Print this Article


සිත පීඩනයෙන් මුදවා ගත යුතුය

සිත පීඩනයෙන් මුදවා ගත යුතුය

සීල විසුද්ධියෙන් අපේ සිත ආරක්ෂා කර ගැනීම පිළිබඳ මීට ඉහත ලිපි මාලාවෙන් පැහැදිලි කළා.

ඒ සීල විසුද්ධියෙන් අපේ සිත ආරක්ෂා කර ගත් නිසා සීලය ආරක්ෂා වන අයුරෙන් සිත හදා ගත් පසුව වෙනදා සිතෙහි පැවැති පීඩනය අඩුව යනවා. සීලය ආරක්ෂා වන පරිදි සිත හදාගත් විට, පාපයෙන් නිදහස් වන විට සිතට මහා සතුටක් ඇතිවෙනවා. එය ප්‍රමෝදය කියලත් සඳහන් වෙනවා. ඒ ප්‍රමෝදයෙහි සිත ඇලෙන විට, සීලය නොකැඩී ආරක්ෂා වෙනවා. සිත ක්‍රමානුකූල තත්ත්වයකට පත්කර ගැනීම පිළිබඳවයි සීලය පිළිබඳ විස්තරයේ පැහැදිලි කළේ.

ඒ සමගම අප තවත් පැතිකඩක් ගැන දැනුම්වත් විය යුතුයි. එනම් අපේ සිත දුකෙන් මුදවා ගැනීම පිළිබඳවයි. පීඩනයෙන් සිත මුදවා ගත යුතුයි. දුකෙන්, පීඩනයෙන් එසේ සිත මුදවා ගැනීමේ වැඩ පිළිවෙල ඊට එහාට ගමන් කළ යුතුයි. සීල විසුද්ධියෙන් සකස් කරගත් අපේ සිත දෝරේ ගලා යන උල්පතකින් ජලය ලබාගන්නාක් මෙන් ඇතුළාන්තයෙන් පී‍්‍රතිය ඉපදුණා. සමහර විට සීලය රැකගෙන අපේ සිත අකුසලයෙන් දූෂණය වන ස්වභාවයක් තිබෙනවා. උදාහරණයක් ලෙස බලමු. පරුෂ වචන කියන්නෙ නෑ. නමුත් සිත පරුෂ වන ස්වභාවයක් තිබෙනවා.

කාමය වරදවා හැසිරෙන්නේ නෑ. නමුත් රාගාදී කෙලෙස්වලින් පීඩනයක් තිබෙනවා. ඒවගේ අපේ සිත කෙලෙස්වලට සම්බන්ධ වී තිබෙනවා. නමුත් වීථික්කමන හෙවත් ක්‍රියාත්මක වන මට්ටමට යන්නේ නෑ. එවිටත් අප පසුවන්නේ හිතේ අපහසුවෙන්. අමාරුවෙන්. විශේෂයෙන් සීල විසුද්ධියෙන් මෙය තේරුම්ගත් තැනැත්තා උත්සාහ කරන්නේ සිත පිරිසුදුව තබාගත හැකි ක්‍රමවේදයක් සොයන්නයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සීල විසුද්ධියෙන් සිත පිරිසුදු කර ගත් තැනැත්තාට ඊට එහා ගිය ක්‍රමවේදයක් පවතිනවා. ඒ තමයි සිතේ කෙලෙස් ධර්මවලින් ඈත්ව වාසය කළ හැකි ස්වභාවය.

ධර්මයෙහි ඒ පිළිබඳ සඳහන් වන්නේ අකුසල සිත කුසලයෙන් ම මැඩ පැවැත්වීමයි. අකුසලයට ඉස්මතු වන්නට ඉඩ නොදී කුසලයෙන් අකුසලය යටපත් කරමින් තදබල ප්‍රබල තත්ත්වයකට කුසලය වර්ධනය කරගත යුතුයි. එහි අවසාන ප්‍රතිඵලයයි, විස්කම්භන ප්‍රහාණය ලෙස සලකනු ලබන්නේ. ඒ කියන්නේ කුසල සිතිවිලි වර්ධනය වී අකුසලයට ඉස්මතුවීමට ඉඩ නොතැබීමයි.

ඒ තත්ත්වය උදාහරණවලින් ම තේරුම් ගත හැකියි. අප සතෙකු ජීවිතක්ෂයට පත් කරන්නේ නෑ. එහෙත් එබඳු සිතිවිලි පහළ වෙනවා. කෙනෙකු තවත් අයෙකුට පහර දෙන්නට ඕනෑ යැයි සිතිවිලි පහළ වන්නේ තමාගේ සිතිවිලිතුළ වෛරසිතිවිලි ඇතිවන නිසයි. එහෙත් පහරදීමක් සිදුවන්නේ නෑ.

එහෙත් එබඳු සිතිවිල්ලක් නිසා එබඳු තැනැත්තා පසුවන්නේ හිතේ අමාරුවෙන්. අපහසුවෙන්. එබඳු සිතිවිල්ලක්වත් පහළ නොවන්නට නම්, ඒ තැනැත්තා මෛත්‍රිය වඩන්නට ඕනෑ. මෛත්‍රී හැඟීම වර්ධනය කර ගන්නා කෙනෙකුට මේ ලෝකයේ අන් අයට තරහ එන තැන්වලදී තරහ සිතිවිලි එන්නේ නෑ. අපේ සිතට එන ප්‍රබල අකුසල වලින් අපේ සිත මුදවා ගන්නට ඕනෑ. බාහිර අකුසල බලවේගයන්වලින් සිත ආරක්ෂා කරගත යුතුයි. අකුසල බලවේගයන්ගෙන් සිත ආරක්ෂා කර ගත යුතු වන්නේ කුසල බලවේගයන් වර්ධනය කර ගැනීමෙනුයි. එය කෙසේ සිදුවන්නේ දැයි බක් අව අටවක පෝදා (අපේ‍්‍රල් 26 වනදා) පත්‍රයේ පළවේ.