Print this Article


සසර පුරුදු අතහරින්න ලෙහෙසි නෑ

සසර පුරුදු අතහරින්න ලෙහෙසි නෑ

පින්වතුනේ බුදුගුණ සිතන්න සිතන්න ගත සිත සැනසෙනවා. ලොව්තුරු ධර්මය ලෝකය තුළ විද්‍යමානයි. ජීවමානයි. ලොව්තුරු බුදු මිහිර, ලොව්තුරු ධර්මය ලොව තුළ පැවතුණත්, ශ්‍රවණය කළත් බුදු බණ සිත්වලට ඇහෙන්නේ නැහැනේ. වීතරාගී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොව්තුරු ධර්මය දකින්න, අහන්න තරම් පින් ඇති අප මේ කොහේද යන්නේ? මොනවද කරන්නේ?

වෛරය සිතතුළ පිරිලා. ක්‍රෝධයෙන්, නපුරු කමින්, ඉරිසියාවෙන් පිරුණ ජීවිත. වෛරයෙන් පිරුණ ලෝකය දිහා බලන්න වෙයි කියා අපි ඇස් අන්ධ කරගත්තම හරියනව ද? වෛරය දිහා අපිත් වෛරයෙන් ම ද බලන්නේ. මේ එක් ආත්මෙකට විතරක් සීමා වූ දේ් ද? නැහැ. සසරේ අපි පුරුදු කරගෙන ආ දේ්. ඒවා අත් හරින්න ලේසි නැහැ.

සංසාර ගමනේ අපි කොච්චර දිග ගමනක් ආවද? තව කොච්චර දිග ගමනක් යන්න තියෙනව ද? කියා කාට ද කියන්න පුඵවන්. වසංගත රෝගයක් පැතිරුණොත් එයින් බේරෙන හැටි දන්නවා. ඒ රෝගයෙන් වෙන් වෙන හැටි දන්නවා. කවුරුත් දන්නෙ නැහැනේ ඉරිසියාව කියන්නෙත් වසංගත රෝගයක් කියා. වෛරය ක්‍රෝධය මේ සියල්ල වසංගත රෝග.

ඒත් අපි ඒවා රෝග හැටියට හඳුනාගෙන නැහැ. ඒකනේ අපිට වැරදිලා තියෙන්නේ. ඉරිසියාව, වෛරය, ක්‍රෝධය නමැති වසංගත රෝග අත් අරිනවා වෙනුවට තව තවත් අපි ඒවට ළං වෙනවා. ඇයි ටික ටික හරි මේ රෝගවලින් පරිස්සම් වෙන්න බැරි. ධර්ම ඤාණයෙන් ලෝකය දිහා බලන්න පුරුදු වෙන්න.

සිත ධර්මයට ළං වෙනකොට හඳුන ගන්න පුළුවන් නේද? අත් හළ දේ මොනවද කියා. එහෙම නැතුව වෛරය දිහා අපිත් වෛරයෙන් ම බලන එක හරිද? ඉරිසියාව අබියස අපිත් ඉරිසියාවෙන් ම බැලුවොත් මොකද වෙන්නේ. ඇයි පින්වතුනේ මේ ටික තේරුම් ගන්න බැරි. අපට හැමදාමත් හිත් රිදෙන දේ විතර ද ජීවිතයට හමුවන්නේ. අනේ ඔබ අනුන්ගේ හ ිත් රිදෙන දේ කතා කරන්න එපා. වැඩකට නැති දේ කතා කරන්න එපා. මුකුත් ම කතා කරන්න දෙයක් නැතිනම් අනුන්ට අවැඩ දේ කතා නොකර නිහඬව සිටීම හොඳයි. අප කතා කරන වචනයේ පවා මහා පුදුම බලයක් තියෙනවා. හොඳ දෙයක් ගැන කතා කරන විට කොච්චර වටිනවද?

