Print this Article


අන්තරාභවය දහමට එකඟ ද?

අන්තරාභවය දහමට එකඟ ද?

අන්තරාභවය පිළිබඳව බුදු දහම තුළ ඇත්තේ මතවාදයක්. නමුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක පිරිසක් ලෙස අපි බුද්ධ වචනය නිවැරැදිව දැනගත යුතු වෙනවා. ඒ වගේම බුද්ධ වචනය පිළිගත යුතු වෙනවා.

බුදුපියාණන් වහන්සේ අන්තරාභවයක් ගැන කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් කර නැහැ. උන්වහන්සේ භවයක් ගැන ප්‍රකාශ කර ඇත්නම් එසේ ප්‍රකාශ කර ඇත්තේ පුනර්භවය පිළිබඳවයි. එසේනම් බුදුරජාණන් වහන්සේ පුනරුප්පත්තියක් ගැන දේශනා කර තියෙනවා ද? ඒත් නැහැ. පුනරුප්පත්තිය කියන්නේ කුමක්ද? පෙර භවයේ සිටි පුද්ගලයා කිසිම වෙනසක් නැතිව, ඒ තැනැත්තා ම නැවත භවයක උපදිනවා කියන එකටයි පුනරුප්පත්ති කියා කියන්නේ.

වෙනත් ආගම්වලත් මේ පුනරුප්පත්ති පිළිබඳව සඳහන් වෙනවා. සදාතනික ස්වර්ග රාජ්‍යයේ හෝ සදාකාලික අපායේ ඒ අය මේ හිටිය ලෙසම නැවත උපදින බව ඒ ආගමෙහි පිළිගැනීමයි. දැන් ඒ අය එහේ යන්නේ මේ ජීවිතයේ පණ පිටින් සිටින ආකාරයෙන් නොවෙයිනේ. මැරිලා කවදාහරි ඒ තැන් දෙකෙන් එකක නැවත උපදිනවා. ඒ පුනරුප්පත්තිය යි.

ඊළඟට අපි බලමු පුනර්භවය කියන්නේ මොකක්ද කියලා. පුනර්භවය කියන්නේ නැවත භවයක් සකස් කර ගැනීමට යි. කවුද නැවත භවයක් සකස් කර ගන්නේ? තමාම යි. භවයක් සකස් කරගන්නේ තමන්ම නම්, නැවත වෙන තැනකට යන්නේත්, තමා ම නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මෙහිදී අපට උදාහරණයක් මෙසේ සිතන්න පුළුවන්. ගිනි පෙනෙල්ලක් අරගෙන තවත් ගිනි පෙනෙල්ලක් පත්තු කරනවා. ඒ දෙවෙනි ගිනි පෙනෙල්ලේ තියෙන්නේ පළමු ගිනි පෙනෙල්ලේ තිබුණ ගිනි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒක හරිද? වැරැදි ද ? වැරැදියි කියන්න පුළුවන්කමක් නැහැ. දැන් ඒක හරියි කියලා කියන්න පුළුවන්ද? ඒත් බැහැ. ඇයි ඒ? දෙවෙනි ගිනි පෙනෙල්ලේ ගින්නට උපකාරි වුණේ පළමු ගිනි පෙනෙල්ලේ ගින්න යි. ඒ වුණාට දෙවැනි ගින්නට පදනම් වුණේ දෙවැනි පන්දම යි. පළමු ගිනි පෙනෙල්ලෙන් ගිනි අවුලා ගත්තාට දෙවැනි ගින්න පවතින්නේ දෙවැනි පන්දම නිසයි. නච සෝ, නච අඤ්ඤෝ කියා විසුද්ධි මාර්ගය ආදී පොත්වල සඳහන් වී ඇත්තේ මේ නිස යි. එහි තේරුම එයත් නොවෙයි. වෙන එකකුත් නොවෙයි කියන එකයි . ඇයි වෙන එකක් නොවෙයි කිව්වේ? කලින් පන්දමේ බලපෑමක් එහි ඇති නිසායි. එසේනම් අතීතයේ කළ කර්මවල බලපෑමක් අපට තිබෙන නිසා එයම නොවෙයි කියා කියන්න පුළුවන්කමක් නැහැ. අප අතීතයේ කළ කර්මවල බලපෑම් තුළ වෙනස් විඤ්ඤාණයක් සකස් වෙනවා. එය සංවත්තනික විඤ්ඤාණය යනුවෙන් හැඳින්වෙනවා. ඒ සංවත්තනික විඤ්ඤාණය නොනවත්වා ම වෙනස් වෙමින් ගමන් කරන එකක්. එසේනම් කලින් තිබුණ එකමයි කියා කියන්න පුළුවන්කමකුත් නැහැ. ඒ අර කලින් තිබුණ විඤ්ඤාණයට පවතින්නට උපකාරි වුණේ වෙනත් දෙයක් නිසයි.

