Print this Article


පොත් විත්ති

පොත් විත්ති

“සක්වළ දැක්ම සහ බඹලොව ගමන”

(සසර පැවැත්මයි සසර නැවැත්මයි)
 

කර්තෘ - ශාස්ත්‍රපති චාමික මුණසිංහ
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නාහිමිවරුන්ගේ ලිඛිත අදහස් ඇසුරෙන් සම්පාදිත “සක්වළ දැක්ම සහ බඹලොව ගමන” (සසර පැවැත්මයි - සසර නැවැත්මයි) විමර්ශන ග්‍රන්ථය නොබෝදා දොරට වැඩිණි.

“සාහිත පොත් පියස” මඟින් ප්‍රකාශිත මෙම කෘතිය ශාස්ත්‍රපති චාමික මුණසිංහගේ නවතම සංස්කරණයකි. බඹලොව හා සබැඳි කතා ඇතුළු දහම් කරුණු සරලව ඉදිරිපත් කර ඇත.

සක්වළෙහි ස්වභාවය, සත්ත්වයාගේ ස්වරූපය, සිත කය සහ භවය, සංසාරික ඥාති හිතෛෂීත්වය, මෙකල නිවීමට ඇති හොඳ ම ස්ථානය, නිවන් යන්නන් හා රහත් උතුමන් කොහේ හෝ සිටිනවා ද? නිර්මල බුදු දහම, සක්වළ වැසියන්ගේ සසර පැවැත්ම යනාදී මාතෘකා රැසකින් මෙම කෘතිය සම්පාදනය වී ඇත.


මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය

කර්තෘ - නන්දසේන සූරියආරච්චි
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

සිංහල ජීවිතයෙහි හැම අතින්ම පළවන්නේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ යි. සිංහල ඉතිහාසයේ සැලැස්ම බෞද්ධ ඉතිහාසය යි. ජාතියත්, ආගමත් මේතරමට සම්බන්ධ කළ සිද්ධියක් මහින්දාගමනය හැර තවත් ඇතැයි නො සිතෙන බව කතුවරයාගේ අදහසයි. ලංකාවේ පවුල් ඒකකයේ සිට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීම දක්වා වූ පරාසය කෙරෙහි පැවතිය යුතු සංවරය, සදාචාරය, නිර්මාණය වූයේ මිහිඳු සංස්කෘතියෙහි අග්‍රඵල වශයෙන් බව කතුවරයා කියයි. ඉතාමත් සරලව පාඨකයාට කියවීමට රුචිවන පරිදි ගැමුණු කුමරුගේ උප්පත්තිය, නව යුගයක ඇරඹුම, ධර්ම ප්‍රචාරයේ පළමු පියවර ආදී මාතෘකා රැසක් ඔස්සේ කතුවරයා මෙම ග්‍රන්ථය පෙළ ගස්වා ඇත.


අසිරිමත් උතුම් තිසරණ බුද්ධ ධම්ම සංඝ

(ගෞතම බුද්ධ චරිතය – 6 )
 

කර්තෘ - දමයන්ති ජයකොඩි
ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

අසිරිමත් උතුම් තිසරණ බුද්ධ, ධම්ම, සංඝ මෙම ග්‍රන්ථයේ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සිංහනාදය දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී පවත්වා අසිරිමත් බුද්ධ, ධම්ම, සංඝ උතුම් තිසරණය ලෝකයට පහළ කිරීමෙන් ලෝකයාගේ ආරක්ෂාව රැකවරණය සැලසූ අයුරු ඉතාමත් සරල බසින් ඡායාරූප ද සහිතව පාඨකයාට රුචිපරිදි ඉදිරිපත් කොට ඇත. උතුම් තිසරණ සරණ යාමෙන් සිත්සතන් සුවපත් කරයි. ගුණ නුවණ වඩයි. සිහිය දියුණු කරයි. යහපත ද උදා කරයි. දුක නැති කරන අතර සෑම ප්‍රශ්නයකටම පිළිතුර සපයන බව ද කතුවරිය කියයි.