අපේ නික්ලේශී, වීතරාගී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදටත් ආමිස දානයෙනුත්, ප්‍රතිපත්ති දානයෙනුත්, පිදුම් ලබනවා. එහෙම පිදුම් ලබන්න තරම් භාග්‍යවන්ත වුණේ උන්වහන්සේගේ සසරේ පින් මහිමයයි. සංසාරේ පින් පුරෝගෙන ආ උතුම් මනුස්සයාණන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ විතරයි. දෙවි බඹුන්ගේ පවා පූජාවන්ට සුදුසු මේ උතුමන් වහන්සේ සසරේ මොන තරම් පින් කරන්න ඇද්ද? ස්වාමිණී බුදුරජාණන් වහන්සේ අදටත් අපි ප්‍රතිපත්ති දානයෙන් ඔබ වහන්සේ පුදනවා. බ‍්‍රහ්මචාරී ජීවිතය කොච්චර වටිනවාද? බ්‍රහ්මචාරී ජීවිතය රකින ඇත්තා ජීවිතේ නැති වුණත් තමන්ගේ ප්‍රතිපත්ති දානය වන බ්‍රහ්මචාරී ජීවිතය රැකගන්නවනේ. ස්වාමිණී භාග්‍යවතුන් වහන්ස, ඒ ඔබවහන්සේට ප්‍රතිපත්තියෙන් පිදුම් කරන්න ඕන නිසයි. අද ලෝකයේ මාර ධර්මය විකසිත වෙලා. මාරයා අප පරාජය කරන්න හදනවා. බුදුහාමුදුරුවනේ මාර රාජ්‍යයක ජීවත් වුණත් අපි අපේ ප්‍රතිපත්තිය කාටවත් බිඳ දමන්න ඉඩ හරින්නේ නැහැ.

එදා මහ බෝසතාණන් වහන්සේ මහ ඝන වනන්තරේ බවුන් වඩන මහ බමුණුතුමෙක්. ඒ වනයේ ම අතරමං වූ රූමත් තරුණ කාන්තාවක් බමුණුතුමා අභියසට පැමිණියා. ‘අනේ මට අනුකම්පා කරන්න.’ මා මේ වනයේ අතරමං වූ කාන්තාවක්. මට අනුකම්පා කර අද රාත්‍රිය පමණක් මේ කුටියේ නවාතැන් දෙනවාද? ‘නැගණියනේ හෙට හිරු පායන තුරු ඔබ මගේ කුටියේ නවාතැන් ගන්න. රූමත් කාන්තාව බමුණුතුමාගේ කුටියේ නවාතැන් ගත්තා. බමුණුතුමා අසල කැලෑවේ ගල් තලාවක රාත්‍රිය ගත කළා. මධ්‍යම රාත්‍රිය ළං වුණා. බමුණුතුමාගේ සිත වෙනස් වෙනවා.

මේ රාත්‍රියේ රූමත් තරුණියක් මා කුටියේ. තට්ටු කළා දොරට නැගණියනේ දොර අරින්න. මා බමුණුතුමා. නැහැ ඔබ බමුණුතුමා නොවෙයි. ඔබ සොරෙක් ඒ නිසා දොර අරින්නේ නැහැ. මහා ලීයක් ඔසවාගත් බමුණුතුමන් කුටියේ බිත්තියට හේත්තු කරනවා. ටිකක් උඩට නගින බමුණුතුමාට වැටහෙනවා සිතේ ස්වභාවය. මේ සිත මොනතරම් හොඳට පවත්වාගත්තත් පොඩ්ඩ වැරදුන තැන වෙනස් වෙනවා.

ස්ථිර අධිෂ්ඨානයෙන් යුතු පිරිසුදු සිතක් හදාගත් තැනැත්තා ජීවිතේ ජයග්‍රණය කරනවා. ‘බමුණුතුමා කල්පනා කරනවා. මා බවුන් වඩන කෙනෙක්. ජීවිතේ කෙළවර වූවත් මා මෙතෙක් කාලයක් රැකගත් ප්‍රතිපත්තිය විනාශ කරගන්නේ නැහැ. ඒ දැඩි අධිෂ්ඨානයෙන් ම උඩට නැගි බමුණුතුමන්ගේ ගෙලට මහා ලීයක් වැටෙනවා. බමුණුතුමා මියගියත් සිතේ ස්වභාවය මොහොතකින් ම හඳුනා ගත් නිසා ප්‍රතිපත්තිය බිඳුණේ නැහැ.