Print this Article


මිහිරිතම සුවඳ සහ සුවය

මිහිරිතම සුවඳ සහ සුවය

යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන්ධකං
ඒවං සුභාසිතා වාචා
අඵලාහෝති අකුබ්බතෝ
(ධම්ම පදය – පුප්ඵ වග්ගය)

ප්‍රසන්න වූ මල්වල ගුණාත්මක බව තීරණය කිරීම සඳහා හේතු වන මූල සාධක දෙකක් පිළිබඳව සඳහන් වන අතර සමීප ගාථා ද්විත්වයකින් එය ගෙන හැර දක්වා ඇති අයුරු ඉතා මනහර ය. එය අගන්ධක හා සගන්ධක වශයෙන් වර්ග කිරීමේ දී සුවඳ නැති මල් හා සුවඳ ඇති මල් වශයෙන් අරුත් ගැන්වේ.

බුද්ධ කාලීන භාරතයෙහි පමණක් නොව වර්තමාන භාරතයෙහි ද මල් පිළිබඳව ඇත්තේ මහත් ඇල්මකි. එය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. එදා භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන අවස්ථාවන්හි දී මග දෙපස අප්‍රමාණ රුවින් හා ගුණින් යුතු මල් වර්ග දකින්නට ඇත. රජ ගෙදරට මල් සපයන මල්කරුවෙකු වූ සුමන නම් පුද්ගලයෙකු රජුගෙන් ලැබිය හැකි මරණ දඬුවම ද නොතකමින්, ඉමහත් ශ්‍රද්ධාවකින් යුතුව මල් පුජා කළ අවස්ථාවක් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් ඉතා දුෂ්කරව අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවක ශ්‍රාවිකාවන් සඳහා සන්නිවේදනය කිරීමේ දී විවිධ ක්‍රම උපායන් භාවිත කරන ලද ආකාරය පිළිබඳව ද අපේ ත්‍රිපිටක ධර්මයෙහි සඳහන් වේ. උන්වහන්සේගේ ධර්ම සන්නිවේදනයෙහි සුවිශේෂත්වය වන්නේ ඒ සඳහා යොදා ගත් උපමා ශ්‍රාවක පිරිස අපහසුතාවයට පත් කළ ඒවා නොවීම ය. එම නිදසුන් නිතර නෙත ගැටුණ, ඉතා හොඳින් හඳුනන, හිතට නෙතට හුරු පුරුදු සාධකයන් වීම නිසා ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිවීම දහම ඉක්මනින් ප්‍රචලිත වීම සඳහා ද හේතු සාධක වන්නට ඇත. ජීවිතයක අසාර්ථකත්වය හා සාර්ථකත්වය සඳහා ගුණාත්මකත්වය කොතරම් හේතු සාධක වන්නේ ද යන්න මෙම ගාථා ධර්මයන්ගෙන් මනාව පැහැදිලි කොට තිබේ.

ධර්මය පිලිබඳ දැන උගත්කම් ඇතත් එය නොපිළිපදින පුද්ගලයන් පිළිබඳ බුදුදහමින් ලබාදෙන අර්ථකතනය වන්නේ සුවඳ නැති මල් පළඳින පුද්ගලයෙකු උපමා වශයෙන් ගනිමිනි. සිත්කළු වූ මනා පැහැයෙන් යුතු විවිධ මල් වර්ග අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් මල් පළඳින අය එබඳු මල් නොපළඳිනුයේ ඒවායේ කිසිදු සුවඳක් නැති නිසා ය. මල් පිළිබඳ සියල්ලන්ගේ ම අපේක්ෂාව වන්නේ මල් නම් ඒවා සුවඳවත් බවක් තිබිය යුතු බව ය. අපේක්ෂිත සුවඳ නොමැතිනම් එම මල් පැළඳීම ප්‍රයෝජනවත් ක්‍රියාවක් නොවේ. තථාගත ධර්මය ද යමෙක් ඇසීම හා ඉගෙනීම සිදුකරන්නේ නමුදු පිළිපැදීම නොකරන්නේ නම් එය උතුම් ධර්මය ප්‍රයෝජනයකට නොගැනීමක් වන්නේ ය. සුවඳ නැති මල් පැළඳීමක් ලෙසින් එය පෙන්නුම් කොට ඇත. එබඳු පුද්ගලයන් දහමෙහි හිත සුව නොලබන නිසරු පුද්ගලයන් ලෙස නම් කොට තිබේ.

