Print this Article


වෛරය තුළ සැපතක් නැත

වෛරය තුළ සැපතක් නැත

අපි කවුරුත් හොයන්නේ සැනසිල්ල. ඒත් පින්වතුනේ සැනසිල්ල ලැබෙනවද? මගෙ තරුණ පුතේ, තරුණ දුවේ මේ ජීවිතේ මායාවක්, හරියට තේරුම් නොගෙන ජීවිතේ ගැන හිතුවොත් අප මේ මායාවට රැවටෙනවා. අප කවුරුත් ආදරයට කැමැතියි.

කවුද අකැමැති ආදරයට .සතා සිවුපාවා පවා ආදරයට කැමතියි. අම්මා තාත්තාගේ ආදරය දරුවෙකුට කොච්චර වටිනවද? ඒත් මගෙ දුවලා පුතාලා ටිකක් උස් මහත් වෙන කොට අසරණ මව්පියෝ අමතක කරනවා. එහෙම හිතලා තරුණ ජීවිත මිරිඟුවක් පස්සෙ නේද මේ දුවන්නේ. අනේ ඉර හඳ දිව්රලා පොරොන්දු දුන්නත් ටික දවසකින් ඒවා අමතක වෙනවා. ජීවිතේ නැති වුනත් වෙනස් වෙන්නේ නැහැ, කියපු අය ටික දවසකින් වෙනස් වුනාම අපි තනි වෙනවනේ. තනිවුන හිතට කාගේ පිළිසරණක් ද? එතකොට අපිට ජීවිතේ පවා නැතිකරගන්න හිතෙනවා. තනිවුන අපිට මොනවද හිතෙන්නේ. සුන්දරයි කියලා හිතපු ජීවිතේ ආදරය අපව ම රිදවනවා. මොකක්ද මේ මායාකාරි ලෝකය.

මහ කැලේක පිපාසිත මුව රංචුවක් දිය ටිකක් සොයා ගෙන කැළේ ඇතුළට යනකොට ඈතට දිස් වෙනවා මහා අව් රශ්මියෙන් දිලිසෙන වතුර විලක්. මේ මුව රංචුව වතුර හොයාගෙන එතනට ඇදෙනවා.

පින්වතුනේ, අව් රශ්මිය පොළවට වැටුණම ඈතට පේන්නේ ම හා වතුරක් වගේ. අනේ මේ පිපාසිත මුව රංචුව එතනට ගියා කියලා වතුර ලැබුණයැ. ඒකටනේ අපි මිරිඟුවක් ය කියන්නේ. ජීවිතයත් හරියට මිරිඟුවක් වගෙයි. මගෙ පුතේ, හරියට නොදැන ගියොත් අමාරුවේ වැටෙනවා.මේ ජීවිතේ හරියට තේරුම් ගන්න. අතීතය දිහා බලලා, හිතලා සෝක කරන්න එපා. වෙච්ච දේ වෙලා හමාරයි. අතීතයේ දුක්බර මතක සටහන් අමතක කරන්න අප ලස්සනට ඇඳ පැළඳ ගත්තොත් හැමෝම අප දිහා බලයි. අතමිට මිල මුදල් යාන වාහන අපේ ළඟ තියනකන් අපිට මේ ලෝකයේ කවුරුත් කැමතියි. ඒත් ටික ටික ඒවා අඩුවෙන කොට අපි අසරණ වුනොත් කවුද අපිට පිහිට වෙන්නේ. කවුද අප දිහා බලන්නේ. එදා අතමිට සරු කාලේ හිටපු යාළු මිත්‍රයෝ කවුරුවත් අප හොයාගෙන එනවද? ඒත් බුදුහාමුදුරුවෝ අප දෙස බැලුවේ එහෙම නෙමෙයි. අපේ බුදුහාමුදුරුවෝ කවදාවත් අප මිල මුදලෙන්, කුලයෙන් දැක්කේ නැහැ. අපේ ජීවිත හොඳ වෙන්න වෙන්න අපේ ලස්සන හදවතට බුදුහාමුදුරුවෝ වඩිනවා.

පින්වතුනේ වෛරය තුළ සැපයක් නැහැ. ක්‍රෝධය තුළ සැපයක් නැහැ. නිතරම වෛර කරන ලෝකය තුළ අවෛරීව ජීවත් වෙන්න උත්සාහ ගන්න. ක්‍රෝධ කරන ලෝකය තුළ අක්‍රෝධව ජීවත් වෙන්න. එතකොට ඔබට දිනන්න පුළුවන්. ඔබේ හදවතේ බුදුහාමුදුරුවන්ට වඩින්න ඉඩ දෙන්න.බුදුගුණ බලයෙන් ඔබටත් අපටත් සැනසිල්ලක්ම වේවා!