Print this Article


සිත රැකුණොත් ගතත් රැකෙයි

සිත රැකුණොත් ගතත් රැකෙයි

මනුෂ්‍යයන් වශයෙන් අප ගැන ම අපි මොහොතක් කල්පනා කර බලමු. අපට පුද්ගලයෙක් කියලා බැලූබැල්මට පෙනෙන්නේ මේ පුද්ගලයාගේ මතුපිටින් පෙනෙන රුපකාය යි. ඉතින් අප අපගේ අනන්‍යතාව තහවුරු කර ගන්නට ඕන නිසා ඒ ඒ පුද්ගලයාට නමක් දෙනවා උපදින අවස්ථාවේ දී ම. ඉතින් ඒ රූපකායට යි මේ නම නිසා හැඳීන්වීමක් හිමිවන්නේ.

ඒ වගේම තමා ඇහැට පෙනෙන්ට තිබෙන, ස්පර්ශ කරන්නට පුළුවන්කම තිබෙන මේ රූපකායට වැඩි වටිනාකමක් දෙනවා. ඒ විතරක් නොවේ. ඇතැම් තරුණ තරුණියන් පිළිබඳ, ප්‍රේමසම්බන්ධතා පිළිබඳ ගැටලුකාරි ප්‍රශ්නවල දී මේ රූපකාය මුල්කරගෙන අඬදබර, පවුල් අවුල්, කෝලාහල, පමණක් නොව සිය දිවි නසා ගැනීම් අවුරුද්දකට මේ රටේ පමණක් කොපමණ සිදු වෙනවා ද? යන්න මොහොතක් සිතා බලන්නට ඕන. ඇත්තෙන් ම අපි කවුරුවත් මේ රූපකාය නිසා ඇති වන මේ ගැටලුකාරි අවස්ථාවල දී අපේ නාමකාය ක්‍රියාකරන ආකාරය සිතට ගන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී මේ නාමකාය ක්‍රියා කරන ආකාරය බැලුවා නම් ඒ කිසිදු අවුලක් ඇති නො කර ගෙන බුදුබණට අනුව ජීවිතය පහසුවෙන් පවත්වා ගන්නට ඕන ම අයෙකුට හැකියාව තිබෙනවා. ඒ නිසා රූපකාය හා නාමකාය පිළිබඳ තරමක් දුරට විමසා බැලීම ප්‍රයෝජනවත් වෙනවා කියා මම සිතනවා.