මෙහි “පුප්ඵං” යන වචනයෙන් දක්වා ඇත්තේ මල් පිළිබඳව ය. මෙහි දැක්වෙන මල් පැහැයට පමණක් සීමා නොවන්නේ මතු නොව සමන්, තුවරලා, බෝලිද්ද, සපු, නා, සේපාලිකා ආදී බොහෝ සුවඳවත් මල් නම් වශයෙන් දැක්විය හැකි ය. මෙම මල් පැළඳ දරන්නාගේ සිරුර සුවඳවත් වන්නේ ය.” ඉන් තමා මෙන්ම අන් අය ද සතුටට පමුණුවනුයේ, මල් පැළඳීම අර්ථවත් වන්නේ ය. මෙම ඵලදායිතාවය සඳහා හේතු වූයේ පළඳින ලද පුෂ්පයන්හි වර්ණවත් බව නොවේ. එහි පැහැපත් බව සුවඳවත් බව, එකට එක්වීම නිසා අපේක්ෂිත අරමුණ සපුරා ගත හැකිවීමේ ස්වභාවය මැනවින් පෙන්නුම් කොට තිබේ. “සුභාසිතා වාචා” යනුවෙන් දක්වා ඇත්තේ ත්‍රිපිටක ධර්මය වනවා මතු නොව එය තුන් ලෝ වාසීන්ගේ ම හිත සුව පිණිස තිලෝගුරු තථාගතයන් වහන්සේ විසින් දේශිත බුද්ධ වචනය ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වේ. මෙම උතුම් දහම මැනැවින් දැන උගෙන දරන්නේ, පිළිපදින තැනැත්තාට පමණක් නොව ඇසුරු කරන්නන් දක්වා වූ සියල්ලන්ටම සුවඳ මලින් හමා එන මිහිරිතම සුවඳක් සේ සතුට හා සුවය ජීවිතය පුරා රැඳී පවතින බව ප්‍රකාශ කෙරේ. ‘සඵලාහෝති’ සඵලවත් බව මින් අර්ථවත් කරන අතර එය නොමැති තැන ඇත්තේ අපලවත් බව හෙවත් ඵල රහිත බවට නිදසුන් වූ සුවඳ නැති මල් පැළඳීම හා සමාන වේ. සඵලවත් බව ලෙස මෙහි දක්වනු ලබන්නේ දහමට අනුව ඇති කරගන්නා වූ උතුම් හැසිරීම තුළින් ලොව්තුරා සුවය සාක්ෂාත් කර ගැනීම ය. බුදු වදන දැන ඉගෙන, එය නොපිළිපදින්නාට එම ලොව්තුරා සැප සමීප කරගැනීමේ නොහැකියාව අපලදායී බැවින් යුක්ත වන බව අතිශය උචිත ආකාරයෙන් මෙහි දක්වා තිබේ.

භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනය සඳහා ආසන්න ම හේතුව “ඡත්තපාණි” නම් උපාසක වරයෙකුගේ චර්යාත්මක වෙනසක් පිළිබඳ ඉදිරියට ගිය සිදුවීමකි. මෙම උපාසක තුමා ත්‍රිපිටකය මැනවින් ප්‍රගුණ කළ දේශකයෙකු සේ ම ගැටලු විසඳීමෙහි නිපුණතාවයක් ඇති ධර්මධරයෙකු වූයේ ය. අනාගාමී මගඵල ලාභියෙක් ද වූයේ ය. බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක්ව සිටි මෙතුමා දිනක් බුදුරදුන් සමඟ දැහැමි කතාවෙහි යෙදී සිටිය දී කොසොල් මහරජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ නමස්කාර කොට එකත් පසෙක වූයේ උපාසකතුමා රජුට කිසිදු ගරු සරු දැක්වීමක් නොකළේ ය. හෙතෙම කල්පනා කළේ තිලෝගුරු වූ තථාගතයන් වහන්සේ සමීපයේ දී එක් ප්‍රදේශයක පාලකයෙකුට ගෞරව දැක්වීම බුදුරදුන්ට සිදුකරන නිගරුවක් ලෙසිනි. කෙසේ නමුදු මෙම සිදුවීම රජතුමාගේ නොමනාපය සඳහා හේතුවීම දේශපාලකයන් සදාතනිකවම සාමාන්‍ය ජනයාගෙන් සිදුවන වරද විශාල වශයෙන් සලකා ක්‍රියාකිරීමේ පුරුද්ද ප්‍රකට කිරීමක් බඳු ය. මේ බව තේරුම්ගත් භාග්‍යවතුන් වහන්සේ රජුගෙන් උපාසකතුමාට අවැඩක් සිදු වුවොතින් රජතුමාට ද එය අයහපත පිණිස පවතින බව සිතා උපාසක තුමා පිළිබඳ වර්ණනා කළේ මතු නොව එතුමා මාර්ගඵල ලාභියෙකු බවද දේශනා කළහ. බුදුමුවින් ප්‍රකාශිත ඔහුගේ උසස් ගුණයන් ඇසීමෙන් රජුගේ නොසතුට මඟහැරී ගියේ නමුදු පසු දිනක මාළිගය අසලින් ගමන් ගන්නා උවසු තෙමේ පණිවුඩ යවා හෙතෙම රජමැදුරට කැඳවා ගන්නා ලදී. එදින උපාසකතුමා රජුට ඉතා යටහත් පහත්ව ආචාර සමාචාර දක්වන ලදින් එදා සහ අද ඇති වෙනස පිළිබඳ ප්‍රශ්න කෙරිණි. තිලොව තිලකායමාන බුදුරදුන් සමීපයේ දී වෙනත් අයෙකුට ගරු සරු දැක්වීම උන්වහන්සේට කරන අගෞරවයක් යැයි රජතුමාට අවබෝධකොට දුනි. ඉන් මහත් සතුටට පත් රජතුමා තම මාළිගාවෙහි මල්ලිකා දේවිය හා වාසභ ඛත්තියා යන බිසෝවරුන් ඇතුලු පුරඟනන්ට ධර්ම දේශනා පැවැත්වීමට නියම කරන ලදී. රාජ මන්දිරයන්හි මෙබඳු ක්‍රියා සඳහා තමා සුදුසු නොවනවා මතු නොව සුදුස්සන් වන්නේ මහ සඟරුවන යැයි රජතුමාට වටහා දෙනු ලැබී ය. අනතුරුව රජු මෙම සිදුවීම බුදුරදුන්ට ද ප්‍රකාශ කරනා ලදුව බුද්ධ නියමයෙන් රජ මැදුරෙහි ධර්ම දේශනා සඳහා අනඳ මහ තෙරුන් වැඩමවා ගැනිණි. මෙසේ දිනපතා මාළිගාවෙහි දම් දෙසුම් සිදුකරනුයේ මල්ලිකා දේවිය පමණක් ඉතා මැනවින් ධර්මය අසන බවත්, වාසභ ඛත්තියා එබඳු කැපවීමකින් ධර්මය නොඅසන බවත් තථාගතයන් වහන්සේට අසන්ට ලැබුණි. මනා සැකසීමකින් තොරව ධර්මය ඇසීම සුවඳ නැති මල් පැළඳීමක් මෙන් නිසරු ක්‍රියාවක් යැයි පෙන්නුම් කරමින් මෙම දම් දෙසුම් නිමාවට පත් කරන ලදහ.