Print this Article


අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්

අලුත් සහල් මංගල්‍යය උත්සවශ්‍රීයෙන්

හෙළයේ මහා ගොවි පිළිවෙත 52 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (07) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ අබියස දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙන් නොඉඳුල් කොටස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමේ උත්කර්ෂවත් මංගල්‍යය අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබිණි.

ජය ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරඹුණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය හෙළ චාරිත්‍රානුකූලව පැවැත්වේ. මගුල් බෙර, හේවිසි නාද හා හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළුවන අලුත් සහල් පෙරහර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පැදකුණු කොට පැමිණ වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති පාත්‍රයට ප්‍රථම සහල් මීට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුලු මැති ඇමැතිවරුන් හා ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පුරවනු ලැබූහ.

සෙත් පිරිත් සජ්ඣායනා මැද සහල් පාත්‍රය පිරෙන තුරු සහල් දැමීම සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියෝ විසින් සිදු කළහ. අනතුරුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිතයින් නැවුම් සහලින් පිරී ඉතිරී යන සහල් පාත්‍රයට සහල් එක් කරනු ලැබූහ.

පෙර රජ දවස සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීහු රැසක් එක්ව සිටියහ. කලට වැසි වසිත්වා කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවායි කියමින් රටට, ජාතියට සෙත් පැතීමත් උත්සවයේ දී සිදු කෙරිණි. අලුත් සහල් මංගල්‍යය පිළිබඳ සමරු කලාපය එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වී ය. සියලු පළාත් ආවරණය වන පරිදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

හෙළ සිරිතට අනුව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීම සඳහා රැගෙනආ මී පැණි බඳුන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදුකෙරිණි. අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳ පුදා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත සිවුරු පිරිකරාදිය පූජා කර ආශීර්වාද ලබා ගත්හ. එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යතුමා උත්සව සභාව අමතමින් කියා සිටියේ වසර ගණනාවකට පසුව රටේ සියලුම ප්‍රදේශවලින් අටුකොටු පිරීයන අන්දමින් හොඳම අස්වැන්නක් ලැබී තිබෙන බව ය.

අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක,කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ඇතුළු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මීට අමතරව මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි සෑරදුන් අභියස දී (07 දා) උදෑසන සිදුකෙරිණි.

මහවැලි එච් කලාපයේ ගොවි ගෙවිලියන් විසින් පසුගිය මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉඳුල් සහල් හා නොඉඳුල් සහලින් පිසූ කිරි ආහාර රුවන්වැලි මහ සෑරදුන් වෙත පූජා කිරීමේ පින්කම රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහවැලි එච් කලාපයේ කොට්ඨාස කළමනාකරණ කාර්යාලය මගින් සංවිධාන කර තිබිණි.