Print this Article


නෙතට සුව ගෙනෙයි පින්බිම දුටුවාම සිතට සුව දැනෙයි බුදුහිමි දුටුවාම

නෙතට සුව ගෙනෙයි පින්බිම දුටුවාම

සිතට සුව දැනෙයි බුදුහිමි දුටුවාම

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙවරක් ම අපේ රටට වැඩමවා සිරිලක වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත්කොට වදාළහ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් මෙරටෙහි සම්බුදු සසුන පිහිටුවා වදාළහ. සම්බුද්ධ ධර්ම දායාදය මෙරටට රැගෙන වැඩි උන්වහන්සේ විශිෂ්ටතම ශිෂ්ටාචාරයකට අතුල්‍ය පදනම ගොඩනගන ලදී. සම්බුදු දහමෙන් ප්‍රභාෂ්වර වූ චිත්තන ප්‍රබෝධයත් ආගමික උද්‍යෝගයත් ඇති විය.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ නිර්මල සදහම් ගංගාවෙන් අපේ රට සිව් දෙස පෝෂණය වන්නට විය. හෙළ රජ දරුවන් අහස් කුස සිප ගන්නා මහ වෙහෙර ඉදි කරන්නට විය. ලෙන් විහාර නිර්මාණය කරවී ය. සිත් පිත් නැති මහ රළු කළු ගලකට කරුණා ගුණ එක්කර අසිරිමත් බුද්ධ ප්‍රතිමාවහන්සේ නෙළන්නට විය. රටම දහමට නැඹුරු විය. ඒ නිසාම දැහැමි දිවි පෙවෙතට හුරු විය. ඒ අසිරිමත් නිර්මාණ අතීතයේ හෙළ දරුවන් කළ, අපේ රටේ ඓතිහාසිකත්වය විදහා දක්වන මහඟු පෞරාණික වස්තූන් වේ. එබඳු ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අප වත්මන්හිදී ද රටේ විවිධ පළාත්වල ශෛලමය, දැවමය ආදී අසිරිමත් බුද්ධ ප්‍රතිමා නිර්මාණ අනාගතයට උරුමකම් කීමට ගොඩනැගීම වත්මන්හි වෙසෙන අපගේ වගකීම වේ.

මිනුවන්ගොඩ අලුතැපොළ ගණේකන්ද රජමහා විහාරය වළගම්බා රාජ්‍ය සමයේ සිට පැවැත එන දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුණ්‍ය භූමියකි. පෞරාණික ලෙන් විහාර දෙකකින් සමන්විත ගණේකන්ද පුරාණ විහාරය ලන්දේසි සමයේ දී ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් යැයි සැලකෙන පරිදි සහ විශාලතම සංඝාවාසයකින් සමන්විත ය. එහි ආරුක්කු සහිත දොර ජනෙල් සහ සොල්දොරයකින් ද යුක්ත වේ. එමෙන්ම වසර එකසිය පනහක් පමණ පෞරාණික ධර්ම ශාලාව මාලක තුණකින් සමන්විත වන අතර සම චතුරශ්‍රාකාර ආකාරයට ඉදිකරවා තිබේ.

ගණේකන්ද රජමහා විහාරාධිපති මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුව බුද්ධ ප්‍රතිමා වහන්සේ දැවයෙන් නිර්මාණය කිරීම 2016 වසරේ දී ආරම්භ කෙරිණි. ඒ සඳහා පාරිමාර වර්ගයට අයත් ප්‍රබල අරටුව සහිත දැව කඳක් සොයාගැනීමට උන්වහන්සේට හැකි වූ අතර එය දිගින් අඩි දහඅටකින් සහ උසින් අඩි පහකින් සමන්විත විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාගේ උපදෙස් මත මඩම්පැල්ලේ පදිංචි දක්ෂ නිර්මාණ ශිල්පියෙකු වූ සරත් කුමාර මහතාගේ නිර්මාණ දායකත්වයෙන් 2016 වසරේ දී බුදුරජාණන් වහන්සේගේ සැතපෙන ඉරියව්වේ ප්‍රතිමා වහන්සේ දැවමය නව නිර්මාණය කිරීම ආරම්භ කළේ ය. මේ වන විට එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය ගණේකන්ද රජමහා විහාරයේ පිහිටි පර්වත මස්තකයෙහි අලංකාර සම්බුදු මැදුරක් අභිනවයෙන් තනවා එහි තැන්පත් කර ඇත.

දුටුවන්ගේ සිත් පහන් වන අයුරෙන් දැවයෙන් නිර්මාණය කර ඇති එම බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකබලා වැඳ පුදා ගැනීමේ අවස්ථාව මෙම මස 30 වන දා සිට උදාවේ.

ඒ නිමිත්තෙන් මෙම මස 29 වන දා පෞරාණික චාරිත්‍රානුකූල ආගමික වතාවත් සිදු කර 30 වන දා පෙරවරුවේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම සිදු කෙරේ. අනතුරුව දවල් අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාව පැවැත්වේ. පස්වරුවේ පර්වත මස්තකයෙහි පිහිටි බුද්ධ ප්‍රතිමා මන්දිරය මහ සඟරුවන පනස්නමක් වෙතින් විවෘත කෙරේ.

ගණේකන්ද රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රදේශයේ විවිධ ස්වේච්ඡා සංවිධාන රැසක් පිහිටුවා ඇති අතර එහි අනුශාසක ධූරය හොබවමින් නැදලගමුවේ ධම්මදින්න හිමියන් ඉමහත් මෙහෙවරක් ද සිදු කරති.