රූපකාය කියා කියන්නේ සම්,මස්,ඇට,නහරවලින් සකස් වුණු, මේ බඹයක් පමණ වූ ඇහැට පෙනෙන, එහෙමත් නැතිනම් අතින් අල්ලා ස්පර්ශ කරන්නට හැකියාවක් පවතින භෞතිකමය වූ ශරීරයට යි. ඉතින් රුපකාය නම් වන භෞතිකමය නිර්මාණය ක්‍රියාත්මක කරන, ඇසට හසු නො වන ස්පර්ශ කළ නො හැකි තවත් කොටසක් තිබෙනවා. ඒකට කියනවා නාමකාය හෙවත් විඤ්ඤාණකාය කියලා. ඉතින් අප යම් අවස්ථාවක මරණයට පත් වෙනවා කියා කියන්නේ මේ රූපකායයන්ගේ බිඳ වැටීම යි. කුණු වන්නේ, ඕජස් ගලන්නේ, පණුවන්ට ගොදුරු වන්නේ මේ රුපකාය යි. හැබැයි එතන නාමකායේ පැවැත්මක් නැහැ. ඒ වෙනවිට නාමකාය ඉගිල්ලිලා ගිහින්. ඒ නිසයි රූපකාය නො පවතින්නේ. ඉතින් ඒ නිසා රූපකාය ජීවත් කරන ශක්තිය නාමකාය හෙවත් විඤ්ඤාණකාය කියා කීවොත් වඩාත් නිවැරැදි වෙනවා. පුද්ගලයා කියලා කියන්නේ රූපකාය හා නාමකාය දෙකේ එකතුව යි. රූපකාය ක්‍රියාත්මක කරන ශක්තිය පවතින්නේ නාමකාය තුළ යි. මනුෂ්‍යභවයක් ලබා ජීවත් වන පින්වත් පුද්ගලයා මිනිස් බවින් ඉකුත් ව ගොස් දිව්‍ය භවයක් ලබනවා කියන්නේ ඔහුගේ රූපකාය ඉතිරිකරලා විඤ්ඤාණකාය නම් වූ නාමකාය එයින් ඉවත්ව යාම යි. ඉතින් එතකොට නාමකාය නිරුද්ධ වනවා. මළකඳක් බවට පත් වෙනවා. නවසීවතිකයට අනුව ක්‍රමානුකූලව කුණු වෙලා, පණුවන් ගහලා, ඕජස් ගලලා, ඇටසැකිල්ලක් බවටත් පත්වෙලා මහපොළවට පස්වෙනවා. දිරලා යනවා. කලකට පසුව එවැනි පුද්ගලයෙක්, භෞතිකමය වූ නිර්මාණයක් ලොව පැවතියා ද යන්නවත් හිතා ගන්න අමාරු වෙනවා. දැන් ඉතින් රුපකාය ද? නාමකාය ද? ප්‍රධාන වන්නේ කියලා හිතා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ රූපකාය දුබල කරන, ලෙඩ කරන නොයෙක් රෝග පීඩා ගැන අප දන්නවා. අපටත් මේ හිටියට නොයෙක් රෝග පීඩා තිබෙනවා. හොඳීන් සිහියෙන් විමසා බැලුවොත් මේ රෝග පීඩා නැති කර ගන්නට අප නොයෙක් ආකාරයෙන් වෙහෙසෙනවා. මුදල් වැය කරනවා. බේත්හේත් කරනවා. විරුද්ධ ව අණවින කොඩිවින කරල ඇති කියලා ඒවාටත් විශාල වශයෙන් මුදල් වැය කරනවා. හැබැයි අප හැමවිට ම තේරුම් ගන්නට ඕන මීට වඩා බලවත් රෝග රැසකින් අප දිවා රෑ පමණක් නොව නින්දේදි පවා පීඩා විඳීනවා. ඒවට කියනවා මානසික රෝග කියලා. මේ මානසික රෝගවලට පිළියම් කරන්නට අප දක්වන උත්සාහය ඉතාමත් ම අල්ප යි. පොදුවේ බලනවා නම් උත්සාහයක් නැති තරම්. හැබැයි දිවා රාත්‍රියේ පෙළෙන මේ මානසික රෝග බොහොමයක් සුව කර ගත්තොත් අපට හට ගැනෙන කායික රෝගත් අඩු වෙන බව හිතන්නේ නැහැ. මේ රූපකයෙහි හටගන්නා විවිධ රෝග සීමා වන්නේ මේ භවයට පමණ යි. මේ කුණු කය වෙතින් නාම කාය ඉවත් වූ පසු ඒ භෞතික වස්තුව නිරුද්ධ වුවත් නාමකාය ක්‍රියාත්මක වීමෙන් අප විසින් නිරන්තරයෙන් රැස්කරනු ලබන කර්ම හෙවත් සංස්කාර සංඛ්‍යාත කෙලෙස් රෝග විවිධාකාර වශයෙන් ශක්තිමත් වෙමින් අපේ සසර ගමන දිගේ ඒවා ගමන් කරනවා.මේ රෝග මූලික වශයෙන් රාග, ද්වේෂ හා මෝහ වශයෙන් ත්‍රිවිධාකාර වුවත් ඒවා ද විවිධ අනුකොටස් වශයෙන් ක්‍රියාත්මක වෙමින් කෙලෙස් වශයෙන් අප හැම කෙනෙකුට ම මේ සසර ගමන තුළ නොයෙක් කටුක අත්දැකීම් විඳීමින් ක්‍රියා කරන්නට සිදුවෙන බව මොහොතක් වත් සිතනවා නම් එය ඉතා වැදගත් වෙනවා. රූපකාය ශක්තිමත් කරන්නට ආහාරපාන ගන්නවා. එය හැඩ වැඩ කරන්නට ව්‍යායාම කරනවා. ඒ වගේ ම තමා සුවඳවත් කරන්නට සුවඳ විළවුන් ගල්වනවා. ඉතින් එහෙම නම් මේ සසර පුරාවට අප සසරේ බැඳ තබමින් දුක් විඳවිමට හේතු වන කෙලෙස් හෙවත් මානසික රෝග සුවපත් කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අප කෙතෙක් උනන්දු විය යුතු ද යන්න අවබෝධ කටයුතු වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වූයේ විශේෂයෙන් කෙලෙස් රෝගයන්ගෙන් අප මුදවා ලීමේ මාර්ගය කුමක් ද යන්න අපට අනුශාසනා කිරීමට යි. මේ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය පිළිබඳ කරුණු දක්වන බුදුරජාණන් වහන්සේ සමථ හා විපස්සනා භාවනා ක්‍රම පිළිබඳ ව අපට පැහැදිලි කර දී තිබෙනවා. මේ මගින් සිදු කරන්නේ සිත කිළිටි කරන මේ කෙලෙස් හෙවත් තවත් ආකාරයකින් කියනවා නම් සිත ලෙඩ කරන චිත්ත උපක්ලේශ සංසිඳුවිම යි.

