන් දෙනම අනුරුද්ධ තෙරිඳුන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා ය. මහා වාසනාවකින් හෙබි මේ රහතුන් අටනම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී උන්වහන්සේ දකින්නට පින් තිබූ තෙරවරු ය. මෙසේ දෙවෙනි ධර්ම සංගායනාවෙන් ද ධර්ම විනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කරන ලදී.

තෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසු මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රාහක දායකත්වයෙනි. පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමයේ දී පැවති තෙවන ධර්ම සංගායනාවට සය වැදෑරුම් අභිඤ්ඤා ඇති ත්‍රිපිටකධාරී, චතුපටිසම්භිදාලාභී මහරහතුන් දහස්නමක් සහභාගි වූහ. පළමු, දෙවැනි ධර්ම සංගායනා සෙයින්ම තෙවන ධර්ම සංගායනාවද සිදුකළ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ එහිදී අන්‍යවූ අධර්මවාදී මතිමතාන්තර මර්දනය කරන්නා වූ කථාවස්තු ප්‍රකරණයද වදාළ සේක. ගෞතම සම්බුදු සසුන බබුළුවාලූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ, රටවල් නවයකට සම්බුදු සසුන පිහිටුවීම පිණිස, උතුම් රහතන් වහන්සේලා ධර්ම දූත කණ්ඩායම් ලෙසින් පිටත්කළ සේක. “ඔබ වහන්සේලා ඉතා රම්‍ය වූ ලංකාද්වීපයට වැඩම කොට ගෞතම සම්බුද්ධ ශාසනය එහි පිහිටුවන්නට ඕනෑ” කියා මහා මහින්ද හිමියන් ප්‍රමුඛ තම ශිෂ්‍ය හිමිවරුන් වන ඉට්ඨිය , උත්තිය, සම්බල, භද්දසාල, සුමන නමැති රහතන් වහන්සේලා වැඩම කරවූ සේක. අප මාතෘ භූමියට ගෞතම සම්බුද්ධ සන්දේශය රැගෙන වැඩමකළ මිහිඳු මහරහතන් වහන්සේ, සම්බුදු සසුන පිහිටුවා අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රමුඛ සිංහල මහරහතුන් ලවා ථූපාරාම සෑමළුවේ දී විනය පිටකය සංගායනා කරවූ සේක. එමෙන්ම සූත්‍ර, විනය, අභිධර්ම යන තුන් පිටකය පාලි භාෂාවෙන්ම හෙළදිව සඟ පරපුරට හදාරවා එහි අර්ථ විස්තර එවකට පැවති දීප භාෂාවෙන් පහදා දුන් සේක. පසුකාලීනව බුද්ධඝෝෂ ස්වාමින්ද්‍රයන් වහන්සේ පාලියට නැගුවේ හෙළ අටුවා නම්වූ ත්‍රිපිටකයට කළ එම අර්ථ විස්තරය යි.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ චතුර්ථ ධර්ම සංගායනාව

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪගත කරන ලද්දේ බුද්ධ වර්ෂ 440-454 ත් අතර කාලයේ දී, වළගම්බා රාජ සමයේ දී ය.මාතුල ජනපදයේ අලු ලෙණහි දී කුන්තගත්තතිස්ස තෙරුන් ප්‍රධාන අභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් සිදු වූ එම උදාර ශාසනික සේවය පොත්ථක සංගීතිය නමින් හඳුන්වයි. ඒ තාක් සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්ම විනය වනපොත් කරමින්, කටපාඩමින් දරාගෙන පැමිණි උත්තම මහරහත් සඟ පරපුර පිළිබඳ පරිවාර පාලි ග්‍රන්ථයේ සඳහන් වන්නේ මේ අයුරිනි. විනය පිටකය, උපාලි මහරහතන් වහන්සේ, දාසක, සෝණක, සිග්ගව, මොග්ගලීපුත්තතිස්ස යන මහරහත් ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර විසින් මතකයේ දරා ගෙන එන ලදී. සූත්‍ර පිටකය ආනන්ද මහරහත් පරපුරෙහි වූ දීඝ භාණක, සාරිපුත්ත මහරහත් පරපුරෙහි වූ මජ්ක්‍ධිම භාණක, මහා කාශ්‍යප මහරහත් පරපුරෙහි වූ සංයුක්ත භාණක, අනුරුද්ධ මහරහත් පරපුරෙහි වූ අංගුත්තර භාණක යන හිමිවරුන් සහ ජාතක භාණක, ධම්මපද භාණක ආදි ආචාර්ය පරපුර විසින් සූත්‍ර පිටකය මතකයේ දරාගෙන එන ලදී. එමෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරපුරෙහි වූ භද්දජි, සෝභිත, වියජාලි, වියපාල, පියදස්සී, කෝසියපුත්ත, සිග්ගව, සඤ්හ, මොග්ගලීපුත්ත , සුදත්ත, ධම්මිය, දාසක, කෝණක, රේවත යන මහරහත් සඟ පරපුර විසින් අභිධර්ම පිටකයට දරාගෙන එන ලදී.