මේ විඤ්ඤාණය හරියට ගංගාවක් වගෙයි. ගඟක වතුර ගලාගෙන යනවා. දැන් මෙහෙම ගලාගෙන යන වතුර මුලින් පටන් ගන්නා තැන තිබුණ වතුර ම ද අන්තිම හරියේත් තියෙන්නේ? නෑ. ගඟ ඉවර වෙන කොට තිබෙන්නෙ වෙන වතුරක් ද? ඒ වතුර වෙන උල්පතකින් ඉනුවා ද? නැහැ. එහෙනම් මොකක්ද එතැන වුණේ? වතුර වෙනස් වෙනස් ස්වරූප බවට පත්වෙමින් යාමක් තමයි එතැන සිද්ධ වුණේ. වෙනස් වෙමින් යනවා නම් එතැන ඇත්තේ කුමක් ද? අනිත්‍යයක්. එතකොට නිත්‍ය වූ ආත්මයකට එතැන ඉඩ තියෙනවා ද? නැහැ. නිත්‍ය වූ ස්වරූපයකින් තව තැනක පහළ වෙනවා නම් අන්න ඒකට පුනරුප්පත්තිය කියනවා. වෙනස්වීමක් ඇති තැන එය පුනර්භවය නම් වෙනවා. එසේ වෙනස්වීම් ඇතිකරන්නට හේතුවන්නේ කර්මය යි. භව කියන්නේ කර්මය යි. නැවත ඉපදීමට අවශ්‍ය කර්ම සකසා තිබීමට භව කියා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අන්තරාභව කතාවක් නැහැ. එය පසුකාලීනව මහායාන දර්ශනයේ බලපෑම් මත ගොඩ නැගී ආ එකක් බව අපට කියන්න පුළුවන්.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු තුන් සියයකට පසු ධර්මාශෝක රජතුමාගේ කාලයේ දී කෙනෙක් මරණින් පසු ක්ෂණිකව ම උපදින්නේ නැතැයි කියන මතවාදය ගොඩනැඟුණා. එසේනම් ක්ෂණික ව උපදින්නේ නැත්නම් මොකක්ද වෙන්නේ? මැරුණු කෙනා කොහේ හරි සැරිසරනවා. මොකටද සැරිසරන්නේ? උපදින්න හොඳ තැනක් සොයා ගන්නටයි. එසේනම් කවුද නරක තැනකට යන්නේ? කොයිතරම් කාලයක් හරි සැරිසරලා හොඳ තැනකමනේ උපදින්නේ නේද? ඒ කතාව හරි නම්, අන්තර්භවයක් කියලා එකක් තිබෙනවා නම් දුගති කියන ඒවා ලෝකයේ පහළ වීමට පුළුවන්කමක් නැහැ.

සමහර පුද්ගලයන් මියගියාට පස්සේ අරහේ මෙහෙ සැරිසැරුවා. ගස් වල හිටියා. ජය ශ්‍රී මහා බෝධිය ඇසුරු කරගෙන වාසය කළා. එහෙම ඉඳලා හරියට සැකසුණ තැනක් දුටුවිට එතැනට ආවා ආදි වශයෙන් කියන කතාත් අපි අහලා තිබෙනවා. දැන් කවුද මේ අරහේ මෙහේ රවුම් ගහන්නේ? ඒ අන්තරාභවිකයෙක් නොවෙයි. ඒ එක්තරා භවිකයෙක් විතරයි. ලෝකයේ ජීවත් වෙන්නේ දෙවියෝ යි. බ්‍රහ්මයෝ යි. මිනිස්සු සහ තිරිසන් සත්තු විතරක් නොවෙයිනේ. ඇසට පෙනෙන නො පෙනෙන ඕනෑ තරම් භූත, පේ‍්‍රත ආත්ම ලෝකයේ තිබෙනවා. කවුරු හරි මැරෙන විට පහළ වෙන දුර්වල සිතක් නිසා ඒ පුද්ගලයා ජීවත් ව සිටි කාලය තුළ කළ කර්මවලට සරිලන විදිහේ හොඳ හෝ නරක තැනක ඉපදුණේ නැත්නම් ඒ වාගේ තාවකාලික භවයක උපදිනවා. එහෙම තාවකාලික භවයක ඉපදිලා ඒ කර්ම ශක්තිය ගෙවුනාට පසුව ආපසු අර ප්‍රබල කර්මය ඉස්මතු වී එතැනින් චුත වෙලා ප්‍රබල කර්මයට අනුව හොඳ හෝ නරක තැනක උපදිනවා. එවැනි අවස්ථාවක් ගැන අදාළ තොරතුරු ඕනෑ තරම් අපට තිබෙනවා. එහෙම නේද? ඔබ කවුරුත් ධර්මාශෝක රජතුමා පිළිබඳ මෙම කතා පුවත දන්නවා.