අපේ බුදුරජාණන් වහන්සේ මේ සිත පිළිබඳ කරන විග්‍රහය පළමුවෙන් ම අප විසින් උගතයුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති මේ ඉගැන්වීම අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි දී මොනවට පෙන්වා දී තිබෙනවා. එහි දී උන්වහන්සේ මේ අකම්මනීය වූ එනම් කර්මයට යෝග්‍ය නො වූ සිතෙහි අහිත බව මෙන් ම මනාසේ නො වඩනා හෙවත් අභාවිත වූ සිත තරම් විපත්තිකර වු තවත් ධර්මතාවක් උන්වහන්සේ විසින් නොදකිනු ලබන බව එහි ආරම්භයේ දී ම පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා මේ සිත කර්මණ්‍ය බවට පත් කරන්නට ඕන. භාවිත වූ සිතක් ඇති කර ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සිත නොවැඩුවොත් විදර්ශනා දි අරමුණු සඳහා යොමු වීමක් වන්නේ නැහැ. එයින් සිදු වන්නේ සසර දුක් වඩ වඩා ලබා දෙමින් සසර පැවැත්ම දිගු වීම යි. අරමුණු පිටු පස්සේ දුවන මේ සිත දමනය කර ගැනීමේ අගය ද උන්වහන්සේ පෙන්වා දෙනවා, එසේ දමනය නො වූ සිත තරම් අහිත, අනර්ථය පිණිස හේතුවන කිසිවක් මේ ලොවෙහි නො දකින උන්වහන්සේ පසිඳුරන්ට හසු වන සිත දමනය කර ගැනීමෙන් ඇති වන අර්ථයෙහි, ලාභයෙහි උසස් බව ද පෙන්වා දෙනවා. එහි දී තවදුරටත් සිත නිවැරැදිව පවත්වා ගැනීමේ අවශ්‍යතාව, දූෂ්‍ය බවට පත් නො කර ප්‍රසන්න තත්වයෙන් පවත්වා ගැනිමේ අවශ්‍යතාව, එවිට මූලික වශයෙන් පුද්ගලයා දසකුසලධර්ම යොමු වන ආකාරය පමණක් නොව ඒ මගින් ආර්ය මාර්ගය සාක්ෂාත් කර ගන්නා ආකාරය ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දි තිබෙනවා. නො කැළඹුණු විලක් පොකුණක් තුළ මෙන් එහි සැරි සරණ මත්ස්‍යයන්, සිප්පි බෙල්ලන්. කැට කැබිලිති ආදි ය ද මැනවින් දක්නා මෙන් ආත්මාර්ථය පිණිස පරාර්ථය පිණිසත් ක්‍රියා කරන ආකාරය මොනවට වැටහෙන, පෙනෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දි තිබෙනවා.