මේ හැර ත්‍රිපිටකයේද අටුවා – ශිලා ලිපි ආදියෙහි ද සඳහන් වන පේටක, නේකායික, තේපිටක, පංචනේකායික, වේනයික, සුත්තන්තික, විනයධර, මාතිකාධර, ධම්මකටික ආදී වචනවලින් හඳුන්වන්නේ සමහර තෙරුන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය කොටස් වශයෙන්ද, සමහර තෙරුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම ද මතකයේ දරාගෙන සිය ශිෂ්‍ය වූ සඟ පරපුරට හැදෑරවූ බවයි. උපසම්පදා මාලකයේ දී පටිසම්භිදාලාභී උතුම් අරහත්වය සාක්ෂාත් කළ මිහිඳු මහරහතන් වහන්සේ වසර තුනක් ඇතුළත සම්පූර්ණ ත්‍රිපිටකය ම අර්ථ විස්තරද සහිතව ප්‍රගුණ කරගත් සේක.

ඉන්පසු ලක්දිව් තලයට වැඩමකොට සදහම් දායාදය ලබා දෙමින් බිහිකළ පරමාදර්ශි ශාසනික වැඩපිළිවෙළ හේතුවෙන් ලක්දිවටද අටළොස් භාණක පරපුරක් බිහි විය..

දීඝ භාණක, මජ්ක්‍ධිම භාණක,සංයුක්ත භාණක,අංගුත්තර භාණක, ඛුද්දක භාණක, ජාරාජික භාණක, පාචිත්තිය භාණක, චුල්ලවග්ග භාණක,මහාවග්ග භාණක,පරිවාරභාණක,ධම්මංගණී භාණක, විභංග භාණක,කථාවත්ථු භාණක,පුග්ගල භාණක, පඤ්ඤත්ති භාණක, ධාතුකථා භාණක,යමක භාණක,පට්ඨාන භාණක,ජාතක භාණක යන අටළොස් භාණක ආචාර්ය පරපුර විසින් ත්‍රිපිටක ධර්මය ලක්දිවදී ප්‍රගුණ කොට මතකයේ දරාගෙන අනාගතයට දායාද කළ සේක. විශේෂයෙන්ම පොත්ථක සංගීතිය තෙක් වී සම්පූර්ණ විනය පිටකයත්, සූත්‍ර පිටකයේ නිකාය පහත්, අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතත් මතකයේ දරාගත් මහතෙරුන් වහන්සේ තිස් නමකගේ පමණ නාමයන් පරිවාර පාලියේ සඳහන් වේ.

බුරුමයේ පැවැති සංගායනා

බුද්ධ වර්ෂ 2414 දී බුරුම රට මන්ඩලේ නුවරදී ජාගරාභිවංස මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, හිමිවරුන් 2400 නමකගේ සහභාගිත්වයෙන්, සැදැහැති මිං ඩොං මිං රජතුමාගේ දායකත්වයෙන් , පංචම ධර්ම සංගායනාව පවත්වා තිබේ.

