Print this Article


කෝපයෙන් යහපතක් වේද ?

කෝපයෙන් යහපතක් වේද ?


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

අප වසන ලෝකයේ කෝපය, ආහාරයට ගන්නා ගැටලු, ප්‍රශ්න අප්‍රමාණයි. පීඩාවට පත්වී සිටින බොහෝදෙනා සඳහා විසඳුම මේකයි. ඔබ, ගැටලුවකට මැදිවී සිටින කෙනෙකුට, වැරැද්දකට මුල් වී සිටින කෙනෙකුට දෝෂාරෝපණය කළාට ඔහු හෝ ඇය හෝ තවත් නරක අතට හැරෙනවා. ඔබ ගැනම කිව්වොත්, ඔබ මුහුණ පෑ නරක අත්දැකීම් පිළිබඳ අතීතයක් ඔබට තිබෙනවාද? ඔබ ඒ නරක අතීතයෙන් ගොඩ එන්න දඟලන තරමට ඔබ තවත් ඒ තුළ හිරවෙනවා. මේ නිසා තමයි ඔබේ අතීතය දිහා වුණත් නිෂේධාත්මකව අසුභදායක විදිහට නොබැලිය යුත්තේ.

වරදක් කළ කෙනෙකු දිහා සානුකම්පාවෙන් බැලීමෙන් තොරව, පළිගැනීමට යාමෙන් සිදුවන්නේ තව තවත් වේදනාව වැඩිවීමයි. මේ නිසා ගේදොර, මගේ උපන් බිම නැති වේවි. මේ නිසා මගේ සංස්කෘතිය, සභ්‍යත්වය නැති වේවි. මට මගේ ස්වාමිපුරුෂයා, මට මගේ බිරිඳ, මගේ දරු මල්ලන් නැති වේවි. කියා වේදනාව තවත් වැඩිවේවි.

අර භූතයාට කිව්වා වගේ “ උඹ මෙතනින් පලයන්. උඹ මෙතනට සුදුසු කෙනෙක් නොවෙයි” කියා වේදනාවන්ට දොස් පැවරුවාම, අපේ වැරැදිවලට අනිත් අයට දොස් පැවරුවාම, අපි සමාජයට, ආණ්ඩුවට දොස් පැවරුවාම එයින් සිදුවන්නේ නිෂේධාත්මකව, අසුභවාදීව මේ ගැටලු විසඳීමට වෑයම් කිරීමයි. මෙසේ නිෂේධාත්මකව කටයුතු කරනවිට සිදුවෙන්නේ නිෂේධාත්මකභාවය, කෝපය, පළිගැනීමට ඇති කැමැත්ත තවත් වැඩිවීමයි. එයින් කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.

අප වසන ලෝකයේ කෝපය ආහාරයට ගන්නා භූතයන් අප්‍රමාණව සිටිනවා. අප කළ යුත්තේ ඔවුන්ට කරුණාවන්තවීමයි. එසේ කළ විට ඇතිවන ප්‍රතිඵලය හරිම පුදුමාකාරයි. සමහරු මෙය ප්‍රායෝගික නැතැයි සිතනවා. එසේ නම් ප්‍රායෝගිකව කළ හැකි දෙය කුමක්ද? කළ යුත්තේ මිනිසුන්ට දෝෂාරෝපණය කොට ඔවුන් සිරගෙවල්වල දැමීමද? එයින් සිදුවෙන එකම දෙය සිරගෙවල් තව තවත් ලොකු වීමයි. තව තවත් සිරගෙවල් බිහිවී, තව තවත් බොහෝදෙනා සිරගත කිරීමයි.

සිරගෙවල් සමාජයට දඬුවම් කරන තැන් ලෙස සලකනවා වෙනුවට සමාජයට හානිකළ හැකි පුද්ගලයෙක් සමාජයෙන් වෙන්කර තබන තැන් හැටියට සැලකීම වඩා හොඳයි. එය හරියට රෝගයක් හැදුණු කෙනෙක් අන් අයගෙන් වෙන් කර තැබුවා ම එම රෝගයෙන් අනෙක් අයට පීඩාවක් නොවනවා වගෙයි. නමුත් කිසිදු විටක ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට සිරගෙයට යැව්වාය යන අර්ථයෙන් සිරකරුවන්ට නොසැලකිය යුතුයි. දඬුවම් මඟින් කිසිදු පාඩමක් ඉගෙන ගන්නට බැහැ. දඬුවම් මඟින් ඉගෙන ගන්නා එකම පාඩම ඒ වැරැද්ද ඊළඟ සැරේ අසුනොවී කරන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමයි. නමුත් කරුණාවන්තකමෙන් ඔබට පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

