Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: පුද්ගල දියුණුවට වැදගත් වන පූර්ව නිගමන

පුද්ගල දියුණුවට වැදගත් වන පූර්ව නිගමන

" බුද්ධිමත්, අවබෝධ පූර්වක පුද්ගලයා සමාජයට ඇඟිල්ල දිගු කිරීමට පෙර තමා දෙසට නැඹුරු කරමින් තමාගෙන් සිදුවූ අඩුපාඩු සියල්ල සිතයි. යහපත අයහපත වරද නිවරද මනාව අවබෝධ කරගැනීමට උනන්දු වෙයි. එය මඟ හරවා ගනිමින් නිවැරැදි වීමේ මාවත තමාගෙන්ම ආරම්භ කරයි. තමා තරම් අන්‍යයා අවංක ද නැත. එසේම තමා තරම් අන්‍යයා වංචනික ද නැත. යන පූර්ව නිගමනය පුද්ගල දියුණුවට අතිශයින් වැදගත් වෙයි."

අප ජීවත්වන සමාජ පරිසරයේ ම එකට ජීවත්වන්නාවූ පුද්ගලයන් මැනවින් දැන හඳුනාගැනීම තමාගේ ප්‍රයෝජනය සඳහා ද ජීවත්වීමේ පහසුව සඳහා ද හේතු වේ. අපට එදිනෙදා හමුවන පුද්ගලයන් නිවැරැදිව හඳුනාගන්නට බොහෝ කාලයක් ගත වෙයි.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අවජානාති සූත්‍රයේ ද පුද්ගලයන් පස්දෙනෙකු පිළිබඳව දේශනා කළ සේක. එම පුද්ගලයන් පස්දෙනාගේ ගති ස්වභාවය සොයා බැලිය යුතු ය. ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඔබට ද වැදගත් වන්නේ ඇතැම් විටෙක ඔබ ද ඒ අතර සිටිනවා විය හැකි නිසා ය. එසේ නොවන්නේ නම්, සමාජයේ අන් අය පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීම පිණිස ද මෙය ඔබට වැදගත් වනු ඇත.

යමක් දී පසුව අවමන් කරන්නා.

මිතුරුව සිට අවමන් කරන්නා.

යමක් ලබාගැනීමට කට අයාගෙන සිටින්නා.

ලෝල සහගතව සිටින්නා

මෝහයෙන් මුළා වූ තැනැත්තා

යමක් දී අවමන් කරන පුද්ගලයා කෙබඳුද?

තම මිතුරාගේ අවශ්‍යතාව අනුව ඔහුට අවශ්‍ය කෑම් බීම්, ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටුම්, බේත්හේත් ඉතා කැමැත්තෙන් ලබාදෙයි. එසේ ලබා දී ඔහු මෙසේ සිතයි. “මම දෙමි ඔහු පිළිගනී” එම සිතිවිල්ල පෙරදැරිව ඔහු තම මිතුරාගේ හෝ උදව් කළ පුද්ගලයාගේ දොස් කියයි. මිතුරා ඉදිරියේ කිසිවක් නොකියන ඔහු මිතුරා නැති අවස්ථාවල එසේ කියයි.මෙබඳු පුද්ගලයන් සමාජයේ ඕනෑතරම් ජීවත් වුවද ඔහු හඳුනාගැනීම අපහසු ය.

එක්ව විසීමෙන් හෙවත් මිතුරුව සිට අවමන් කරන්නෙක් වන්නේ කෙසේද?

පුද්ගලයකු සමඟ දීර්ඝ කාලයක් ආශ්‍රය කරයි. එසේ ඇසුරු කරමින් සිට මිතුරාගේ අඩු ලුහුඬුකම් දකී. ඒවා ඔහුට කියා දෙන්නේ නැත. මිතුරා නොමැති සමාජයේ එම අඩුපාඩුකම් ප්‍රකාශ කරමින් ඔහුගේ අගුණ කියයි. අවමන් කරයි.

යමක් ලබා ගැනීමට කට අයාගෙන සිටින්නා කෙබඳුද?

අනුන්ගේ අගුණ කියද්දී එය අසා සිටීමට පි‍්‍රය කරයි. තමා එබඳු කෙනකු නොවන බව හෙළි කරයි. ඒ අනුව මිතුරාගේ හිත දිනා ගනී. කිසිවක් ඔහුගෙන් බලාපොරොත්තු වෙයි. නොලැබුණ විට මිතුරා නොමැති තැන්වල දොස් කියයි. අගුණ කියයි.