එමෙන්ම 2500 බුද්ධ ජයන්තිය නිමිති කරගෙන බුරුම රජය ධර්ම සංගායනාවක් පවත්වන්නට තීරණය කොට ලාංකීය මාහිමිපාණන් වහන්සේලාගේ සහායද ලබාගත්හ. බුරුම රජය මුල්වී ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය , කාම්බෝජය, ලාඕසය යන ථේරවාදී රටවල් සම්බන්ධ කරගෙන සංගායනාව පැවැත්වීමට කටයුතු කළහ. එවකට ශ්‍රී ලංකාවෙහි තිබූ ත්‍රිපිටක ග්‍රන්ථ බහුශ්‍රැත ධර්මධර මාහිමියන් වහන්සේලාගෙන් සමන්විත සංඝ මණ්ඩලයක් විසින් සම්පාදනය කොට බුරුමයට වැඩමවන ලදී. එම ත්‍රිපිටක ග්‍රන්ථත් , බුරුම අකුරින් තිබූ ත්‍රිපිටක ග්‍රන්ථයත් සංසන්දනය කොට ඉතා පිරිසුදු ථේරවාදී ත්‍රිපිටකය අවුරුදු දෙකක් මුළුල්ලේ සංගායනා කරන ලදී.

බුද්ධ වර්ෂ 2498 දී බුරුම රට රැන්ගුන් නුවර දී රට්ඨගුරු රේවත මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජට්ඨ ධර්ම සංගායනාවට 2500 නමක් සඟ පිරිස සහභාගි වූහ.

බුරුම රට පැවති පස්වන ධර්ම සංගායනාවෙන් පසු ශ්‍රී ලංකාවේ, පැල්මඩුල්ලෙහි රජමහා විහාරයේ දී ද, කැලණියේ විද්‍යාලංකාර මහා පිරිවෙනහි ද , මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි ද ධර්ම සංගායනා තුනක් පවත්වා තිබේ.

2500 බුද්ධ ජයන්ති වර්ෂයේ දී ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම

මෙසේ සංගායනා මගින් මැනවින් සුරක්ෂිතව අනාගතයට දායාද වූ තථාගත ධර්ම – විනය 1956 වර්ෂයේ දී සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ආරම්භ විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 2500 වසරක් ගතවූ එම වසරේ දී දසතින් නැගී ආ බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස ලංකා බෞද්ධ මණ්ඩලය පිහිටුවා ත්‍රිපිටක පාලිය සිංහලට පරිවර්තනය කිරීමට කටයුතු සම්පාදනය කරන ලදී. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව එවකට වැඩසිටි ධර්මධර – විනයධර, බහුශ්‍රැත මහතෙරුන් වහන්සේලා විසින් සම්පූර්ණ ත්‍රිපිටකය සිංහල භාෂාවට නිවැරැදිව පරිවර්තනය කරන ලදී. 1956 වසරේ දී ආරම්භ කළ එම විශිෂ්ට ශාසනික මෙහෙය 1989 වනවිට සියලු ති‍්‍රපිටක ග්‍රන්ථ සිංහල භාෂාවට නැඟීමෙන් සමාප්තියට පත්විය. එම සියලු ග්‍රන්ථ රත්නයන් පාලි හා සිංහල යන භාෂා ද්වයෙන්ම යුක්තව මුද්‍රණද්වාරයෙන් එළිදක්වන ලදී.

මෙසේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස් වැනි ශතවර්ෂය තෙක් අවිච්ඡින්න වූ ස්ථිවිර පරම්පරාව මතකයෙහි දරාගෙන පැමිණි අර්ථ විස්තර සහිත සම්පූර්ණ ත්‍රිපිටක පාලිය, බුද්ධ වර්ෂ 440-454 අතර කාලයෙහි, වළගම්බා රාජ සමයෙහි, ත්‍රිපිටකධාරි ෂඩ් අභිඥාලාභී පන්සියයක් වූ සිංහල මහරහතුන් විසින් මාතුල ජනපදයේ අලුලෙන් විහාරයේ දී තල්පත්වල ග්‍රන්ථාරූඪ ගත කරන ලද සේක. වර්තමානයෙහි අප භාවිත කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ සකස්වූයේ එසේ ග්‍රන්ථාරූඪ කරන ලද පරම පිරිසුදු නිර්මල බුද්ධ වචනය ඇතුළත් කොට ය.