කෙනෙක් ඔබට කරුණාවන්ත වූ විට එයින් ඇතිවන ප්‍රතිඵලය හරිම පුදුමාකාරයි. ඒ වගේම ඔබ ඔබට ද කරුණාවන්ත විය යුතුයි. මිනිසුන්ගේ වැරැදි හැසිරීම්වලට හේතුව අප ඔවුන්ට කරුණාවන්ත වන්නේ කෙසේද යන්න නොදැන සිටිමයි. ඔබ ඔබට කරුණාවන්ත විය යුතුයි. එසේ ඔබ ඔබට කරුණාවන්ත නොවුණාම, ඔබ තුළ තිබෙන තරහ, නරක ගති ගුණ තව තවත් තියුණු වෙනවා. නරක අතට හැරෙනවා. යමෙකු ඔබට සමාව දුන්විට, කරුණාවන්ත වූ විට ජීවිතය වෙනස් අතට හැරෙන විදිහ හරිම පුදුමාකාරයි.

ඔබ වයසට යනවිට ඔබේ ඇස් දුර්වල වෙනවා. ඔබට ඇස් කණ්ණාඩි දමන්න සිදුවෙනවා. සමහර වේලාවට කෙනෙකු කියන දෙය හරියට ඇහෙන්නේ නැතුව යනවා. කන් ඇසීම අඩු වී යනවා. අතපය වෙව්ලන්න පටන් ගන්නවා. ඔබ වයසට යනවිට ඔබේ බොහෝ අඟපසඟ දුර්වල වෙනවා. නමුත් එකක් විතරක් දුර්වල වෙන්නේ නැහැ. ඒක තමයි ඔබේ කට, මේක තමයි ඇත්ත කතාව. ඔබේ අත්තම්මා, ඔබේ සීයා, කොච්චර වයසට ගියත් කට සද්දෙට කතා කරන්න පුළුවන් නේද? ඔවුන්ට කිසිම වෙහෙසක් නැතිව පැය ගණන් කතා කරන්න පුළුවන්. හොඳම කතිකයෝ වයසක අය වෙන්නේ මේ නිසා තමයි.

ඔබේ වැරැදිවලට ඔබ කරුණාවන්ත වුණාම ඔබ අනෙක් අයට හිංසාකාරී වෙන්නේ නැහැ. පීඩා ගෙන දෙන්නේ නැහැ. තමන් කෙරෙහි ගරුත්වය අඩු වීම, මිනිසුන් තුළ අභ්‍යන්තරයේ කෝපයක් ඇති වීමට හේතුවන බව ඔබ හඳුනාගෙන තිබෙනවාද? මේ වගේ දේවල් ප්‍රචණ්ඩත්වයට, යුද්ධවලට මුල පුරනවා.

මේ තමයි සරණාගතයා. මේ තමයි හොරා. මේ තමයි ස්ත්‍රී දූෂකයා කියා කෙනෙකු සිරගෙයක දැමූ පලියට කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ. එසේ සිරගෙයක හිරකළ නිසා ඔවුන් කිසිම පාඩමක් ඉගෙන ගන්නෙත් නැහැ. එයින් සෑමවිටම සිදුවෙන්නේ තව තවත් නරක අතට හැරුණු මනුස්සයෙක් ලොවට බිහි කිරීමයි. එහෙත් ඔබ යම් කිසිවෙකුට ගරුත්වය, ස්වයං ගරුත්වය, කරුණාවන්තභාවය ගැන ඉගැන්නුවාම එය හරියට ඔබ ඔබට කරුණාවන්තභාවය ගැන ඉගැන්වූවා වගෙයි. ඒ වගේම වරදට සමාව දීම, කරුණා දයාවෙන් යුක්තව ආදරය කිරීම ඔබට ඉගැන්නුවාම අනෙක් අයට එය ඉගැන්වීම පහසුයි.

සෑමවිටම අප අනුන් ගැන ඉගෙන ගන්නේ අප අප දිහා බැලීමෙනුයි. මාත් ඔබ වගේමයි. ඔබ කුමන ආගමකට, කුමන ජාතියකට අයත් ද කියන කාරණය මට වැදගත් වෙන්නේ නැහැ. අප සෑමදෙනාගේම ශරීරය තුළ තිබෙන්නේ එකම යන්ත්‍රයක්. මගේ හදවත ඔබේ හදවත වගේමයි. මට ගරු සරුවෙන් සලකනවාට, මට ආරක්ෂාවක් සැලසෙනවාට මා කැමැති සේ ම අනෙක් සියලුම මනුෂ්‍ය වර්ගයා ද වෙන එකක් තියා සතුන් ද ඔවුන් ගරු සරුවෙන් සලකනවාට, දයා කරුණාවෙන් සලකා රැක බලාගන්නවාට කැමැතියි. මේ ග්‍රහලෝකයේ වසන සියලුම මිනිස් වර්ගයාට එසේමයි.