ලෝලසහගතව සිටින්නා කෙබඳුද?

තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා අඩු කෙනෙකු වෙයි. භක්තිය අඩු කෙනෙකු වෙයි. මෙබඳු පුද්ගලයා ද තමාගේ මෙන්ම අන්‍යයාගේ අහිත පිණිස කටයුතු කරයි.

මෝහයෙන් මුලා වී සිටින්නා කෙබඳුද?

යම් පුද්ගලයෙක් කුසල් අකුසල් දහම් නිවැරැදිව නොදනියිද? වරද නිවැරැදි දහම් නොහඳුනයිද, පහත් උසස් දහම් පිළිබඳව අවබෝධයක් නැතිද, කළු සුදු ධර්ම නොදනියිද එබඳු පුද්ගලයා මෝහයෙන් මුළා වූ කෙනෙකි. එම කරුණු අනුව සමාජයේ ජීවත්වන පුද්ගලයන් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබා ගත හැකි ය.

ඇතැම් විට එම ලක්ෂණ සියල්ලම පවතින පුද්ගලයෙකු ලෙස පෙනී සිටින්නන් ද සමාජයේ දී හමුවිය හැකි ය. ඔබ දෙස හැරී බැලුවද එම ලක්ෂණ අඩු වැඩි වශයෙන් පවතින බව පෙනේවි. නමුත් ඒවා ඒ ආකාරයෙන් පිළිගැනීමට ඔබ කැමැතිද? එම ලක්ෂණ හඳුනාගෙන ඉන් මිදීමට ඔබ කැමැතිවන්නේ නම්, ඔබ යහපත් පුරවැසියෙකු වශයෙන් හඳුනාගත හැකිවෙයි. ඔබ තුළ පවතින අනන්තවත් දුර්ගුණ වසා සමාජයට ඔබගේ බෝසත් ප්‍රතිරූපය දර්ශනය කරන්නේ නොවේදැයි සිතා බැලිය යුත්තේ අන් කිසිවෙකු නොව ඔබ විසින්ම ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව පැහැදිලි වන්නේ සමාජයේ ජීවත්වන පුද්ගලයන් අතරින් වැඩි පිරිසකගේ තත්ත්වය යහපත් නොවන බවය. දුර්ගුණ පිරි පුද්ගලයන් සමාජයේ අධික බවය. එබඳු පුද්ගලයන් සමාජයේ රැඳෙමින් ම අන් අයගේ දොස් දකියි. තමාගේ අඩුපාඩු නොදකියි. ඉඳහිට හෝ දකින අඩුපාඩුවක් වෙනුවෙන් එය සාධාරණීකරණය කිරීමට පෙළඹෙයි. ඉන් වාසි ලබාගැනීමට උත්සාහකරයි. සමාජයේ බොහෝ පුද්ගලයන්ගේ ස්වභාවය එය වුවද, බුද්ධිමත් අවබෝධ පූර්වක පුද්ගලයා සමාජයට ඇඟිල්ල දිගු කිරීමට පෙර තමා දෙසට නැඹුරු කරමින් තමාගෙන් සිදුවූ අඩුපාඩු සියල්ල සිතයි. යහපත අයහපත වරද නිවරද මනාව අවබෝධ කරගැනීමට උනන්දු වෙයි. එය මඟ හරවා ගනිමින් නිවැරැදි වීමේ මාවත තමාගෙන්ම ආරම්භ කරයි.

තමාගේ වරද තමා නිවැරැදිව අවංකව හදා ගත්තද එය අන්‍යයාට කිව යුතුද යන්න නැවත සිතා බලා කළ යුත්තකි. කිව යුත්තේ කෙසේද? ඉන් තමාට වන යහපත කුමක් ද? සමාජයට වන යහපත කුමක්ද? යන්න පිළිබඳව මනා සිහියෙන් කටයුතු කළ යුතු ය. තමා තරම් අන්‍යයා අවංක ද නැත. එසේම තමා තරම් අන්‍යයා වංචනික ද නැත. යන පූර්ව නිගමනය පුද්ගල දියුණුවට අතිශයින් වැදගත් වෙයි.