එහි දී පෙන්වා දෙන ඉතා වැදගත් කරුණ වන්නේ මේ සිත භවාංග වශයෙන් පවත්නා තාක් කල් සිත අතිශයින් ප්‍රසන්න යි. සිත භවාංග වන්නේ කුසල් අකුසල් දෙකින් ම තොරව සිත පවත්නා අවස්ථාව යි. බොහෝ විට කර්මස්ථානයක් දිගින් දිගට සිහියෙන් වඩන යෝගියා මොහොතක් වුව ද මේ අත්දැකීම විඳීන අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවනි, එහෙත් පුහුදුන් ගති නැවත නැවතත් ඉස්මතු වූ විට මේ තත්වය වෙනස් වෙනවා. නැවතත් සිත කැලඹුණු තත්වයට පත් කර ගන්නවා. ක්ෂීණාශ්‍රව උත්තමයන් වහන්සේලා හැමවිට ම සිත් පහන් බවෙන් පවත්වා ගෙන යනවා. එයට හේතු වන්නේ උන්වහන්සේලා සියලුම කෙලෙස් අංශුමාත්‍රයකුදු ශේෂ නො කර දුරු කර සිටිනා නිස යි. එසේනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පුහුදුන් සත්වයා අශ්‍රැතවත් බව නිසා භවාංග වන සිත පවත්වා ගෙන යාමට අසමත් වන බව යි. එහෙත් ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයන් වහන්සේ ඒ භවාංග සිත නිරතුරුව පවත්වාගන්නේ කෙලෙස් සිතිවිලිවලින් උන්වහන්සේගේ සිත පීඩාවට පත් නො කරන නිසයි. ඒ උතුමා නිරන්තරයෙන් චිත්ත භාවනාවට යොමු වෙනවා. උන්වහන්සේ විවේක සුවයක් විඳීනවා කියන්නේ චිත්ත සමාධියෙන් ජනිත සුවයෙන් කල් ගෙවනවා කියන එක යි. එහෙත් අශ්‍රැතවත් පෘතග්ජනයා කිසිවිටෙකත් භවාංග වන සිත පවත්වාගෙන යාමට පොහොසත් වන්නේ නැහැ. ඒ කුමක් නිසාද කියනවා නම් හදිසියෙන් තොරතෝංචියක් නොමැති ව ක්ෂණික රාගා දි අරමුණුවල එල්බෙන තරමට සිත අකර්මණ්‍ය, අභාවිත, අගුත්ත, අසංවර, අදාන්ත බවකින් ඔහු පසු වෙන නිස යි. එහෙම නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අප හැමවිට ම මේ සිතට ඕන ආකාරයෙන් කුළුහරකෙකුගේ ස්වභාවයෙන් සිතට අරමුණු ගන්නට නො දී ශ්‍රැතවත්භාවය වැඩි දියුණු කර ගනිමින් චිත්තසමාධිය ඇති කර ගැනිම පිණිස කල්‍යාණමිත්‍ර සහාය ලබා ගැනිමට ක්‍රියා කිරිම යි. ඉතින් දැන් අපට වැටහෙනවා මේ සිත යහපතට මෙන් ම අයහපතට යන දෙකට ම හරවා ගැනිමේ ශක්තිය අප සතු බව. එය පැහැදිලිව තේරුම් අරගෙන ක්‍රියා කිරිම යි අප විසින් කළයුතු වන්නේ. එහි දී කල්‍යාණ මිත්‍ර සේවනය. සද්ධර්මශ්‍රවණය, යෝනිසෝමනසිකාරය හා ධර්මානුධර්මප්‍රතිපත්තියෙහි යෙදීම යන අවශ්‍යතා සපුරා ගතයුතු බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කර තිබෙනවා.