Print this Article


සදහම් අරණ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම් ,අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


පැන විසඳුම් ජයග්‍රාහිකාව:

හිරු මඬල ඇයයි

“හද අරණේ පිදුම් ලබන සුවඳ මැදුර අම්මා
අමාවතුර සකස්කඩය කව් සිළුමිණ අම්මා
අපේ පැලට එළිය දුන්න කේතුමතිය අම්මා
නිවන් පුරේ දොර අරින්න මේ භවයෙම අම්මා”

දස මසක් කුස දරා අප මෙලොවට බිහි කර, ලේ කිරි කර පොවා, බොහෝ ගැහැට විඳිමින් මුල්ම ගුරුවරිය ලෙස අප හඳුනා ගත්තී ඇයයි. එහිදී අයනු, ආයනු කියලා අම්මා යැයි උත්තරීතර වාග් මාලාව කීමට හුරු කරන්නී ආදරණීය අම්මා යි. මවක් පුබ්බාචරිය, ආහුනෙය්‍ය යනුවෙන් මුල් ගුරුවරු සේ සලකන්නට බුදු දහම අපට කියා දෙයි. බුදුදහම තුළදී මවට ලැබෙන ගෞරවය ඉතා ඉහළ ය. ‘මාතා මිත්තේ සඛේ ඝරේ” මව නිවසේ මිතුරිය බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. බුද්ධත්වයෙන් හත්වන වසරේ දී තව්තිසාවට වැඩම කර මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දේශනා කිරීම, ප්‍රජාපතී තෙරණිය පිරිනිවනට අවසර රැගෙන යනවිට විහාර දොරටුව දක්වා පසුපස වැඩම කර නො පෙනී යනතෙක් බලා සිටීමෙන් බුදුරජාණන් වහන්සේ මවට සැලකීමේ ගුණය ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණයෙන් යුතුව ඇය දරුවන්ට බොහෝ සේ ආදරය, කරුණාව, රැකවරණය සලසන්නී ය. සිය ශ්‍රමය කැපකර, දරුවන් උස් මහත් කර හෙට ලොව දිනන්නට මග හසර විවර කරන ඇය, දරුවන්ගේ කැත කුණු අත ගා දරුවන් රැකබලා ගැනීමට මහත් වෙහෙසක් දරන්නී ය. නමුත් නූතනයේ දී සමහර දරුවන්ගේ කුස්සි අම්මා වන්නේ ද ඇය යි. මේ තත්ත්වයෙන් වැළකී රතු ලේ කිරි කර පොවා ජීවිතය රැක දී දරුවන්ගේ හෙට ලොව ජය ගන්නට බොහෝ උපකාර කරන මෑණියන් රැක ගැනීම දරුවන්ගේ යුතුකමකි.


ආදරණීය අම්මා

මව් කුස පිළිසිඳ ගත් දා සිට දස මසක් කුස දරාගෙන මෙලොවට බිහි කිරීමට අම්මා දැරූ වෙහෙස කියා නිම කළ නොහැක. ලොව පුදුමයට පත් කරමින්, රතු ලේ සුදට හරවමින් මගේ අම්මා ආදරය පතුරුවයි. මගේ අම්මා රතු ලේ සුදු කිරි කර මා හට පෙවීමෙන් අම්මාගේ ආදරය ලොවට කියාපාන්නීය. අපට හොඳින් උගන්වා ලොවට වැඩදායි දරුවන් කරවීමට ඇය මහන්සි ගනී. අම්මාට උපස්ථාන කරන දරුවන් කිසි දිනෙක පිරිහෙන්නේ නැත.


බක් පුන් පොහොය

එරබදු ගස්වල මල් පිබිදී එයි
කොහෝ කොහෝ නද දස අත පැතිරෙයි
පුරහඳ පායා සඳදිය ඉතිරෙයි
කැලණිය දැක්මට අවසර ගෙනඑයි

චුලෝදර මහෝදර නා රජු පැමිණෙන්නේ
නාගදීපයේ යුද්ධය ඇතිවෙන්නේ
දෙවැනි වරට බුදු හිමියන් වඩිමින්නේ
සිරිලක් බිම දහමෙන් බබළන්නේ


බක් පෝදා

වසරක තෙමසක් ගත වී යන්නේ
බක්පුර පසළොස්වක සඳු නැඟ එන්නේ
වෙහෙර බිමේ සිල් සුවඳ හමන්නේ
බුදු සිරිතේ මහිමය පවසන්නේ

චූලමහෝදර සොයුරන් වාද කරන්නේ
බුදුහිමි ඒ බව දිවැසින් දන්නේ
දෙවැනි වරයි බුදුහිමි නමදින්නේ
ලක්වැසි නාගයෝ නෙත් පාදින්නේ

බුද්ධත්වයෙන් පස් වස ගත වන්නේ
බුදුදහමින් ලක්බිම වැජඹෙන්නේ
සුමන සමන් දෙව් මහිම රැඳෙන්නේ
දෙවන ලංකාගමනය සිදුවන්නේ


බක් පොහොයයි බුදු සසුනයි

ශ්‍රී ලාංකික බෞද්ධ අපට මෙම පොහොය ඉතා වැදගත් පොහොයකි. බුද්ධත්වයෙන් පස් වසරක් ගෙවීගිය කල්හි ලංකාදීපයට බුදුරදුන්ගේ වැඩමවීම සිදුවූයේ සසර මග අතරමංව සිටින සත්ත්වයන් පිරිසකට පිහිටවීම අරමුණු කරගෙන ය. එම වැඩමවීම උන්වහන්සේගේ දෙවන ලංකගමනය ද වෙයි. මෙහිදී සිදු වූ විශේෂතම සිදුවීම නම් චූලෝදර හා මහෝදර යන නා රජවරුන් යුධ වැදී විනාශවීමට ගිය මහා සංහාරය වැළැකීමයි.

මිණි පළඟකට යුද වැදීමට සූදානම් වූ මේ නා රජවරුන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට හෙළදිව වැසියන් තුළ සමගිය ඇති කිරීමට කටයුතු කළ සේක. චූලෝදර හා මහෝදර ලබා ගැනීමට උත්සාහ කළ මිණි පළඟ අදත් නාගදීපයේ වැඩ සිටින සෑ ගර්භයේ තැම්පත්ව ඇත.


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

බෞද්ධ අපට වෙසක් පොහොය ඉතා වැදගත් පොහොයකි. වෙසක් පොහොය පිළිබඳව ඉතා නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.