ධර්මාශෝක රජතුමා මිය යන වේලාවේ දී රජතුමාගේ හිතට කේන්තියක් ආවා. රජතුමාගේ හිත දූෂීත වී මරණින් මතු රජතුමා භූත පිඹුරෙක් ව ඉපදුණා , ඒ කර්මය ගෙවී අවසන් වූ පසු එතුමා කලින් භවයේ කළ ප්‍රබල කුසල කර්ම ඉස්මතු වී රජතුමා ඒ හා සරිලන හොඳ තැනක ඉපදුණා.

ඒවාගේ ම බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ වාසලක වධකයෙක් හිටියා. ඔහු අවුරුදු පනහක් තිස්සේ ම මනුෂ්‍ය ඝාතන කළා. ඉතින් එහෙම රාජකාරිය කරලා අවුරුදු පනහකට පස්සේ විශ්‍රාම ගිහින් ඔහු තමන්ගේ ගෙදරට වෙලා විවේක පාඩුවේ ඉන්න විටකදී සැරියුත් මහරහතන් වහන්සේ එතැනින් වැඩම කළා. වධකයා සැරියුත් තෙරුන්ට පිණ්ඩපාතය පූජා කරලා සිත පහදවා ගත්තා. එසේ සතුටු සිතින් සිටිද්දි එදා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවූවා. එවිට ඔහුට සැරියුත් තෙරුවන් සිහියට ආවා. ඉක්මනට සැරියුත් හාමුදුරුවන් තමන්ගේ නිවසට වඩමවා ගත්තා. වදකයාට තෙරුවන් සරණ යාමට නමස්කාරය කියන්න කියලා මතක් කළා. ඔහු නමස්කාර පාඨය අමාරුවෙන් කියලා පාණාතිපාතා වේරමතී කියනවාත් එක්කම ඔහුගේ දිව ගිලුණා. ඔහුට කථා කරගන්න බැරි වුණා. එවෙලෙහි ම ඔහු මරණයට පත් වුණා.

සැරියුත් හාමුදුරුවෝ මේ මනුස්සයා මරණයට පත් වූ බව දැක ආපහු පන්සල වෙත වැඩම කළා. දැන් මේක විශේෂ මරණයක්නේ. රජවාසල වධකයා මරණයට පත් වු බව ප්‍රසිද්ධ වුණා.අනිවාර්යයෙන් ම ඔය වධකයා අපායේ යන්න ඇතියි කියලා පන්සලේ හාමුදුරුවරුත් කතා වුණා. මේ කතාව අසා සිටි බුදුපියාණන් වහන්සේ, ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයාගේ අවසාන සිත එසේ නැත්නම් චුති සිත සකස් කළ නිසා මේ තැනැත්තා දැන් ඉපදී සිටින්නේ දිව්‍ය ලෝකයේ බව වදාළා. නමුත් ඉතාම කෙටි කාලයකින් ඔහු එයින් චුතවී අපායගාමි වෙන බවත් වදාළා.

ඒ වාගේ කෙටි කාලීනව උපදින තැන් පේ‍්‍රත ලෝකයේ, භූත ලෝකයේ ආදි තැන්වලත් තිබෙනවා. අර අන්තරාභවය කියන කතාව හැදිලා තිබෙන්නේ ඒ කෙටි කාලවල ඉපදිලා එහෙ මෙහේ සැරිසැරීම හේතු කොට ගෙනයි. එය මහායාන ආගම් දර්ශනය සමඟ ඉදිරිපත් වූවක්. මොග්ගලීපුත්ත මහ රහතන් වහන්සේ විසින් රචිත අභිධර්මයට අයත් කථාවත්ථුපකරණය නම් ධර්ම ග්‍රන්ථයක් තිබෙනවා. මෙම කථාවත්ථුපකරණය ග්‍රන්ථය මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ලිව්වේ ම එකල්හි තිබූ මිථ්‍යා දෘෂ්ඨික මතවාද පන්සියයක් වෙනස් කිරීමටයි. ඒ මතවාද අතර අන්තරාභවය කියන දුර්මත ය ද අඩංගු වෙනවා. එය ථේරවාද බුදුදහම තුළින් ප්‍රතික්ෂේප වූවක් බව මතක තබා ගත යුතු වෙනවා.